පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි.

මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.” තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර රැසක් සහිතව ෆෙස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම සටහන ෆේස්බුක් පිටු රැසක ද ඉදිරිපත් කර තිබුණේය.

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බැවින් ඊට පෙර ලබාගන්නා ලද මෙම ඡායාරුපය ඇතුළත් සටහන් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස කතාබහක් අත්වී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Bhagya Hettiarachchi ෆේස්බුක් පිටුව ඉදිරිපත් කරතිබු සටහනහි කරුණු තහවුරු කර ගැනීමට අප අන්තර්ජාලයේ සෙවීමක් කළෙමු. ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ වෙබ් අඩවියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය අඩංගු සටහනක් 2වන (ස්වේච්ඡා) සිංහ බලකාය පිළිබඳව කරුණු අඩංගුව ඇති කොටසෙහි 1990 වසරේ පල්ලේකැලේ ගම් උදාව ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට සම්මාන අචාර මුරයක් පිරිනමන ලදි.යන විස්තරය සහිතව දක්නට ලැබුණි.

Link Archived Link

අප මෙම වෙබ් අඩවියේ ඡායාරූපය සහ Bhagya Hettiarachchi ෆේස්බුක් පිටුවෙහි අන්තර්ගතව තිබු ඡායාරූපය සමග සසඳීමේදි එය එකම ඡායාරූපයක් බව නිරීක්ෂණය විය.

මෙම ඡායාරූපය පරීක්ෂා කිරිමේදි ප්‍රේමදාස ජනාධිපතිතුමාට පිටුපසින් එවකට හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ ඔහුගේ දකුණු පසින් සම්මාන මුරයේ අණ දෙන නිළධාරියා ගමන්කරන බව නිරීක්ෂණය වේ. ජනාධිපති තුමාට දකුණු පසින් ගමන් කරන්නේ කාණ්ඩ නිළධාරියා වන බව පෙනේ. එමෙන්ම මෙහි සිටින නිලධාරි සහ සෙබළුන් සිංහ රෙජිමේන්තුවේ සම්මාන නිල ඇඳුමෙන් සැරසී සිටි. මෙම ඡායාරූපය අප සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික ජනරාල්වරුන් කිහිප දෙනෙකුට යොමු කළ විට ඔවුන් සනාථ කලේ ද මෙම ඡායාරූපයේ නිලධාරින් සහ සෙසු නිලයින් සියළු දෙනම සිංහ රෙජිමේන්තුවේ සම්මාන නිල ඇඳුමින් සැරසි සිටන බවයි. එමෙන්ම හමුදා සම්ප්‍රදාය අනුව බලඇණියක නිලධාරීන් සෑම කෙ‍ෙකුම එම බලඇණිය අයත් රෙජිමේන්තුවේ නිලධාරින් විය යුතුය.

අනතුරුව අප ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුදා දිවිය පිළිබඳව අධ්‍යයනය කළෙමු. 1971 අප්‍රෙල් මස 26 දින කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳෙන ජනපති තුමා 1972 මැයි මස 25 දින අධිකාරි ලබමින් දෙවන ලූතිනන් නිලයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට එක්වේ. අනතුරුව සිංහ රෙජිම්න්තුවේ සහ රජරට රයිෆල්ස් බලකායේ කෙටි කාලයක සේවයෙහි නිරතවන එතුමා 1983දී ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරනු ලබයි. ක්‍රමාණුකූලව නිලයෙන් ඉහළ යන එතුමා 1989 ජූලි මස 08වැනි දින ලූතිනන් කර්නල් නිලය දරමින් 1වන ගජබා බලඇණියේ අණදෙන නිලධාරි ලෙස පත්වීම් ලබා 1991 ජනවාරි මස 26 තෙක් එම තනතුර හෙබවීය. එනම් ඉහත සිද්ධිය සිදුවන කාලවකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සේවය කර ඇත්තේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්තවය.

Link

Archived Link

අප ගජබා රෙජිමේන්තුවේ වෙබ් අඩවියට පිවිස 1වන ගජබා බලඇණියේ අණදෙන නිලධාරින්ගේ නාම ලේඛණය පරීක්ෂා කළ විට වත්මන් ජනපතිඳුන් එම බලඇණියේ පස්වන අණදෙන නිලධාරියා බවට තහවුරු විය.

LinkArchived Link

ගජබා රෙජිමේන්තුවේ ආචාර මුර සඳහා යොදාගන්නා නිල ඇඳුම් කට්ටලයද ඡායාරූපයේ පෙන්වන ඇඳුම් වලට වෙනස් බවා පෙනී ගියා. පහත දැක්වෙන්නේ 2018 සිංහ රෙජිම්නේතුවේ ආචාර මුරයකදී ලබාගත් ඡායාරුපයක් සහ 1990 ඡායාරූපයේ සංසන්දනයකි. එම නිල ඇඳුම් දෙකෙහිම හිස් වැසුම ඇතුළු බොහෝ සමානකම් පෙනී යයි

Update : ඉහත ඡායාරූපය 1990 වසරට පෙර අවධියක ලබාගත් බවට ප්‍රතිචාර සටහන් ලැබී තිබුණු බැවින් එම ඡායාරුපය පුවත්පත් වල පලවී තිබුනේ දැයි පරීක්ෂා කිරීමේදී අපට 1990 වසරේ ජුනි මස 26 වැනිදා "දවස" පුවත්පතේ පළවූ පහත ඡායාරුපය දැකගන්නටද ලැබුණි.

එම සම්පුර්ණ පිටුව මෙසේය . පහත දැක්වෙන්නේ 1990 දවස පුවත් පතේ පළවූ ඡායාරූපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප දෙකෙහි සංසන්දනයකි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන පරිදි මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ සිංහ රෙජිමේන්තුවේ 2වන (ස්වේච්ඡා) බලකාය විසින් 1990 වසරේ පල්ලේකැලේ ගම් උදාව ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට සම්මාන අචාර මුරයක් පිරිනමන අවස්ථාවකි. කෙසේවෙතත්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉහත සිද්ධිය සිදුවන අවධියේ යුධ හමුදාවේ ගජබා බලඇණියේ අණදෙන නිළධාරියා ලෙස සේවය කර ඇත. මේ අනුව ඉහත ඡායාරූපයේ සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නොව වෙනත් නිලධාරියෙකි.

Avatar

Title:ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading