නොවැම්බර් දෙවන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

Update: 2022-11-18 07:25 GMT

නොවැම්බර් දෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

ලංකාවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.

එවන් පසුබිමක, මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවන තෙක් ශ්‍රී ලංකාවට කිසිදු ආධාරයක් හෝ ණය මුදලක් ලබානොදෙන බවට ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් 7 ක් නියෝජනය කරන G7 කණ්ඩායම තීරණය කල බවට හැගවෙන සමාජ ජාලා සටහන්, මාස කිහිපයක සිටම පැතිර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමසා බැලූ FactCrescendo කණ්ඩායමේ අපට පැහැදිලි වුවේ එම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු අසත්‍ය සහ නොමගයවන සුලු බව සහ ශ්‍රී ලංකාවට ආධාර ලබා නොදෙන බවට තීරණයක් G7 කණ්ඩායම විසින් ගෙන නොමැති බවයි.

G7 කණ්ඩායම සමන්විත වන්නේ ලෝකයේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත්, බලවත් රටවල් 7 කින්. එම රටවල් වන්නේ බ්‍රිතාන්‍යය ,ඇමෙරිකා එක්සත් ජනපදය ,කැනඩාව , ජපානය , ජර්මනිය ,ඉතාලිය සහ ප්‍රංශයයි. ලෝක ජනගනයෙන් 10 % කටත් , ලෝකයේ ඇති මුළු ධනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකත් මෙම රටවල් උරුමකම් කියයි.

මෙම රටවල නායකයින් සහ නියෝජිතයන් වසර පුරාම විවිධ ස්ථානවලදී හමුවී ගෝලීය වශයෙන් පවතින ආර්ථිකම අර්බුද, සාමාජීය මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු ගැටලුකාරී තත්ත්වයන් පිලිබදව සාකච්ඡා කරනවා. G7 කණ්ඩායමේ මුලිකත්වය දරන රට සහ නායකයා වසරින් වසර වෙනස් වෙනවා. G7 කණ්ඩායමේ වර්තමානය මුලිකත්වය දරන්නේ ජර්මනියයි.

අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී අනාවරණය වුයේ, G7 කණ්ඩායම විසින් ලංකාවට ණය/ආධාර ලබා නොදීමට තීරණය කළ බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව සහ එවන් තීරණයක් ගත් බවට G7 කණ්ඩායම නියෝජනය කරන කිසිදු රාජ්‍ය නායකයෙක් හෝ ඔවුන්ගේ නිල නියෝජිතයෙක් පවසා නොමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිධුරයට පත්වීමට පෙර 2022 මැයි මාසයේ අගමැති ධුරයට පත්වූ විට G7 කණ්ඩායම විසින් ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පවසා තිබුණේ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට ණය ගෙවීම හා සම්බන්ධව යම් සහන කාලයක් ලබාදීමට හෝ ඒ සදහා යම් සහනයක් ලබාගැනීම සදහා සහාය වීමට G7 කණ්ඩායම සුදානම් බවයි. එමෙන්ම එම කටයුත්ත සදහා යම් සහයක් ලබාදෙන ලෙස ඔවුන් චීනයෙන් ද ඉල්ලා සිටියා. එසේම ණය සහන ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සහය වන බවට G7 කණ්ඩායම විසින් සිදුකර තිබු නිවේදනය පිළිබඳව තම කෘතවේදීතාව පළකරමින් රනිල් වික්‍රමසිංහ එවක අගමැතිවරයා ලෙස 2022 මැයි මස ට්විටර් පණිවුඩයක්ද පළකර තිබුණා.

එසේම පසුගිය ජුනි මාසයේ දී පැවති G7 සමුළුවේ දී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 20 ක අමතර ආධාරයක් ලබාදීමක් පිළිබඳව දැනුම් දී තිබුනා .එමෙන්ම මෙම රටවල් මගින් ලංකා රජය සමග එක්ව මෙරට සිදුකරන බොහෝ ව්‍යපෘති සක්‍රීය තත්වයෙන් ක්‍රියාත්මක වෙනවා.

මේ පිලිබදව G7 කණ්ඩායමේ රටවල් කිහිපයක තානාපති කාර්යාල ඔස්සේ සිදුකරන ලද විමසා බැලීම්වලදී ද තහවුරු වුයේ G7 කණ්ඩායම විසින් සමාජ ජාලා සටහන් වල දක්නට ලැබෙන ආකාරයට ලංකාවට ලබාදෙන ආධාර අත්හිටුවීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම අප සමග අදහස් පලකළ ජාත්‍යන්තර කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ පවසා සිටියේ G7 රටවල් මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත්වන තුරු වත්මන් ආණ්ඩුවට කිසිදු ආධාරයක් හෝ ණය මුදලක් ලබා නොදෙන බවට පළවන සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

Read the Full Story here

ධනුෂ්කට සහය පළකරමින් සුවදුක් විමසීමට, ග්ලෙන් මැක්ස්වෙල් ඔහුගේ පොලිස් සිර කුටියට පැමිණියේ නැහැ!

ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් විභාගවෙමින් පවතින නඩුවක් යටතේ මේ වන විට ඕස්ට්‍රේලියාවේදී බන්ධනාගත කර ඇති ධනුෂ්ක ගුණතිලකට සහය පළකරමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඔහුගේ සුවදුක් විමසීමටත් සිඩ්නි පොලිසියට පැමිණි බවට ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක්පසුගිය සතියේ හුවමාරු වුණා. ඒ පිලිබදව අප FactCrescendo කණ්ඩායම විසින් සිදුකරන ලද විමසාබැලීම් වලින් තහවුරුවූයේ එම සටහන් ව්‍යාජ සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක සිඩ්නිහි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව නොවැම්බර් 05 වන දා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්, දනුෂ්ක ගුණතිලකගේ සුවදුක් විමසීමට සිඩ්නි පොලීසියට වෙතට ගිය බවට කිසිදු ජාත්‍යන්තර පුවතක් වාර්තා කර නොතිබූ අතර ඔස්ට්‍රේලියානු එකදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ මේ පිළිබඳවද සඳහන් කර තිබුණේ නැහැ.

මැක්ස්වෙල් සිය සමාජ මාධ්‍ය ජාලා හරහා හෝ දනුෂ්ක ගුණතිලකට සහාය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරතිබුණේ නැති අතර එසේ හැඟවෙන කිසිඳු හෝ නිල ප්‍රකාශයක් හෝ මෙතෙක් මුදා හැර නොමැති බව අපට අනාවරණය වුණා.

එමෙන්ම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වාර්තා කිරීමට ගිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙරට මාධ්‍යවේදී අසාම් අමීන්ගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු තහවුරු කළේ ද, එය අසත්‍ය බව ත්, එවැනි සිදුවීමක් නොවූ බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි බවයි.

Read the Full Story here

කුඩා දරුවන්ව ආදරයට හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවන බවට පැවසෙන කතාවේ ඇත්ත නැත්ත!

කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙන අතර සමාජයේ නිතර කතාබහක් ද ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Syndrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ පිලිබඳ අවදානමින් සිටින ලෙසත් හුවමාරු වූ සටහන් සම්බන්ධයෙන් අප FactCrescendo කණ්ඩායම විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමේදී තහවුරු වුවේ එම සටහන් නොමගයවනසුලු බවයි.

Shaken Baby Syndrome ලෙස හැදින්වෙන්නේ කුඩා දරුවෙක්ව හෝ ළදරුවෙක්ව බලෙන් සෙලවීමට ලක්කිරීම මගින් මොලයේ හටගත හැකි දරුණු ආබාධ තත්ත්වයක්. මෙම ආබාධ තත්ත්වය නිසා මොළයට සිදුවන රුධිර පරිවහනයට බාධා ඇතිවන අතර මොළයේ සෛල විනාශ වීමක් සිදුවී මරණයට පවා හේතුවීමට හැකියාවක් පවතිනවා. නැතහොත් මොළයට සිදුවන ස්ථිර හානියක් බවටද පත්විය හැක. මෙම තත්වයේ රෝග ලක්ෂණ ලෙස, කුඩා දරුවන් අධික කෝපයට පත්වීම, අවදිව සිටීමට අපහසුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, අඩුවෙන් ආහාර ගැනීම, වමනය, කොමා තත්වයන් ඇතිවීම, සිරුර අප්‍රාණික වීම , සම මලානික වීම ආදිය ඇතිවිය හැක.

Shaken Baby Syndrome තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ලෙස අධික වේගයෙන් දරුවන්ව ඒ අතට මේ අතට සෙලවීම හඳුනාගත හැක. මෙය බොහෝ දුරට සිදුවන්නේ දරුවන් අධික ලෙස හඬන විට සාත්තු සේවකයන් හෝ දෙමාපියන් කෝපයට පත්ව ඔවුන්ව වේගයෙන් නැළවීමට උත්සාහ කිරීම මගිනි. දරුවන්ව සෙමින් , ආදරයෙන් සෙලවීම හෝ දණහිස මත තබා නළවන අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇති නොවේ.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසරකදී ළදරුවන් 1200 පමණ මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන අතර , ඒ අතුරින් දරුවන් 300 ක් පමණ මිය යන බව ඔක්ලොහාමේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තන්මෙන්තුවේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ පර්යේෂණයන්ට අනුව ළදරුවන්ව හිංසාකාරීව සෙලවීම සදහා බලපාන මුලික හේතුව ළදරුවන් නොනවත්වා හැඩීමයි.

මේ පිළිබඳව අප හා සමග අදහස් දැක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ද පැවසුවේ, මෙය ළමයින්ව සෙමින් ආදරයෙන් නළවන විට සිදු නොවන අතර හිංසාකාරී ලෙස වේගයෙන් නැලවීම මගින් සිදුවන බවයි. එමෙන්ම විශේෂ වශයෙන්ම මෙම තත්ත්වය ඇතිවන්නේ දරුවන් උඩට සහ පහලට වේගයෙන් සෙලවීම මගින් බවත් ඔහු පැවසුවා. දරුවන්ව සෙමින් නැලවීම මෙන්ම එකම මට්ටමක දෙපසට නැලවීම ඔස්සේ මෙම තත්ත්වය වලක්වා ගත හැකි බවත් ඔහු පවසනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින බොහෝ අදහස් වැරදිසහගත බවයි ඔහුගේ අදහස. හිංසාකාරී නොවන ලෙස සෙමින් දරුවාව සොලවමින් නැලවීම ඔස්සේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බවත් වෛද්‍යවරයා පැවසුවා. එමෙන්ම මෙම තත්ත්වය බොහෝ ලෙසින් දරුවන්ව බලාගැනීම සදහා සේවකයන්ව යෙදවීමේදී ඔවුන් අතින් බවත් ඔහු පැවසුවා.

Read the Full Story here

ජැක්සන් ඇන්තනීගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔහුගේ දියණිය ඈඳා පළවූ නොමඟ යවන සුළු සටහනක්!

මීට මාස 04කට පමණ පෙර දරුණු රිය අනතුරකට මුහුණදුන් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් පළ වූ සටහනක් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා සැලකිලිමත් වී තිබුණා.

එම සටහන් මඟින් දක්වා තිබුණේ, මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මේ වන විට කෝමා තත්ත්වයක පසුවන බවත්, යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන වෙන්ටිලේටර්(Ventilator) යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත බවයි. දිගින් දිගටම මෙම තත්වයෙන් පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වීමේ හැකියාවක් ඇති බවත්, ඒ තුළ ඔහුගේ කෝමා තත්ත්වය තව දුරටත් සංකීර්ණ වීමට හැකි බවට ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවී ඇන්තනී පැවසූ බවත් එම සටහන් මඟින් කියවුණා. කෙසේ නමුත් අප FactCrescendo කණ්ඩායම විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු නොමගයවන සුලු බවයි.

අප මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දී සමරකෝන් මහත්මියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. එසේම, වෙන්ටිලේටර් උපකරණයක සම්බන්ධ කර ඇති ඕනෑම රෝගියෙකුගේ මොළය මැරණහොත් පමණක් ඉන් ඉවත් කිරීමේ තීරණය ගන්නා බවත්, එවැනි සිදුවීමක් වන තුරු කිසිදු අවස්ථාවක රෝගියෙකු පිළිබඳ යම් කිසි කාල වකවාණුවක් නියම කොට වෙන්ටිලේටර් උපකරණයකින් ඉවත් කිරීම සිදු නොකරන බවත්, එවැන්නක් සිදුවීම හෝ නොවීම කලින් පුරෝකථනය කළ හැකි දෙයක් නොවන බවත් ඇය පැහැදිලි කර සිටියා.

යම්කිසි රෝගියෙකුගේ මොළය මැරණා ද , යන්න පිළිබඳව සෑම දිනකම පරීක්ෂා කිරීමක් සිදු නොකරන අතර එවැනි ආකාරයේ ලක්ෂණ ලැබුණු පසු, එම පරීක්ෂා සිදු කොට එවැනි තීරණයක් ගන්නා බවත්, මෙතෙක් ජැක්සන් ඇන්තනී එවැනි තත්ත්වයකට පත් වී නොමැති බවයි කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂවරිය තවදුරටත් අවධාරණය කළේ. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය අසත්‍ය බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනීගේ දියණියව වන රංගන ශිල්පී, ගායන ශිල්පී, මාධවී වත්සලා ඇන්තනී ද සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කරමින් අදහස් දක්වා තිබුණේ, තම පියා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කිසිවෙකුටවත් හෝ නොකළ බවයි.

එසේම මුලින් මාධවී වත්සලා ඇන්තනී සම්බන්ධ කර ගනිමින් පළකර තිබු කොටස පසුව බොහෝ සමාජ මාධ්‍ය සටහන් මඟින් සංස්කරණය කරගනිමින් ඉවත් කර තිබු අයුරු ද අපට නිරීක්ෂණ වුණා.

Read the Full Story here

පැරසිටමෝල් P-500 ඖෂධයේ මාරාන්තික වෛරසයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහනක්!

ඖෂධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවන, මෙවැනි වකවානුවක ජනතාව නොමග යැවීමේ අරමුණින් "පැරසිටමෝල් P -500 ඖෂධය භාවිතා නොකරන ලෙසත්, දිලිසෙන සුදු පැහැති පැරසිටමෝල් -500 පෙත්තෙහි “මැචුපෝ”(Machupo) නම් මරණ අනුපාතය වැඩි භයානක වෛරසයක් ඇති බවත්", සඳහන් කරමින් පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා Fact Crescendo අප කණ්ඩායම විමර්ශනයක් සිදුකලා.

පැරසිටමෝල් යනු වේදනා නාශකයකි. මෙම ඖෂධය සමහර රටවල acetaminophen යන නමින්ද හඳුන්වනු ලැබේ. පැරසිටමෝල් වේදනා දුරු කරන බැවින් නිර්වේදනික කාණ්‌ඩයට ද, ශරීර උෂ්ණත්වය වැඩි වූ අවස්‌ථාවල පහත හෙළන බැවින් ප්‍රතිජීවක ඖෂධ කාණ්‌ඩයට ද අයත් වේ. එම ඖෂධය පෙති, දියර, බින්දු ලෙස කුඩා ළමයින්ට දිය හැකි අයුරින් ද විවිධ ආකාරයෙන් නිපදවේ. ලොව පුරා මෙම ඖෂධය හඳුන්වනු ලබන්නේ පැරසිටමෝල් යන ඖෂධීය නාමයෙනි.

පැරසිටමෝල් ඖෂධයට නොයෙකුත් වෙළෙද නාම තිබේ. ලංකාවේ ප්‍රචලිත පැනඩෝල් යනුවෙන් හඳුන්වන්නේ එවැනි එක් වෙළෙඳ නාමයක්. ලෝකයේ Paramol, maxmol, paracetol, astamol, pyrol යනා දී වශයෙන් පැරසිටමෝල් ඖෂධයෙහි වෙළෙදනාම 30-40 පමණ ප්‍රමාණයක් පවතින බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසයි.

එසේම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකාරයට ලංකාවේ ද පැරසිටමෝල් වෙළඳපොලේ බොහෝ වෙලාවට මිලදී ගැනීමට තිබෙන්නේ මිලි ග්‍රෑම් 500 පෙති වශයෙනි. කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට ලබා දිය යුතු පැරසිටමෝල් මාත්‍රා වෙනස් විය යුතු අතර නිර්දේශිත ප්‍රමාණයට වඩා ලබාගැනීමෙන් නොයෙකුත් ව්‍යාකූලතා ද ඇතිවිය හැකියි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ “P-500” පැරසිටමෝල් පෙති විශේෂය නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ Apex Laboratories පුද්ගලික සමාගමෙනි. Paracetamol P-500 ඖෂධ වර්ගයේ එම වෛරසය අඩංගු බවට කිසිදු පුවත් වාර්තාවක් හෝ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් හෝ ජාත්‍යන්තරයේද වාර්තා වී නොතිබුණු අතර මෙය හුදෙක් මෙම ඖෂධ වර්ගය ඉලක්ක කර ගනිමින් එල්ල කළ අනතුරු ඇඟවීමක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ.

මෙම වෛරසය මීයන්ගෙන් බෝවිය හැකි නමුත් මෙම වෛරසය කිසි ලෙසකින්වත් පැරසිටමෝල් පෙත්තකින් බෝ විය නොහැකි බවත් මෙම Machupo වෛරසය දකුණු අමෙරිකාවේ පමණක් හමුවී ඇති බවත් මැලේසියාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නූර් හිෂාම් අබ්දුල්ලා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Machupo වෛරසය නොහොත් Bolivian hemorrhagic fever (BHF) යන වෛරසය 1962 දී දකුණු අමෙරිකාවේ බොලිවියානු San Joaquín ගම්මානයේදී මුලින්ම වාර්තා වී ඇති අතර රෝගය බෝ වූයේ මීයන්ගෙන් බව සඳහන් වෙනවා.‍ උණ, මස්පිඩු වේදනාව, විදුරුමස් වලින් ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය ප්‍රධාන වශයෙන් ආසාදිත මීයන්ගේ කෙල, මළ මුත්‍රා මඟින් සම්ප්‍රේෂණය වන අතර බොහෝ දුරට දකුණු ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

Read the Full Story here.

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු බවට සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් වාර්තා යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.

Tags:    

Similar News