මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!

Update: 2022-07-18 09:57 GMT

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟම රට සංක්‍රාන්ති අවධියකයි මේ වන විට පවතින්නේ. නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව මගින් ජුලි 20 වැනිදා තෝරා පතක්ර ගැනීමට නියමිත අතර, එතෙක්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනවා.

මෙවන් පසුබිමක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින්, කුරින්දී විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලබාදුන් නියෝගයක් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ ඒ පිලිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

කුරින්දි විහාරය ඉවත් කරන ලෙස පොලිසියට අධිකරණය මගින් නියෝග කල බවට වන සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්.

කුරුන්දි රජමහ විහාරය ඩෝසර් කරන්න උසාවියෙන් නියෝග…!

මුලතිව් කුරුන්දි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණය කළ ස්ථූපය ඇතුළු සියලු නව ඉදිකිරීම් වහා ම ගලවා ඉවත් කරන ලෙස මුලතිව් අධිකරණය නියෝග කරයි.

මහා වංශය අනුව ක්‍රි.ව.100-103ත් අතර ඛල්ලටනාග රජු විසින් කරවන ලද මෙම බෞද්ධ විහාරයට 1 වන අග්බෝ සහ 5 වන මිහිඳු රජුගේ අනුග්‍රහය ලැබී තිබේ. 1905 සුදු ජාතික පුරාවිද්‍යාඥයකු වාර්තා කරන ආකාරයට මෙම ස්ථානයට බුදුන් වහන්සේ වැඩම කළ බවට එකල එම ප්‍රදේශයේ ජනප්‍රවාදයක් පැවති ඇත. එසේ ම මෙම විහාරයට 5 වන මිහිඳු රජු ගව් තුනක් විශාල පොල් වත්තක් සඟ සතු කොට පූජා කර සේවකයින් 100ක් එහි සේවයෙහි යොදවා ඇත.

පසුකලක විනාශයට පත්ව නැවත ගොඩනැඟීම ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ සමයේ ය. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා හමුදාවේ සහය ලැබුණි.

අන්තවාදී දෙමළ දේශපාලන කණ්ඩායම් මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිගින් දිගටම එරෙහි වූ අතර එය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණයට ගොස් තිබිණි.

ආණ්ඩු විරෝධී අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය අතහැරීමට තීන්දු කිරීමත් සමග ම අධිකරණයෙන් මෙම තීන්දුව ලැබීම විශේෂත්වයකි.

Facebook | Archived

System Changed ලෙස සදහන් කරමින් සටහන් පලව තිබුණේ මේ ආකාරයෙන් .

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් වට්ස් ඇප් සටහන්ද පැතිර තිබුණා.

මුලතිව් පොලිසියට කුරුන්දි විහාරය ඉවත් කරන ලෙස අධිකරණය නියෝගයක් ලැබී ඇද්ද , මේ පිළිබදව අප කරුණු විමසා බැලුවේ මුලතිව් පොලිසියේ ස්ථානාධිපති වරයාගෙන් .

මුලතිව් පොලිසියේ ස්ථානාධිපතිවරයා

මුලතිව් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ කුරුන්දි විහාරයේ සිදු කරන ලද නව ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝගයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමන් වෙත ලැබී ඇති බවයි.

මෙහි පසුබිම පැහැදිලි කල ඔහු පැවසුවේ මෙම බිම සම්බන්ධව යාබද කෝවිලක් සහ විහාරස්ථානය සමග පැවති මතබේදයක් නිසා 2020 වසරේදී වෙනත් නඩුවකට හා සම්බන්ධ තීන්දුවක් ලබාදෙමින් උසාවිය පැවසුවේ මෙහි කිසිදු නව ඉදිකිරීමක් සිදු කිරීම, නඩු කටයුත්ත හමාර වන තෙක් සිදු නොකරන ලෙස බවයි.

කෙසේ වෙතත් මෙහි කැණීම් කටයුතු සිදු කල පුරාවිද්‍යා නිලධාරින්, පැරණි දාගැබ සහ බුදු මැදුරු ආදී දේ සොයාගත් බවත් , ඒවා සංරක්ෂණ ක්‍රියාදාමයේම කොටසක් ලෙස කපරාරු කිරීම් ආදී, වඩාත් නුතන දේ උපයෝගී කර නොගනිමින් ගඩොල් වලින් දාගැබ පිළිසකර කර, එම කැනීම් කටයුතු වලින්ම සොයාගත් ධාතු නිදන් කිරීම සදහා මීට ටික දිනකට පෙර (ජුනි මස) උත්සවයක් සංවිධානය කර තිබුණු බවත්, ඊට සමගාමිව පැරණි නටබුන් තිබුණු ස්ථානවලම ඒවා සංරක්ෂණය වනසේ බුදු මැදුරු ආදී දේ ඉදිකොට තිබු බවත්, ඔහු පැවසුවා.

මෙම දාගැබ තුළ ධාතු නිධන් කරන උත්සවය දින ඇතැම් දමිළ දේශපාලන නායකයන් සහ දෙමළ ජන කොටස් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරීම නිසා එම උත්සවය සිදු කර ගැනීමට අපහසු වූ බවත් ඔහු පැවසුවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡා වී තිබුනේ මෙලෙසින්

එම සිදුවීමෙන් පසුව උසාවියට ගිය, එම ප්‍රදේශයේම තිබෙන හින්දු අයියනාර් කෝවිල භාර කණ්ඩායම විසින් මෙහි නව ගොඩනැගිලි ඉදිකර ඇති බවක් උසාවිය හමුවේ පැවසූ අතර , එම කරුණු සලකා බැලු උසාවිය විසින් මෙම බිමේ සිදු කර ඇති සියලු නව ඉදි කිරීම් ඉවත් කරන ලෙස පොලිසියට පැවසු බවයි , මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ .

නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා අප සමග වැඩි දුරටත් පැහැදිලි කලේ, මෙම මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සියල්ල සංරක්ෂණ කටයුතු ලෙස සලකා සිදු කලේ පුරාවිද්‍යා නිලධාරින් වන අතර ඔවුන්ට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ද සහාය ලබාදුන් බවයි. එම නිසා පුරාවිද්‍යා භූමියක් වන මෙහි නව ඉදිකිරීම් මොනවාද , පැරණි පුරාවිද්‍යා ඉදිකිරීම් මොනවාද යන්න වෙන්කර නව ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත් ඔහු පැවසුවා.

ඒ බව පොලිසිය විසින් නිතිපතිවරයාට දන්වා යැවු බවත්, නීතිපතිවරයා මේ පිලිබදව විමර්ශනයක් සිදු කරන තුරු උසාවි නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් තමන්ට උපදෙස් දුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ව්‍යාපෘතිය භාර වවුනියා පුරාවිද්‍යා නිලධාරි කපිල සේනාධීර

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී මෙම ව්‍යාපෘතිය භාර වවුනියා පුරාවිද්‍යා නිලධාරි කපිල සේනාධීර මහතා පැවසුවේ මෙම ස්ථානයේ නව ඉදිකිරීම් සිදුකර නොමැති බවයි. සංරක්ෂණ ක්‍රියාදාමයක් පමණක් සිදුවන බව ඔහු පැවසුවා. එමෙන්ම පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වළකාලන නියෝගයක් නිකුත් කර නොමැති බවත් ඔහු පැවසුවා. තවද , මෑත දී ලබාදුන් අධිකරණ තීන්දුව ලබාදීමට පෙර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් කරුණු විමසීමක් සිදුකර නොමැති බවත් ඔහු පැවසුවා.

ඔහු විසින් අප වෙත යොමු කළ AR-673-18 දරණ නඩුවේ ජුලි 14 වනදා ලබාදෙන ලද නියෝගයේ සිංහල පරිවර්තනය පහතින්.

එම නියෝගය මගින් දන්වා තිබුණේ කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ විහාරයක් ඉදිකර බුදු පිලිමයක් තැබීමට කටයුතු කරන බවට කුරුන්දුර්මලෙයි පුරාණ අයියනායක කෝවිලේ දායකයින් වෙනුවෙන් 2022.06.16 ඉදිරිපත් කර ඇති චෝදනාව ඔස්සේ අධිකරණය වෙත ලබාදෙන ලද ඉදිරිපත් කිරීම්,පොලිස් වාර්තා, ඡායාරුප ආදිය පිලිබඳ අධ්‍යයනයේ දී බෞද්ධ විහාරයක් ඉදිකර ඇති බවත් එහි පිළිමයක් තැබීමට කටයුතු කරන බවත් දැන ගැනීමට ලැබී ඇති බවයි.

එසේම මෙම සිදුවීම් ඔස්සේ සාමයට බාධා වන ආකාරයේ කටයුතු සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් සඳහන්. කුරුන්දුර්මලෙයි පුරාවිද්‍යා ප්‍රදේශයේ ඉදිකර ඇති විහාරය සහ ඒ සම්බන්ධ ඉදිකිරීම් ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කරන බවත් මෙම ස්ථානයේ කිසියම් හෝ පිළිම තබා ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස ද එම නියෝගය තවදුරටත් සඳහන්.

එසේම කුරුන්දුර්මලෙයි පුරාණ අයියනායක කෝවිලේ දායකයන් විසින් අතීතයේ සිට සිදු කරගෙන එනු ලබන පූජා සහ වැඳුම් වලට අවහිර නොවන ලෙස එම ප්‍රදේශයේ ඇති පුරාණ පුරාවිද්‍යා සංකේත වල වටිනාකම වෙනස් නොවන ආකාරයෙන් සංරක්ෂණ කටයුතු විනිවිදභාවයෙන් සිදු කරන ලෙසයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉහත නියෝගය මගින් දන්වා තිබුණා.

කුරින්දි විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට අප මෙම විහාරයේ වැඩ වාසයකරන ස්වාමින් වහන්සේ නමක් ද සම්බන්ධ කරගත්තා. උන්වහන්සේ පැවසුවේ මෙම විරෝධය දෙමල සන්ධානයේ සමහර දේශපාලන නායකයන් මුල්වී සිදු කරන බවයි. ඔවුන් කුරින්දි විහාරයේ පවතින අලුතින් සංරක්ෂණය කරන ලද දාගැබ , නව ඉදිකිරීමක් ලෙස සලකන බවත්, ඒ ඔස්සේ මෙම දාගැබ ද ඉවත්කළ යුතු බව මෙම නඩු ගොනු කර ඇති පිරිස සලකන බවයි උන්වහන්සේ පැවසුවේ.

නමුත් සැබැවින්ම කිසිදු නව ඉදිකිරීමක් මෙහි සිදුව නැති බවත් පුරාණ දාගැබ , පිලිමගෙවල් , බෝධිඝර ආදිය ඒවා පවතින ස්ථානයේම සංරක්ෂණය කිරීමක් පමණක් සිදුකර ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

එමෙන්ම මෙම තීන්දුව ලබාදීමේදී උසාවිය මගින් පුරාවිද්‍යා බලධාරීන්ගේ මතය විමසීමක් සිදුකර නොමැති බවත් උන්වහන්සේ පැවසුවා. කෙසේ වෙතත් මෙම සංරක්ෂණය කරන ලද නිර්මාණ ඉවත් කිරීම සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය මගින් ප්‍රතික්ෂේප කර ඇති බව සහ ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාවටද කරුණු පැහැදිලි කර ඇති බවයි උන්වහන්සේ වැඩි දුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ජුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ හිමියන් දරන අදහස පහතින්.

Full View

ඉහත කරුණු වලට අමතරව උන්වහන්සේ පවසන්නේ, 1933 රක්ෂිතයක් ලෙස මෙම කුරුන්දි පින්බිම ගැසට් වී ඇති බවත් උතුරු පළාතේ පැරණිතම නටඹුන් සහිත මෙම ස්ථානයේ මීට පෙර ද, 1980 දී පමණ සංරක්ෂණ කටයුතුවලදී යම්කිසි ආරවුල් ඇති වී තිබු බවත් එහිදී පුරාවිද්‍යා දෙපර්තම්නේතුව ඇතුළු පිරිස් මැදිහත් වීමෙන් එය නිරාකරණය කරගත් බවයි.

2018 දී ද මෙම ඓතිහාසික පුදබිමේ කටයුතු වල ට දෙමළ ජාතික සංවිධානයේ පිරිසක් මුල්කරගනිමින් බාධාවක් කල බවත් එහිදී ගොනු වූ නඩුව අවසානෙය් දී උසාවී තීන්තුව වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන ලෙස බවයි. ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට බලාපොරොත්තු වෙන කැණීම්, සංරක්ෂණ කටයුතු පිළිබඳව දීර්ඝ වාර්තාවක් ලබාදුන් බවත්, ඒ අනුව එම කටයුතු සියලු ආයතන දැනුවත් කර විනිවිදභාවයකින් ඉදිරි සිදුකරන ලෙස නියෝගයක් ලබාදුන් බවත් ඒ ආකාරයෙන් ම දැනට අවුරුදු එකහමාරක් පමණ සියලු පාර්ශව දැනුවත් කරමින් කටයුතු කළ බවත් උන්වහන්සේ පවසනවා.

වර්තාමන ගැටලුකාරී තත්වයට මුල් පිරුවේ, සියලු පිරිස් දැනුවත් කරමින් පසුගිය ජුනි මස මෙම විහාර භුමියේ දී සිදුකිරීමට කටයුතු කර තිබු ධාතු නිදන් කිරීමේ උත්සවය අතරතුර දී කලහකාරී තත්වයක් ඇතිකළ පිරිස් විසින් කලින් ගොනු කර තිබු නඩුව සම්බන්ධයෙන් නැවත පැමිණිලි කොට තිබු චෝදනා ඔස්සේ බව ද උන්වහන්සේ පවසනවා.

කෙසේනමුත් උසාවිය විසින් පුරාවිද්‍යා දෙපාර්තම්නේතුවේ කිසිඳු විමසීමක් සිදු නොකර මෙම තීන්දු තීරණ ගෙන තිබු බවත් මෙම අක්කර ගණනක නටඹුන් විසිරි ඇති ඓතිහාසික පුදබිම රැකගැනීමට උදව් වෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

එසේම මෙම ස්ථානයේ කිසිඳු හෝ ආකාරයේ හින්දු කෝවිල් ඉදිකිරීමක් විනාශ කර නැති බවත්, ප්‍රදේශවාසී ද්‍රවිඩ ජනතාව මේ පිළිබඳව විරෝධත්වයක් නැති බවත් ඇතැම් ද්‍රවිඩ දේශපාලකයින් මුල් කරගත් පිරිසක් මේ සඳහා මුල් වී ඇති බවත් ඒ ඔස්සේ ඇනකොටා ගැනීමක් සිදු නොකරගන්නා ලෙසත් ඕනෑම ආගමිකකුට මෙම ස්ථානය වැඳ පුදා ගැනීම කළ හැකි බවත් ඒ සඳහා පැමිණ මෙහි සත්‍ය තතු සහ පරිසරය බලාගන්නා ලෙසත් උන්වහන්සේගේ දීර්ඝ පැහැදිලි කිරීමේ දක්වනවා.

කුරින්දී විහාරයේ ඉතිහාසගත පසුබිම සහ එහි වැදගත්කම පිළිබදව පළවූ ලිපියක් මෙතනින්.Archived.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති වාර්තාවක් පලව තිබුණේ මෙලෙසින්.

Full View

කුරුන්දි විහාරය ආශ්‍රිතව ගොඩනැගී ඇති වර්තමාන තත්වය පිළිබඳව අප ප්‍රදේශය අයියනායක හින්දු කෝවිලට සම්බන්ධ පාර්ශවයක් ද සම්බන්ධ කරගැනීමට උත්සහ කරන අතර එම තොරතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

UPDATE

කෙසේ වෙතත් ජූලි මස 19 වැනිදා කුරින්දී විහාරය ආශ්‍රිතව ස්ථානීය නිරීක්ෂණ චාරිකාවක නිරතවූ මුලතිව් මහේස්ත්‍රාත්වරයා , ජූලි 20 වනදා තින්දුවක් ලබාදී කුරින්දි විහාරය ආශ්‍රිත සංරක්ෂණ සහ සංරක්ෂණ ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු පෙර පරිදිම සිදුකරගෙන යාමට අවසර ලබාදී තිබෙනවා.එමෙන්ම නව ඉදිකිරීම් ලෙස සලකමින් දාගැබ ඇතුලු සමහර ගොඩනැගිලි ඉවත් කරන ලෙස පවසා ඔහු විසින්ම ජූලි 14 ලබාදී තිබු අධිකරණ තීන්දුව අහෝසි කර තිබෙනවා.ඒ හා සම්බන්ධ මාධ්‍ය වාර්තාවකට පිවිසීම මෙතනින්.Archived

මේ සම්බන්ධයෙන් අප හා අදහස් පලකළ ගලිගමුවේ ශාන්තබෝධි හිමියන් (විහාරස්ථානයේ භාරකාර ) පැවසුවේ මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය චාරිකාවක නිරතවීමෙන් අනතුරුව සංරක්ෂණ කටයුතු සහ ඒ හා බැදුණු ඉදිකිරීම් කටයුතු දිගටම සිදු කරගෙන යාමට අවසර ලබාදුන් බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News