මාදං ගෙඩි ඈතුලේ පණුවන් සිටින නිසා ඒවා ආහාරයට නුසුදුසු ද?

Update: 2022-10-11 13:06 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

ලංකාවේ ගම්බද පරිසරයක ආභාෂය ලැබූ අයෙකුට මාදම් කියන්නේ අලුත් දෙයක් නොවෙයි. ගෙවතු වල මෙන්ම ලදු කැලෑ වලද මාදං ශාඛ වැඩෙන අතර ඒවායේ ඵලය පළතුරක් ලෙස ආහාරයට ගැනීම සුලබයි. මාදං පලතුරු වැඩියෙන් ලැබෙන කාලයට ගම්මාන, ලදු කැලෑ වලින් නෙලාගන්නා මාදම් අස්වැන්න නගරවලට ගෙන ගොස් හෝ ප්‍රධාන මාර්ග අසල කුඩා ජංගම වෙළෙන්දන් විකිණීම ද සුලභ දසුනක්.

එවන් පසුබිමක් තුළ මාදම් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට නුසුදුසු බවට සහ මාදම් ගෙඩි තුළ නිතර පණුවන් සිටින බවට සදහන් සමාජ ජාලාවල පැතිරෙනවා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවක්

සමාජ ජාලා සටහන්

මාදං ගෙඩිවල ශරීර සෞඛ්‍යයට අහිතකර පණුවන් සිටින බවට සදහන් සමාජ ජාලා සදහන් පැතිර තිබුණු ආකාරයක් දක්නට ලැබුණා.

“ඔයාලා හැමෝම දැකල ඇති මේ දවස්වල පාරවල් අයිනේ තියන් ඉන්න මාදම් .අද ඒ විකුණන තැනකින් මම ගත්තා.ඒ මනුස්සයා එක්ක සුහදව කතා කරපු නිසා මට යමක් කිව්වා.

මහත්තයා මේක කවුරුත් කියන්නෑ විකුණගන්න බැරි වෙන නිසා .මේවා අරන් ගිහින් ලුණු වතුරට දාලා පැය භාගයක් විතට තියන්න.එතකොට මේකේ සමහර ඒවගේ ඉන්නවා ඇතුලෙ පණුවෙක්.ඒ සතා එතකොට එලියට එනවා.

ඒ නිසාම මමත් ගිහින් ලුණු වතුරට දාලා බැලුවා.පතිඵල තමයි මේ.ඉතින් කියන්න තියෙන්නේ වාහනේ නවත්තලා කාගෙන කාගෙන යන්න එපා.මේවා පෙනුම තරම් රසත් නෑ .කහට රස විතරයි.ඒ වගේම මේ පනුවත් කැවෙයි.”

මෙය එක්කර තිබුණේ පිගානක දමන ලද මාදම් ගෙඩි ගණනාවක සේයාරුවක්ද සමගින්.මෙම සේයාරුවේ ඇතැම් ගෙඩිවල පණුවන් ඉහලට මතුව ඇති බවක් ද දැකගන්නට ලැබෙනවා.

Facebook | Archived

මේ සම්බන්ධව බොහෝ දෙනා සිය අදහස් පළකර තිබුණු අතර එම අදහස් කිහිපයක් පහතින්.

ෆේස්බුක් අවකාශය තුළ බොහෝදෙනා අතර ව්‍යාප්තව පැවති මෙම සටහන්හි දැක්වෙන කරුණු පිලිබඳ වැඩිදුර තොරතුරු පරික්ෂා කිරීමට අප කටයුතු කළා.

කරුණු පැහැදිලි කිරීම (Explained)

අප මුලින්ම සිදු කලේ මාදං පිලිබදව, එයින් ගන්නා ප්‍රයෝජන සහ එහි ඇති විද්‍යාත්මක පසුබිම පිලිබදව වන කරුණු සොයා බැලීමයි.

ලංකාවේ දුර්ලභ ගණයේ පළතුරු අතරට ගැනෙන මා දං , ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ Myrtaceae කුලයට අයත් සදාහරිත ශාකයක්. Syzygium cumini යනු මෙහි විද්‍යාත්මක නමයි. මාදං ශාකය බොහෝ විට වියළි කලාපයේ වැව් හා දිය පාරවල් ආශ්‍රිතව දක්නට ලැබේ. රිකිලි බිමට බරවී වැඩෙයි. එසේම වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්‍රිත ව ස්වාභාවික ව වැවෙන දං, තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ ත් දකින්න පුළුවන්. දිඹුලාගල, රිටිගල, මහබේරියතැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල වැඩි වශයෙන් දැක ගන්නට ලැබෙනවා. දං අතීතයේ සුලබ ව තිබුණ ද කැළෑ එළි කිරීම නිසා ක්‍රමයෙන් අඩු වී ඇති අතර සංරක්ෂිත ප්‍රදේශ වල වර්තමානයේ වැඩිපුර දැකගන්නට ලැබෙනවා.

මා දං නැවුම් පලතුරක් ලෙස මෙන් ම අගය වැඩි දියුණු කල (Value Added) ජෙලි, ජෑම්, වයින්, අච්චාරු හා ආහාර වර්ණක ආදි නිෂ්පාදන සෑදීමට අනෙක් රටවල උපයෝගි කරගත්ත ද ශ්‍රී ලංකාවේනැවුම් පලතුරක් ලෙස හෝ යොදා ගන්නා ප්‍රමාණය නොගැණිය හැකි තරම් කුඩා ය. කරුණු එසේ වුවද පෝෂණීය අගය අතින් ගත් කල මා දං ඉහළ පෝෂණයකින් යුත් පලතුරකි. මාදම් වල ඇති පෝෂක සහ එහි ප්‍රමාණයන් පිලිබදව වන විස්තර ලබාගත හැකියි මෙතනින්. වීඩියෝවක් මෙතනින්

මෙම වර්ගවල ශාකවල පලතුරුවල පණුවන් සිටීම සාමාන්‍ය ලක්ෂණයක් නමුත් පණුවන් සිටින ගෙඩි හදුනාගෙන, ආහාරයට ගැනීමට පෙර එම ගෙඩි ඉවත්කළ හැකියි. ගෙඩිවල මතුපිට කුඩා සිදුරු තිබීම හරහා පෙන්නුම් කරන්නේ එම ගෙඩි වලට ගැහැණු පණුවන් ඇතුළුවී බිත්තර දැමීම සදහා සිදුරු කර ඇති බවයි. එම ගෙඩි අභ්‍යන්තරයේ පණුවන් සිටිය හැකියි. එම පණුවන් වර්ධනය වීමෙන් පසුව ගෙඩියෙන් එලියට පැමිණ ගස අසල බිමට වැටිය හැකියි. එසේ නොමැතිනම් මෙම ගෙඩි පොලොවට වැටෙනවාත් සමගම එහි අභ්‍යන්තරයේ සිටින පනුවන්ද බිමට වැටිය හැකියි. නිවසක අසල පවතින මාදම් ගසක් නම් ගස යට තිබෙන බිම පිරිසිදුව තබා ගැනීම මගින්ද ,ගසේ සැදී ඇති පණුවන් ආසාදිත බවට ආසාදිත මාදම් ගෙඩි ඉවත්කිරීම මගින්ද මාදම් ගෙඩිවලට පණුවන් එක්වීම වලක්වා ගත හැකියි.මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.

එමෙන්ම මාදම් සෞඛ්‍යයට ආකාර ගණනාවකින්ම හිතවත් ආකාරයට ක්‍රියා කරනවා. විවිධ රටවලට ආවේණික දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් වලදී ද මාදම් පලතුර ඖෂධයක් ලෙස හෝ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලි සදහා යොදා ගනී. පණු රෝග, ශ්වසන පද්ධතිය සම්බන්ධ ආබාධ ,ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් මතුවන ආබාධ ආදිය සදහා මෙන්ම දියවැඩියාව, ආසාත්මිකතා, වෛරස් ආසාදන සහ අම්ල පිත්තය සදහා ඹෞෂධයක් ලෙස මාදම් පලතුර යොදාගනී. ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්. Archived ඒ පිලිබඳ තවත් වාර්තාවක් මෙතනින්

පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය පවසා සිටියේ සමහර මාදම් ගෙඩිවල පණුවන් සිටිය හැකි වුවත් , මෙම පණුවන් දක්නට ලැබීම සියලු මාදම් ශාඛ වලට පොදු ලක්ෂණයක් නොවන බවයි.

එමෙන්ම ඇතම් මාදම් ගස් පණු ආසාදන වලට ලක්වුවත් එම ශාඛ වල සෑම ගෙඩියකම මෙම ලක්ෂණය දැකිය නොහැකි බව ද ඇය පවසා සිටියා. ජම්බු ශාඛයද අයත්වන මෙම කුලයේ පලතුරුවල මේ ආකාරයට පණුවන් සිටිය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.

නමුත් පණුවන් සිටීම නිතරම මෙම පළතුරුවල දක්නට නොලැබෙන නිසා පණුවන් සිටිනවා යයි කියමින් පලතුරු ආහාරයට නොගෙන සිටීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි ඇයගේ අදහස. එමෙන්ම මෙම පලතුරුවල පෝෂ්‍ය සංඝටක බොහොමයක් පවතින බවත් ඇය පැවසුවා. පලතුරුවල මතුපිට සිදුරු ඇතිදැයි නිරීක්ෂණය කිරීම මගින් පණුවන් සිටින ගෙඩි හදුනා ඒවා ඉවත්කළ හැකි බවත් ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය පැවසුවා.

ලුණු මිශ්‍ර ජලයේ බහලීම් මඟින් සිදුකරන පළතුරු පරීක්ෂා කිරීම්:

ලුණු මිශ්‍ර ජලයේ බහලීම් මඟින් කුඩා කීටයන් , පණුවන් (larvae, maggot) පළතුරු තුළ සිටීදැයි පරික්ෂා කිරීම විශේෂයෙන්ම විදෙස් රටවල මහ පරිමාණයෙන් පළතුරු නිෂ්පාදකයින් යොදා ගන්නා ක්‍රමයක්. මේ පිලිබඳ වාර්තාවක් මෙතනින්

එම පරික්ෂාවේ දී කුඩා සුදු පැහැති කීටයන් වතුරේ පාවෙනු දක්නට ලැබෙන්නේ නම් පළතුරු නිෂ්පාදකයින් යොදාගෙන තිබෙන කෘමිනාශක වැඩසටහනේ කාර්යක්ෂමතාව පිලිබඳ හිඩැස් ඇති බව පෙනෙන බවයි. ස්ට්‍රෝබෙරි පිලිබඳ මෙවැනි පරිශාවක් සිදුකළ අවස්ථාවක් Ohio State University පෙන්වා දෙන වීඩියෝවක් පහතින්. කෙසේ නමුත් මෙහිදී කීටයන් කිහිපදෙනෙකු පමණක් දක්නට ලැබෙන්නේ නම් එය විශාල ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

https://youtu.be/FiyHkpXaHVo?t=336

එසේම ලංකාවේ ප්‍රදෙශියව ලුණු මිශ්‍ර ජලයේ යොදා මාදං ආහාරයට ගැනීම පුරුද්දක් ලෙස සිදු කරනවා. ඉන්දියාවේ වාණිජ වශයෙන් ද මාදං නැතහොත් Black Jamun Fruits වගා කරනු දැකගන්නට ලැබෙන අතර ලුණු මිශ්‍ර මිරිස් කුඩු සමඟ ආහාරයට ගන්නා අවස්ථා දැක ගන්නට ලැබෙනවා.

ඒ අනුව ලුණු මිශ්‍ර ජලය මඟින් මාදං පමණක් නොව වෙනත් ජම්බු, ස්ට්‍රෝබෙරි යනාදී පළතුරු රැසක කුඩා කීටයන් වැනි සතුන් සිටිය හැකි දැයි පරික්ෂා කළ හැකි අතර එසේ කීටයන් කිහිපයක් පමණක් සිටී නම් එය සාමන්‍යයෙන් දැකිය හැකි දෙයක් වන අතර ආහාරය ගැනීමෙන් හානියක් නොවන බවයි විශේෂඥයන් පෙන්වා දෙනවා. 

මේ පිලිබඳ තවත් කරුණු සමඟ මෙම ලිපිය ඉදිරියේ දී යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාදම් ගෙඩි ඈතුලේ පණුවන් සිටින නිසා ඒවා ආහාරයට නුසුදුසුද?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News