පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

Update: 2023-04-25 05:55 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වර්ෂ 4ක් පූර්ණය වුණා. තවමත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමට පැවති සහ පවතින ආණ්ඩු අපෝහසත් වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කතෝලික නායකයින් ඇතුළු කතෝලික ජනතාව හඬ නගමින් සිටී.

මේ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පාස්කු ප්‍රහාරය පිලිබඳ දැනුවත්ව සිටියේ ද යන්න හඟවමින්, එම 2019 වසරේ ඛේදනීය පාස්කු ඉරුදින උදෑසන දේව මෙහෙයට උන්වහන්සේ සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින, කුරිරු බෝම්බ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුනු දේව මෙහෙයට සහභාගී නොවූයේ මන්දැයි ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ ආකාරයට ඇත්තටම කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් 2019 පාස්කු ඉරුදින දේව මෙහෙයකට සහභාගී වුනේ නැත්ද ? මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2019 අප්‍රේල් 21 ස්ථාන අටකදී එනම් දේවස්ථාන කිහිපයක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර වලින් මරාගෙන මැරුණ බෝම්බකරුවන් ද ඇතුළුව පුද්ගලයන් 277 දෙනෙකුට දිවි අහිමි විය. තවත් 500කට අධික පිරිසකට තුවාල සිදු විය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වසර හතරක් ගත වී තිබුනත්, මේ දක්වාම එම කුරිරු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මෙතෙක් බලයට පැමිණි රජයන් අසමත් වීම සහ විමර්ශන සම්බන්ධයෙන් ඇති සැක සහිත තැන් ගැන කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික ආගමික නායකයින් දිගින් දිගටම යුක්තිය ඉටු කරන ලෙස නිරන්තරයෙන්ම හඬක් නැගීම දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේව මෙහෙයට සහභාගී වූවා ද යන්න පිළිබඳ අප එම දිනවල පළ වූ ප්‍රධාන දේව මෙහෙයන් සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය ධාරාවල පුවත් පත් වල ද, යූ ටියුබ් වීඩියෝ ඔස්සේ ද, පරීක්ෂා කළත්, අපට එදින කාදිනල් අගරදගුරුතුමන් දේව මෙහෙයක් පවත්වන බවට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳ විමසීමක් කිරීම සඳහා ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදු කළා.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු වසරවලදී එම කුරිරු ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයන්හි උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමි සහභාගී වීමත් සමඟ බොහෝ දෙනා මේ පිලිබඳ වැරදි වැටහීමක් ලබාගෙන ඇති බව සඳහන් කරමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පවසා සිටියේ ඊට පෙර ඉතිහාසයේ එකදු අවස්ථාවක දී හෝ පාස්කු ඉරිදින උදෑසන කිසියම් හෝ පල්ලියක පැවැත්වෙන දේව මෙහෙයට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී වී නොමැති බවයි. එයට හේතුවන කාරණා ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් විස්තර කලේ මෙලෙසින්.

“අපගේ නත්තල, පාස්කුව යන දේව මෙහෙයන් දෙක අප පවත්වන්නේ මධ්‍යම රාත්‍රියේ. ඒ පාස්කුවේ සහ නත්තල් දේව මෙහෙයන් වල මධ්‍යම රාත්‍රී දේව මෙහෙය තමයි ප්‍රධාන වෙන්නේ. නත්තලට රාත්‍රී දේව මෙහෙයට හේතුව ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනා කියලා පිළිගැනෙන්නේ නත්තල් දින අළුයම (එනම් දෙසැම්බර් 24 දින මැදියම් රැයේ). එසේම ක්‍රිස්තුස් වහන්සේ මරණින් පසු නැවත උත්ථාන වුණා කියලා පිළිගැනෙන පාස්කු ඉරුදින එළිවෙන්නයි. මේ අනුව පාස්කු ඉරුදින අළුයම, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන අතර, එම අවස්ථාව සිහිකරමින් ආලේලූයියා සෙනසුරාදා (එනම් මහසිකුරාදාට පසුදින) මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව පැවැත්වීම සම්මතය බවත්, එමඟින් ක්‍රිස්තුස් වහන්සේ අඳුරු රාත්‍රියෙන් පසුව ආලෝකයත් සමග උත්ථානය වුණා කියන දෙය කතෝලික සභාව පිළිගන්නා බැවින්, මෙම කරුණු සැළකිල්ලට ගනිමින් බොහෝ ප්‍රධාන කතෝලික දේවස්ථානවල පාස්කු දේව මෙහෙයන්, පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දිනයේ රාත්‍රී 10 ට හෝ 11ට ආරම්භ වන අතර මෙම දිව්‍ය පූජාවන් පසුදා අළුයම 1 ත් 2ත් අතර අවසන් වනවා.

මෙම රාත්‍රී දේව මෙහෙයට සහභාගි වන කතෝලික පිරිස්, පසුව දා පවත්වන පාස්කු ඉරිදා උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වන්නේ නැහැ. බොහෝ අවස්ථාවන් වල උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වන්නේ, මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාවට සහභාගී වීමට අපහසු පිරිසයි. මධ්‍යම රාත්‍රී දේව මෙහෙයේදී ගින්දර ආශිර්වාදය, ජලය ආශිර්වා ද ඉටිපහන් දල්වා කෙරෙන අතර, බොහෝ දෙනා දේවස්ථානයට පැමිණෙන්නේ මෙම ප්‍රධාන දේව මෙහෙයට වන අතර, පාස්කු දින උදෑසන පැවැත්වෙන්නේ සාමාන්‍ය දිව්‍ය පූජාවක් පමණකි.”

එබැවින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙතෙක් සහභාගී වූයේ ආලේලූයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සහ පාස්කු ඉරුදින අළුයම් කාලය අතර පවත්වනු ලබන ප්‍රධාන දේව මෙහෙයට බවත්, 2019 වසරේ ද එම දේව මෙහෙයට සහභාගී වූ බවත්, මේ හේතුවෙන් ඊට පසු දින (පාස්කු ඉරුදින) උදේ වරුවේ කිසිඳු හෝ පල්ලියක පැවැත්වෙන දේව මෙහෙයට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී නොවූ බවත්, එතුමන්ගේ ඉතිහාසයේ පුරාවටම, කිසිදු හෝ පල්ලියක පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වී නොමැති බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළා.

එසේම අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ආසන දෙව්මැදුර වන්නේ කොටහේන සාන්ත ලුසියා දේවස්ථානය බවත්, නිල වශයෙන් රදගුරුතුමෙක්ට දේවස්ථානයක් අයිති බවත්, රදගුරුතුමන් ප්‍රධාන දේව මෙහෙයන් පවත්වන්නේ තම ආසන දෙව් මැදුරේ එනම් කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ බවත්,ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පවසා සිටියා.

එසේම ආලේලූයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පූජාවට අමතරව මහ බ්‍රහස්පතින්දා රාත්‍රි දිව්‍ය පූජාව, මහ සිකුරාදා දිව්‍ය පූජාව යනාදී දේව මෙහෙයන් සියල්ලම පිළිගත් ක්‍රම වේදයට අනුව කාදිනල් රංජිත් හිමිපාණන් ඉතිහාසයේ සිටම පවත්වන්නේ කොටහේන දෙව්මැදුරේ බවත්, උන්වහන්සේ ඒ සඳහා සහභාගී විය යුතු බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැහැදිලි කර සිටියා.

මේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට පෙර කිසිදු අවස්ථාවකදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ හෝ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා නොමැති බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසුව, එම දේවස්ථානයන්හි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වර්ෂ පූර්ණ නිමිත්තෙන් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ප්‍රධාන දේව මෙහෙයන් පවත්වන බවත්, ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් වැඩි දුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ප්‍රනාන්දු පියතුමන්

මේ පිලිබඳ මාධ්‍යවේදියෙකු විසින් 2021 වසරේ දී ද ප්‍රශ්නයට නැගු අවස්ථාවක් අපට දැකගනන්ට ලැබුණා. එයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ප්‍රනාන්දු පියතුමන්ද ඉහත ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසු කරුණු සනාථ කරමින් තවදුරටත් පවසා තිබුනේ සාමාන්‍යයෙන් අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරුදින උදයේ පුජාව සිදුකරන්නේ (පාස්කු ඉරුදින ප්‍රහාරය පෙර වසරවලදී) බන්ධනාගාර රැඳවියන් සමඟ හෝ මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ වැනි ස්ථානයක බවත්, 2019 පාස්කු ඉරුදින උදෑසන පල්ලියක දේව මෙහෙයකට සහභාගී වීම මඟහැරිය බව පැවසීම සම්පුර්ණයෙන් අසත්‍යක් බවයි. එම කරුණු දැක්වීම පහතින්.

https://youtu.be/We6F_Abt6hA?t=101

ඒ ආකාරයට 2018 වසරේ පාස්කු ඉරුදින උදෑසන, කාදිනල් හිමිපාණන් පිළිකා රෝහලට පැමිණීම පිළිබඳ පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එමෙන්ම පසුගිය වසර කිහිපයක දී කොටහේන සා. ලුසියා ආසන දෙව්මැදුරේ පැවති ආලේලුයියා සෙනසුරාදා දේව මෙහෙය, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දී පවත්වා තිබූ ආකාරය අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

අප කතෝලිකයින් කිහිප දෙනෙකුගෙන් ද මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන් ද පවසා සිටියේ ආලේලූයියා සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙය ප්‍රධාන දේව මෙහෙය වන අතර එයට සහභාගි වන්නේ නම් ඔවුන් ද කිසිවිටෙකත් පාස්කු ඉරුදින දේව මෙහෙයකට නැවත වරක් සහභාගී වන්නේ නැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මෙරට සිදු වූ බෝම්බ ප්‍රහාරය දා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුනු පල්ලියක පැවති දේව මෙහෙයට සහභාගී නොවූ බවත්, එයට හේතුව පාස්කු ප්‍රහාරය පිලිබඳ දැනුවත්ව සිටි බැවින්දැයි ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය සහ නොමග යන සුළු බවයි.

ක්‍රිස්තුස් වහන්සේ මරණින් පසු උත්ථානය සිදුවුණා කියලා පිළිගැනෙන්නේ පාස්කු ඉරුදින එළිවෙන්නයි. එබැවින් පාස්කු ඉරුදින අළුයම, ක්‍රිස්තුස් වහන්සේගේ මෙම උත්ථානය සිහිකරමින්, ආලේලූයියා සෙනසුරාදා (එනම් මහසිකුරාදාට පසුදින) මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව පැවැත්වීම, බොහෝ ප්‍රධාන කතෝලික දේවස්ථානවල සම්මතයයි.

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ආසන දෙව්මැදුර පිහිටා තිබෙන්නේ කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ වන අතර උන්වහන්සේ 2019 වසරේ මෙන්ම ඊට පෙර සහ පසු සෑම වසරකමදී ම, එම දේවස්ථානයේ පවැත්වෙන, ආලේලූයියා සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙයට සහභාගී වී තිබෙනවා. එය පාස්කු ඉරුදින අළුයම වන විට අවසන් වෙනවා.

මේ ආකාරයට අගරදගුරුතුමන් ආලේලූයියා සෙනසුරාදා රාත්‍රී ප්‍රධාන දිව්‍ය පූජාවට සහභාගී වන බැවින්, පාස්කු ඉරුදිනයේ උදෑසන නැවත දේව මෙහෙයකට සහභාගී වීමක් සම්මතයක් වශයෙන් සිදුවුනේ නැති අතර, 2019 වසරට පෙර කිසිඳු අවස්ථාවක දී කිසිඳු පල්ලියක උදෑසන දේව මෙහෙයකට සහභාගී වී නොමැති බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් තහවුරු කර සිටිනවා.

කෙසේවෙතත් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු වසරවලදී, එහි වින්දිතයින් සිහිපත් කරමින්, කොළඹ කොච්චිකඩේ, කටුවපිටිය සාන්ත සෙබස්තියන් ආදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයන්හි, පාස්කු ඉරුදින දේව මෙහෙයන් සඳහා, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී වෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News