ආචාර්‍ය රොහාන් පෙතියාගොඩ මෙවර පරිසරවේදීන්ට ලැබෙන නොබෙල් ත්‍යාගය වන ලිනේයන් පදක්කම හිමි කරගත්තාද?

Update: 2024-06-01 17:37 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකිකයන් ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව පුවත් වරින් වර අපට ඇසීමට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි තොරතුරු හුවමාරු වීම බහුලව සිදුවෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරු නොමඟ යවන සුළු ඒවා විය හැකියි. එනිසා මෙවන් තොරතුරු තවදුරටත් හුවමාරු කිරීමට පෙර, එම තොරතුරු සත්‍ය බවට තහවුරු කරගැනීම වැදගත්.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි සටහනක් පිළිබඳව අපි විමර්ෂණය කළා

සමාජ මාධ් සටහන්

පසුගියදා සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සුලබව හුවමාරු වූ එක් සටහනක දැක්වෙන්නේ ආචාර්‍ය රොහාන් පෙතියාගොඩ මහතා, මෙවර ලෝකයේ පරිසරවේදීන්ට පිරිනමන නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන ලිනේයන් පදක්කම දිනා ඇති බවටයි.

Facebook | Archived

මෙම සටහන Facebook ඔස්සේ විශාල ලෙස හුවමාරු වී තිබුණා. මෑතකදී එලෙස හුවමාරු වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමසා බැලීමට Crescendo අප තීරණය කළා.

Fact Check (කරුණු තහවුරු කිරීම):

ලිනේයන් පදක්කම -

මෙහිදී ප්‍රථමයෙන් අපගේ අවදානය යොමු වුණේ ලීනියන් පදක්කම පිළිබඳවයි.

මෙම පදක්කම ස්වභාවික විද්‍යාවන් කෙරෙ හි ඔවුන් ලබාදුන් දායකත්වය වෙනුවෙන් විද්‍යාඥයෙකුට (උද්භිත හෝ සත්ත්ව) පිරිනැමෙන පදක්කමක්. මෙය වාර්ෂිකව, ලෝකයේ එක් විද්‍යාඥයෙකුට පිරිනමනු ලබනවා. මෙම පදක්කම ලබාදීමේදී ජාතිකත්වය, වයස හෝ වෙනත් කිසිදු අමතර සාධකයක් නොසලකා, හුදෙක් ස්වභාව විද්‍යාවට සිදු කළ සේවාව පමණක් සැලකීම සිදු කෙරෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

මෙම පදක්කම පිරිනැමීමට කටයුතු කරන ලන්ඩන්හි ලිනේයන් පදනම විසින් ලිනේයන් පදක්කම 1888දී පිහිටුවා තිබෙනවා. මෙම පදක්කම ඉතා කීර්තිමත් ස්වභාව විද්‍යාඥයින් විසින් ලබාගන්නා එකක් වීම නිසා සාමාන්‍ය කතාබහේදී මෙය ස්වභාව විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වනවා. නමුත් මෙම පදක්කම සහ නොබෙල් ත්‍යාගය අතර වෙනත් කිසිඳු සම්බන්ධයක් නැහැ. ලිනේයස් පදක්කම පිරිනමන්නේ ලන්ඩනයේ ලිනේයස් පදනමෙන් වන අතර නොබෙල් ත්‍යාගය යනු ස්වීඩනයේ ස්ටොක්හෝම් හි නොබෙල් පදනම විසින් පරිපාලනය කරනු ලබන, ස්වීඩන නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යවසායකයෙකු වූ ඇල්ෆ්‍රෙඩ් නොබෙල් ගේ ධන පරිත්‍යාගයන් ඔස්සේ පිරිනමන සම්මානයක්.

සමාජ මාධ් සටහන් විමසා බැලීම -

සමාජ මාධ්‍ය සටහන්වල පෙන්වා දෙන පරිදි මෑතකදී ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ ස්වභාව විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩ මහතා මෙම පදක්කම ලබාගත් බවට දැක්වුනු සටහන් අප විසින් විමසා බැලුවා. මෙහිදී පෙනී ගියේ මේ ආශ්‍රිත සටහන් මීට පෙර 2022 වසරේදී වැඩිවශයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බවයි. 2022 වසරේ මැයි මාසයේදී මීට අදාල වීඩියෝ පවා සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබුණා. එතුමා අදාල පදක්කම ලබා ගැනීම දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් මෙතනින්. සං‍රක්ෂිත

මීට අමතරව මෑතකදී හුවමාරු වූ සටහන ඒ සමයේදීද මෙම පුවත සමාජ මාධ්‍ය සටහන් ලෙස පැවතී තිබුණා. එම සටහන මෙතනින්. Archived Link

ඒ අනුව මෙම පුවත මීට පෙර වාර්තා වූ බවට තහවුරු වුණා. මේ පුවර 2022 මැයි මාසයේදී විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. ඊට අදාල පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්. තවත් මෙවැනි වාර්තා මෙතනින්, මෙතනින්. ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින් මේ පිළිබඳව එතුමාට ගරු කිරීමක් වශයෙන් 2022 ජූනි මස නිකුත් කළ පණිවිඩය මෙතනින්.

එමෙන්ම ලිනේයන් පදනමේ වෙබ් පිටුවේද මෑත,,එක් එක් වසර වලදී මෙම පදක්කම ලබාගත් විද්‍යාඥවරුන්ගේ නම් ලැයිස්තුව පෙන්වා තිබෙනවා. ඊට අනුව, 2024 වසරේදී මෙම පදක්කම ලබා ගෙන ඇත්තේ මහාචාර්‍ය පෝල් අප්චර්ච් විසින්. 2023 වසරේදී එය මහාචාර්‍ය සැන්ඩ්‍රා ඩයස් විසින් හිමි කරගෙන ඇති අතර, 2022 වසරේ දී එය රොහාන් පෙතියාගොඩ මහතා විසින් සත්ත්ව විද්‍යාව වෙනුවෙන් දිනාගත් බවට මෙහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

රොහාන් පෙතියාගොඩ මහතා මෙම සම්මානයට පාත්‍ර වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයායි. ඉතිහාසයේදී මෙම පදක්කම ලබාගත් විද්‍යාඥවරුන්ගේ ලැයිස්තුව මෙතනින්. එමෙන්ම මෙම පදක්කම ලබාගත් දෙවන ආසියාතිකයා වන්නේත් එතුමායි.

රොහාන් පෙතියාගොඩ මහතාගෙන් සිදු කළ විමසීම -

එතුමා තහවුරු කළේ මෙම පදක්කම එතුමා විසින් 2022 වසරේදී ලබාගත් බවයි. මේ දිනවර සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම පුවත 2022 වසරේ සිදුවූවක් බව එතුමා පෙන්වා දුන්නා. මේ වන විට එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන නමුත්, තවමත් තම සේවය එතුමා සම්පූර්ණයෙන්ම නතර කර නැහැ. මේ වන විටත්, ඇතැම් පර්‍යේෂණ මෙහෙයවීම සහ දැනුවත් කිරීමේ කටයුතු එතුමා විසින් සිදු කරගෙන යමින් සිටිනවා.

වසර 40ක පමණ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ විශේෂයෙන්ම මිරිදිය මත්ස්‍යයින් පිළිබඳව පර්‍යේෂණ මෙහෙයවමින් එතුමා විශාල සේවයන් ශ්‍රී ලංකාවේ මෙන්ම, ලෝකයේ ස්වභාව ධර්මයට මෙහෙයක් එතුමා සිදු කළා. මෙලෙස සිදු කළ පරියේෂණ පිළිබඳව සාරාංශය මෙතනින්. මෙම පදක්කම එම මෙහෙවර ඇගයීම වෙනුවෙන් එතුමා හිමි කරගෙන තිබෙනවා.

රොහාන් පෙතියාගොඩ මහතා ආසන්න වශයෙන් මත්ස්‍යයින්, උභයජීවීන් සහ කටුස්සන් ඇතුළු නව පෘෂ්ඨවංශීන් විශේෂ 100ක් පමණත්, මිරිදිය කකුළු විශේෂ 43කුත් සොයා ගැනීම සඳහා දායක වී තිබෙනවා. එමෙන්ම මෙතුමාගේ නමින් අලුතින් සොයා ගත් ජීවී විශේෂ රැසක් නම් කර තිබීමත් විශේෂත්වයක්.

Dawkinsia rohani සහ Rasboroides rohani වැනි මිරිදිය මත්ස්‍ය විශේෂ, Uperodon rohani වැනි මැඩි විශේෂ, Calotes pethiyagodai වැනි කටුසු විශේෂ, Onomastus pethiyagodai වැනි මකුළුවන් සහ Macromidia donaldi pethiyagodai වැනි බත්කූරු විශේෂ මෙලෙස එතුමාගේ නම ලැබූ නව සත්ත්ව විශේෂයි. එමෙන්ම, එස්. ඩී. බිජූ විසින් මෙහෙයවනලද විද්‍යාඥ කණ්ඩායමක් විසින් හඳුනාගත් නව දකුණු සහ ගිණිකොණ දිග ආසියානු ගස් ගෙම්බන් ගණයක් සඳහා රොහාන් පෙතියාගොඩ මහතාට සිදුකරන ගෞරවයක් වශයෙන් Rohanixalus යන නම යොදා තිබෙනවා. 

රොහාන් පෙතියාගොඩ මහතා විසින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ පොත් පත් රචනා කර තිබෙනවා. Green Gold: Discovering Sri Lanka’s Biodiversity, Horton Plains: Sri Lanka’s Cloud-forest National Park, Ours to Protect: Sri Lanka’s Biodiversity Heritage, Freshwater Fishes in Sri Lanka, Sri Lankan Primates: An Enthusiasts’ Guide වැනි බොහෝමයක් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, සත්ත්ව විද්‍යාව සහ පරිසරය ආශ්‍රිතව ලියවුණු පොත් මෙතුමා දායාද කර තිබෙනවා.

මෙම සොයාගැනීම් සහ පලකිරීම් සියල්ල ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේත් ප්‍රශංසාවට සහ ගෞරවයට පාත්‍රවී තිබෙනවා. එහි එක් සන්ධිස්ථානයක් ලෙස මෙම ලිනේයස් පදක්කම එතුමාට හිමිවීම හඳුන්වන්නට පුළුවන්.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

රොහාන් පෙතියාගොඩ මහතා 2022 වසරේ දී ලිනේයන් පදක්කමට පාත්‍රවී ඇති අතර, එය ශ්‍රී ලාංකිකයෙකු විසින් එම පදක්කම දිනාගත් ප්‍රථම සහ දැනට එකම අවස්ථාවයි. එම වසරේදී පලවූ සමාජ මාධ්‍ය සටහන් නැවත පරිශීලකයින් විසින් හුවමාරු කිරීමට පටන් ගැනීම නිසා මෙම පුවත නැවත් මේ දිනවල කරලියට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් රොහාන් පෙතියාගොඩ මහතා 2022 වසරේදී දිනාගත් ලිනේයන් පදක්කම 2024 වසරේ දිනා ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ, භූ විද්‍යාව පිළිබඳව මහාචාර්‍ය පෝල් අප්චර්ච් විසිනුයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ආචාර්‍ය රොහාන් පෙතියාගොඩ මෙවර පරිසරවේදීන්ට ලැබෙන නොබෙල් ත්‍යාගය වන ලිනේයන් පදක්කම හිමි කරගත්තාද?

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News