සිරකරුවන්ට ඡන්ද අයිතිය හිමි ද?

Update: 2024-08-16 17:32 GMT

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙත පිහිටා ඇති අතර, එයට පාලකයන් තෝරා පත් කරගැනීම සඳහාවන ඡන්ද අයිතිය ද ඇතුළත් වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ ඡන්ද ක‍්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඡන්ද බලය හිමි සැලකිය යුතු ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මැතිවරණවල දී අත් හැරෙන බව ඔබ දැන සිටියාද?

මැතිවරණ දිනයක දී සිදු වන්නේ, සියලූ ඡන්ද දායකයන් තමා ලියාපදිංචි වී සිටින ඡන්ද බල ප‍්‍රදේශයේ තමාට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප‍්‍රකාශ කිරීමය. එය වසර ගණනාවක් පුරාවට පවතින පොදු ක‍්‍රමවේදය යි. එයින් බැහැරව, මැතිවරණ රාජකාරී සඳහා සහභාගීවන රාජ්‍ය සේවකයන්ට, සෞඛ්‍ය අංශ, පොලිසියට හා ත‍්‍රිවිධ හමුදාව යන අංශයන්ට තැපැල් භාවිත කිරීමේ වරප‍්‍රසාදය හිමිව පවතී. මක්නිසාදයත්, ඔවුන්ට සිය රාජකාරී කටයුතු අතරතුර නැවත සිය ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇති ප‍්‍රායෝගික අපහසුව සලකා මෙලෙස පූර්ව ඡන්ද ක‍්‍රමයක් ඔවුන් හට හඳුන්වා දී තිබේ.

එහෙත්, මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වන්නේ පෙර සඳහන් කළ පරිදි, මැතිවරණ රාජකාරීවලට අදාළ රාජ්‍ය සේවකයන්ට පමණි. නමුත්, මෙම ක‍්‍රමයට හසු නොවන, ඡන්දය පැවැත්වෙන දිනයේ දී ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පළ කිරීමට අපහසු බොහෝ ඡන්ද දායකයන්ට සිය ඡන්ද බලය භාවිත කිරීමේ හැකියාව ඇහිරී ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් සහ මාධ්‍යවේදීන් යනු, මෙලෙස මැතිවරණ දිනයේ දී ඡන්දය භාවිත කිරීමට අපහසු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන තවත් කණ්ඩායම් දෙකකි. මැතිවරණ පැවැත්වෙන ස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් ප‍්‍රමාණයක් සම්බන්ධ වන අතර මාධ්‍යවේදීන්ට ද මැතිවරණය පිළිබඳව ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ කාර්යයභාරය ඔවුනට පැවරී තිබේ.

මීට අමතරව ප‍්‍රධාන වශයෙන් ම මඟ හැරෙන තවත් කණ්ඩායම් දෙකක් වන්නේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සහ විදෙස්ගත ශ‍්‍රමිකයන් ය. බන්ධනාගාර ගත රැඳවියන්ට ඡන්ද බලය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සිරකරු අයිතිවාසිකම් කමිටුවේ සාමාජික සුරේෂ් නන්දිමාල් විසින් රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කර තිබේ.

මේ පිළිබඳව 2024.08.09 දින මැතිවරණ කොමසමේ විශේෂ කරුණු දැක්වීමක් සිදු වූ අතර එහිදී ද සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳව අතිරේක මැතිවරණ කොමසාරිස් නීතී විමර්ශණ හා සැලසුම් චින්තක කුලරත්න විසින් ප‍්‍රකාශ කර සිටියේ; ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) වගන්තිය යටතේද ඡන්ද අයිතිය පිළිබඳව සඳහන් වන අතර වසර දෙකකට වැඩි කාලයක් වරදක් සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සිරකරුවන්ට ඡන්ද අයිතිය අයිතිය අහිමිවන බවත් ය. වැඩිදුර තොරතුරු මෙතැනින්.

රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ගේ හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන වැඩපිළිවෙළක් සකසන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිිිිටුව සැකකරුවන්ට හා සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීම සදහා මැන්ඩමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ‌ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජූලි මස 17වන දිනපෙත්සමක් ගොනු කර ඇත. වැඩි විස්තර.

මෙම වර්ෂයේද එනම්, 2024.07.17 දින ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (ඌ) (1) අනුව්‍යවස්ථාව යටතේ මන්ඩාමුස් රීට් පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අතර මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් ඇතුළු පුද්ගලයන් නව දෙනෙක් වග උත්තරකරුවන් ලෙස නම් කරන ලදී. මෙහි පෙත්සම්කරු වන සිරුකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානයේ සභාපති ද විසින් සුදුකම්ලත් සිරකරුවන්ට ඡන්ද අයිතිය තහවුරු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත් 14 (1) (අ) අනුව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප‍්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දී තිබේ. මෙහිදී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරන ලද බන්ධනාගාරගත රැදවියන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට සුදුසු නිර්දේශ නියම කිරීමට ආඥාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද ඇත.

නීතියේ ප‍්‍රායෝගික දුෂ්කරතා

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 88 ව්‍යවස්ථාව ඡන්ද බලය හිමි සියලූ තැනැත්තන්ට ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙන්ම ජනමතවිචාරණයකදී ඡන්දය භාවිත කිරීමට හැකි බව දක්වා තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව යම් තැනැත්තෙකුට ඡන්ද බලය අහිමි විය හැකි ආකාර විග‍්‍රහ කර ඇති අතර යම් කාලසීමා යටතේ බන්ධනාගාරගතවීම මගින් ඡන්ද බලය අහිමි වීම පිළිබඳව 89 (ඈ) අනුව්‍යවස්ථාව යටතේ විග‍්‍රහ කරයි. එම අනුව්‍යවස්ථාව අනුව ආකාර පහකින් බන්ධනාගාරගත කිරීමේ දඩුවම් ලබන තැනැත්තන්ට ඡුන්ද බලය අහිමි වේ. එම ආකාර නම්,

  1. වසර දෙකකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට මාස හයකට වැඩි කාලයක සිරදඩුවම් නියම කර ඇති විට එම දඩුවම විදිමින් සිටින අයෙක්
  2. ගතවූ වසර හතක කාලය තුළ ඉහත (1)හි ආකාරයේ දඩුවමක් සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තෙකු
  3. මරණ දණ්ඩනය නියම කර ඇති විට
  4. මරණ දණ්ඩනය වෙනුවට මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් විදිමින් සිටින විට
  5. මැතිවරණයක් පැවැත්වීමට අවුරුදු හතක කාලයක් තුළ ඉහත (4)හි කී සිරදඩුවම සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තෙකු

ඒ අනුව, පහත ප‍්‍රතිපාදන අනුව,

  1. අවුරුදු දෙකකට අඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් සිරදඩුවම් ලැබිය හැකි වරදකට දඩුවම් ලබා ඇති රැදවියන්
  2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට පාත‍්‍ර නොවූ රැදවියන්
  3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට පාත‍්‍ර වුවද කොන්දේසි රහිත සමාවක් ලද රැදවියකු
  4. තවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් වැරදිකරු වන තෙක් සියලූම තැනැත්තන් නිර්දෝශී පුද්ගලයන් වන්නේය.

ඒ අනුව, සියලූම රිමාන්ඞ් සිරකරුවන්ට ඡන්ද අයිතිය තිබේ.

එනමුත්, ප‍්‍රායෝගිකව එම අයිතිය ක‍්‍රියාත්මක කිරීමට යාන්ත‍්‍රණයක් තවමත් මෙරට තුළ ස්ථාපිත කර නැත. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනත, පරිවාර නීති හා දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග කිසිවක් සඳහන් නොකරයි.

2019 වර්ෂයේද, ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ද ඡන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙසට මැතිවරණ කොමිසමට හා අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ 2019 වර්ෂයේ ද ඔක්තෝම්බර් මස (09) රිට් පෙත්සමක් ගොනු කර ඇත.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව ගොනු කළ මෙම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන්එකල මැතිවරණ කොමිසමේ සභාපතිවූ මහින්ද දේශප‍්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ඡේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්, සමග අධිකරණය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම් කරනු ලැබ තිබේ.

මෙලෙස හිමිකම් ලබන පිරිසකට ඡන්දය භාවිත කිරිමට කිසිදු ක‍්‍රියාපටිපාටියක් හෝ සැකසීමට වගකිව යුතු නිලධාරින් කටයුතු කර නොමැති බවද පෙත්සමකරු කියා සිටී. ඒ නිසා ඔවුන් ඡන්ද ප‍්‍රතිශතයටද ඇතුළත් නොවන බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි. ජුලි 17 වැනිදා (2019) මැතිවරණ කොමසාරිස්වරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කළද එම ඉල්ලීම ලබා දිමට මැතිවරණ කොමිසම, එහි සභාපති හා සාමාජිකයින් කිසිදු පියවරක් ගෙන නොමැත.

මේ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී මෙන්ම එළැඹෙන මහමැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන්ට සිය ඡන්දය පාවිච්චි කිරිමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මැන්ඩාමුස් රීට් නියෝග නිකුත් කරතැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

2020 මැතිවරණයේදී ද, මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆෙ සංවිධානය සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය ඉල්ලා සිට තිබේ. එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත එකල ලිපියක් යෙමු කර තිබේ. කැෆෙ සංවිධානය වෙනුවෙන් එහි එවක විධායක අධ්‍යක්ෂ අහමඞ් මනාස් මහතා සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම්කේන්ද‍්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.

සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දි ඇති අතර එය බරපතල ලෙස මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද දක්වා ඇත. ලොව බෙහෝ රටවල සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදී ඇති බව ද එැවිනි ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකාවේද අනුගමනය කළ යුතුව ඇති බව අදාල ලිපිය මඟින් තව දුරටත් යෝජනා කර තිබේ.

සිරකරුවනට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලියක් සඳහා ප‍්‍රතිපාදන සහ පහසුකම් සලසන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අභියාචනාධිකරණයට (CA) රිට් ආඥාවක් ගොනු කර තිබේ. බන්ධනාගාර රැඳවියන් (වැරදිකරුවන් සහ රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්) සඳහා සර්වජන ඡන්ද බලය භාවිතා කිරීමට ඉඩ ලබා දෙන ලෙස එමගින් ඉල්ලා තිබේ. බන්ධනාගාර පද්ධතිය තුළ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කිසිදු යාන්ත‍්‍රණයක් නොමැති බව මෙම රිට් පෙත්සමෙහි සඳහන් වේ.

මහජන අවශ්‍යතාවයක් සඳහා ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම (EC), අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය සහ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ නීතිපතිවරයා දක්වා තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව (89 වැනි වගන්තිය) අනුව සියලූම සිරකරුවන් ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සහ ජනමත විචාරණයකදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සකු නොවන බව පෙත්සමේ සඳහන් වේ.

එම වගන්තිය මෙසේය…

(ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක‍්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම්,

නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම

ඡන්ද බලය අහිමිවීම මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”

ඒ අනුව රැඳවුම් භාරයේ සිටින අයට සහ කෙටි දඩුවම් විදින සිරකරුවනට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. ඡන්දය ප‍්‍රකාශ කිරීම ද පුරවැසි යුතුකමක් බවද පෙත්සම සඳහන් කරයි.

කෙසේ වෙතත්, එම වගන්තියේ විධිවිධානය මඟින් එසේ නුසුදුස්සෙකුට නිදහස් සමාවක් ප‍්‍රදානය කරනු ලැබුවහොත්, එම නුසුදුස්සකම නතර කිරීමට විධිවිධාන සපයයි. තවද, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 6 වැනි වගන්තියෙන් නුසුදුස්සකු වන්නේ දූෂිත හෝ නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අය පමණි

කෙසේ වෙතත්, පෙත්සම්කරු (හිටපු සිරකරුවෙකු වන ඩබ්ලිව්. සුදේශ් නන්දිමාල් සිල්වා) කියා සිටින්නේ තැපැල් ඡන්දයෙන් වුවද සුදුසුකම් ඇති සිරකරුවන්ට බන්ධනාගාර පරිශ‍්‍රය තුළ හෝ රිමාන්ඞ් භාරයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට කිසිදු යාන්ත‍්‍රණයක් හෝ පහසුකමක් මැතිවරණ කොමිසම විසින් සකස් කර නොමැති බවයි. එබැවින්, ඒ සඳහා යාන්ත‍්‍රණයක් පිහිටුවීමට මාර්ගෝපදේශ නිකුත් නොකිරීම, ඡන්දදායක ජනගහනයේ කොටසකට ඡන්ද අයිතිය අහිමි කරන බැවින් මැතිවරණ අඛණ්ඩතාවට බාධාවන ක‍්‍රියාපටිපාටිමය නුසුදුසු ක‍්‍රියාවකට සමාන වන බව පෙත්සම්කරු තර්ක කරයි.

සුදුසුකම් ලත් සිරකරුවන්ගේ අපේක්ෂාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියට සහභාගී වීමට ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය මෙමගින් අසමානතාවය ඇති කරන බවත්, මැතිවරණ සාධාරණත්වයේ අසමමිතියක් ඇති කරන බවත්, විනිවිදභාවය අඩු කරන බවත්, මැතිවරණ ප‍්‍රතිඵලවලට බල පෑ හැකි විභවයක් ඇති කරන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කරයි. එසේ ප‍්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ද වේ.

මැතිවරණ කොමිසම දිගු කලක් තිස්සේ මෙම අයිතිවාසිකම් නොසලකා හැර ඇත. එපමණක් නොව සිරකරුවන්ට ලබාදෙන ආහාර ප‍්‍රමිතිය ඇතුළු සුබසාධන පහසුකම් රජයේ ප‍්‍රතිපත්ති අනුව වෙනස් වන බැවින් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සංවේදී වන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සිරකරුවන්ට සහභාගි වීමට හැකිවීම වැදගත් වේ. මේ අනුව, ඡන්දය ප‍්‍රකාශ කිරීමේ පහසුකම් සඳහා දැනට ඇති බාධා, දැනටමත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් තව දුරටත් කොන් කරයි. එය ඔවුන්ගේ සමාජ හා දේශපාලන බැහැර කිරීම සදාකාලික කරයි.

එබැවින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති සියලූම සිරකරුවන්ට ඒ සඳහා ඔවුන්ගේ අයිතිය භාවිත කළ හැකි බව සහතික කිරීම සඳහා ශක්‍ය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටිති.

නීතීඥ සේනක පෙන්වා දෙන්නේ, “සිරගතවෙලා සිටින රැඳවියන්ට ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් දැනටමත් නීති පවතිනවාx 30000 පමණ සිටින සිරකරුවන්ගෙන් 20000 පමණ ඉන්නේ සැකකරුවන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවට අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඒ අයට තිබෙනවා. ඊට අමතරව අවුරුදු දෙකට වඩා අඩු සිර දඬුවම් ලබපු අයටත් ඡන්දය ලබා දීමේ අයිතිය තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ අවුරුදු දෙකට අඩු සිර දඬුවම් ලබපු අයට ඡන්ද බලය තියෙනවාx 89 වගන්තියේ ම ඡන්ද බලය අහිමි අය ගැන විස්තර කරල තිබෙනවා. උදාහරණයක් විදිහට මරණ දඬුවම නියම වුන අයට ඡන්දය පාවිච්චි කරන්න බෑ. ඇත්තටම නීතිය තිබෙනවා. නමුත් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවීම නිසා වසර ගණනක් තිස්සේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කරලා තිබෙනවා.” යනුවෙනි.

පුළුල් පූර්ව ඡන්ද ක‍්‍රමයක අවශ්‍යතාවය.

නීතීඥ සේනක වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙලෙස රැඳවියන්ගේ ඡන්දය ලබා ගැනීමට පහසුම ක‍්‍රමය තැපැල් ඡන්දය වැනි ක‍්‍රමයකින් බවයි. “බන්ධනාගාර විස්සක් පමණ ශ‍්‍රී ලංකාවේ තියෙනවා. මේ හැම එකක්ම ආවරණය වෙන විදිහට තැපැල් ඡන්දයක් වගේ විකල්පයකින් බන්ධනාගරවල ඡන්දය පහසුවෙන් විමසන්න පුළුවන්. නමුත් මේ ගැන කෙතරම් කතා කළත් වග කිවයුතු කිසි කෙනෙක් මේ සඳහා මැදිහත්වෙන්නේ නෑ,” ඔහු පෙන්වා දුන්නේ ය. එමෙන් ම රෝහණ හෙට්ටිආරච්චි ද පෙන්වා දෙන්නේ ඡන්ද දිනයේ දී ඡන්දය ප‍්‍රකාශය කිරීමට අපහසු අයට සහ විදෙස්ගත පුරවැසියන් හට සිට ඡන්දය ප‍්‍රකාශ කළ හැකි ආකාරයට පූර්ව ඡන්ද ක‍්‍රමයන් පුළුල් විය යුතු බවයි. “මැතිවරණ රාජකාරීවල ඉන්න නිලධාරීන්ට පමණක් නොවෙයි විදෙස්ගත ශ‍්‍රමිකයන්ට, මැතිවරණ නිරීක්ෂකයන්ට සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම්වලට මේ අයිතිය ලබා දිය යුතුයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලූ දෙනට සිය ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව හිමි කරදිය යුතුයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පැවසුවේ පූර්ව ඡන්ද ක‍්‍රමය පැහැදිලිවම තව දුරටත් පුළුල් විය යුතු බවයි. “සියළු දෙනාටම ඡන්දය භාවිත කරන්න පුළුවන් විදිහට මේ ක‍්‍රමවේදය පුළුල් වෙන්න ඕනෑ. අපි ඒ සම්බන්ධයෙන් යෝජනා දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. එය අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුතු දෙයක්,” කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. “අපි මේ යෝජනා වසර ගණනක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙතෙක් ඒවා ක‍්‍රියාත්මක වුණේ නෑ.”

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන අන්දමට මෙම යෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

“මීට පෙර ඇෆ්ගනිස්තානයේ සිරගත වෙලා සිටි තලේබාන් සාමාජිකයන්ට පවා තාක්ෂණය යොදාගෙන ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීල තිබුණා. මේ පූර්ව ඡන්ද ක‍්‍රමයක් සඳහා වන සංශෝධන යෝජනා දැනටමත් කැබිනට් මණ්ඩලයට ගිහින් තියෙනවා. අපි මේ ගැන කොතරම් කතා කළත් ඒ සඳහා නීති සම්පාදනය කරන්න ඕනෑ පාර්ලිමේන්තුව. ඒ අය මේ සඳහා නීති සකස් කරන්නේ නැති තාක් මේ ප‍්‍රශ්නය මේ විදිහටම තියෙනවා.” රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය.

සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීමට නීති පැවතියත් ඒව ක‍්‍රියාත්මක නොවන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්පය නිසා බව නීතීඥ සේනක පෙන්වා දුන්නේ ය. “සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීම ගැන කිසිම දේශපාලන පක්ෂයක් කතා කරන්නේ නෑ. මොකද ඔවුන් බයයි ඒ ගැන කතා කරන්න. ඒ වගේ ම අදාළ බලධාරීන් අපි එක්ක නිල නොවන විදිහට කතා කරද්දි කියන්නේ සිරකරුවන්ව උසාවි එක්කගෙන යාම ඇතුලූ වගකීම්වලට තව වගකීමක් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන්ට තව වැඩ වැඩි වෙනවා වගේ අදහසක්. මේ නිසායි අපේ සංවිධානයේ සුරේෂ් නන්දිමාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ගොනු කළේ.” මෙම පෙත්සම නැවත අගෝස්තු 9වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග.

2021 වසරේ දී වත්මන් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල ප‍්‍රස්තිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව විසින් 2022 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ද පූර්ව මැතිවරණ ක‍්‍රමයක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවේ නිර්දේශ අංක 07 (අ ) යටතේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එය සියලූම ක්ෂේත‍්‍රයන් ආවරණය වන පරිදි විකල්ප ඡන්ද ක‍්‍රමයක් යෝජනා කරන අතර, විදේශීය ශ‍්‍රමිකයන් ඒ අතරට ඇතුළත් නොවේ. ලිපියේ පෙර සඳහන් කළ අවදානම් සහගත කණ්ඩායම් හැරුණුවිට මෙයින්, සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්, සුපිරි වෙළඳසැල් සේවක සේවිකාවන්, හෝටල් සහ ආපනශාලා සේවකයන්, ගෘහ සේවිකාවන්, ඖෂධවේදීන් ද ඇතුලත් කර තිබේ.

එමෙන් ම 2023 නොවැම්බර් 02 දා ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත‍්‍රයකින් මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් පත් කර ඇති කොමිෂන් සභාවකට ද මේ සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස බලය පවරා තිබේ. එලෙස විමර්ශනය කිරීමට යොමු කළ ඇති කරුණු අතර, විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ මැතිවරණ දිනයේ දී මැතිවරණ කටයුතු සඳහා සේවා සපයන රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ව්‍යාපාරය සහ පෞද්ගලික අංශයේ සේවකයන් හට තැපැල් ඡන්දය ලබා දීම ද ඇත.

2024 ජුලි මස 27වන දින මැතිවරණ කොමිසම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ, “තම ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප‍්‍රදේශයේ පවතින තත්වය හේතුකොටගෙන එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් පවතින අයට,” වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් හරහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තුවන බවයි. එම ඉල්ලූම්පත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග‍්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගෙන සම්පූර්ණ කර ග‍්‍රාම නිලධාරීවරයා සහතික කරන ලදුව, නීත්‍යානුකූල මැතිවරණ යෝජනා කැඳවීමේ දිනයේ සිට දින 07ක් ඇතුළත එනම් අගෝස්තු 01 හෝ එදිනට පෙර මැතිවරණ කොමිෂන් සභාවට එවන ලෙස එහි සඳහන් ය.

ඡන්ද අයිතිය ලැබීමට සුදුසුකම් ලබා ඇති බන්ධනාගාර රැදවියන්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන දත්තවලට අනුව 2024 ජුලි 27වන දිනට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30384ක් වන අතර, එයින් 19892ක් ම දඬුවම් නියම නොවූ රිමාන්ඞ් භාරයේ සිටින රැඳවියන් ය. සිරකරු අයිතිවාසික සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ සිරකරුවන්ට වසර ගණනාවක පටන් ඡන්ද අයිතිය අහිමි කර ඇති බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්.

මෙම රිමාන්ඞ් රැදවියන් ප‍්‍රමාණය සමස්ත රැදවියන් ප‍්‍රමාණයෙන් 67%ක ප‍්‍රතිශතයකි. මෙම සියලූ දෙනා ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලත් එහෙත් ඡන්දය භාවිතා කිරීමේ පද්ධතිගත අඩු ලූහුඩුතා නිසා ජන්ද අයිතිය අහිමි වූ පුරවැසියෝ වෙති. සුදුසුකම් ලැබූ බන්ධනාගාර රැදවියන්ට ඡන්ද අයිතිය ලබා නොදීමේ තත්වය තුළ මෙරට පැවැත්වෙන සෑම මැතිවරණයකදීම නීතියෙන් සුදුසුකම් ලැබූ ඡන්දදායක පිරිසකට ඡන්ද අයිතිය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර මැතිවරණක අවසන් ප‍්‍රතිඵලය ගණනය කෙරෙනුයේ එම ප‍්‍රතිශතය මුළුමනින්ම බැහැර කරමිනි. වලංගු ඡන්දදායකයන්ට කොට්ඨාසයකට සිය වරණය අනුව සිය පාලකයා තෝරාගැනීමට අවස්ථාව නොලැබෙන මැතිවරණයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස සැළකිය නොහැක. එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි බරපතල සැක සංකා මතු කරයි.

Tags:    

Similar News