ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි.

කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ අප සිදුකළ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“විස්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නසා ආයතනය හෙලිකරයි” යන තේමාව යටතේ රාත්‍රී අහසේ රුවන්වැලි මහා සෑ චෛත්‍ය රජාණන් වහන්සේ දැක්වෙන ආකාරයේ ඡායාරුපයක් ද සහිතව පළවී තිබු සටනක් පහතින්.

Facebook | Archived Facebook Link |Archived Link

2019 වසරේ පලවී තිබු එම සටහන මේ වනවිට තිස් දහසකට අධික පිරිසක් අතර හුවමාරු වී තිබුණා. එසේම එම සටහන නැවත නැවතත් නොයෙකුත් අවස්ථාවල හුවමාරු වී තිබු අතර මේ වසරේ හුවමාරු වී තිබු අවස්ථා කිහිපයක් පහතින්.

එසේම ලොව බලවත්ම ස්ථානය ලංකාව බවට වීඩියෝ පට ද නිර්මාණය වී තිබු අතර එවැනි වීඩියෝවක් මෙතනින්. වෙබ් වාර්තාවක් පහතින්. මේ සියල්ල සඳහා මුල් වී තිබුනේ ලංකාව ආශ්‍රිතවය අඩු ගුරුත්වාකර්ෂණයක් පෙන්වන ඡායාරුපයක්.

Link | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම පුවත වාර්තාකර තිබේදැයි පරීක්ෂා කළද අපට ඒ හා සම්බන්ධ කිසිඳු පුවතක් දැක ගැනීමට ලැබුනේ නැහැ. එසේම ලොව බලගතුම ස්ථානය වැනි ශ්‍රේණිගත කිරීමක් ද කිසිවිටෙකත් දැකගැනීමට ලැබුනේ නැහැ.

නසා වෙබ් අඩවියේ ද මේ සම්බන්ධව කිසිඳු පුවතක් සොයාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නසා වෙබ් අඩවිය පුවත් කිහිපයක් පලකර තිබිණ. එහෙත් එහිද අපට රුවන්වැලි මහා සෑය සම්බන්ධයෙන් කිසිඳු පුවතක් සොයාගැනීමට ද නොහැකි විය.

අප මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ නාසා ආයතනයෙන් විමසීමක් සිදුකලා. එහි මාධ්‍ය අංශයෙන් පවසා සිටියේ නාසා ආයතනය ඉහත සටහන් වල සඳහන් ආකාරයේ ප්‍රකාශයන් නොකරන අතර, එහි දක්වා ඇති ස්ථානය (රුවන්වැලි මහා සෑය) පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නැති බවයි.

කෙසේවෙතත් ඉහත තවත් සටහන් පෙළකට මූලික වී තිබුනේ ලංකාවට ආසන්නයේ අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක් සහිත ඡායාරූපයක්.

මෙම ඡායාරුප පිළිබඳව ද අප නාසා ආයතනයෙන් විමසීමක් සිදුකලා. එහිදී පවසා සිටියේ එම ඡායාරුපය European Space Agency හි GOCE (Gravity Field and Steady-State Ocean Circulation Explorer) යටතේ ලබාගත්තක් බවයි. එම ඡායාරුපය මෙතනින්. ESA නිල වාර්තාව.

මේ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔවුන් පවසා සිටියේ එම ඡායාරුපය 2009 වසරේ මාස දෙකක දත්ත යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි. මේ ඡායාරුපය සමඟ පලවී තිබු BBC වාර්තාවේ ද එම කරුණු සඳහන්.

එසේම නාසා හි GRACE-FO (Gravity Recovery And Climate Experiment - Follow-on) වෙතින් ගුරුත්වාකර්ෂණ දත්ත පිළිබඳ වඩාත් මෑත සිතියමක් මෙම දිගුවෙන් ලබාගත හැකි බවත් පවසා සිටියා.

එලෙස චන්ද්‍රිකාවලින් ලැබෙන මෙම සියලු තොරතුරු පෘථිවියේ සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ මාසික සිතියම් තැනීම සඳහා යොදා ගන්නා අතර ස්කන්ධයන්, බොහෝ අවස්ථාවන්හි ජලය, පෘථිවිය වටා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් කරයි. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රයේ ඇති සියුම් වෙනස්කම් අවබෝධ කර ගැනීම, ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් වෙනස් වන ආකාරය, ගංගා ද්‍රෝණිවල හා සාගරවල ජල ප්‍රමාණය වෙනස් වන්නේ කෙසේද, මුහුදු මට්ටම ඉහළ යාමට හේතුව කුමක්ද සහ විශාල භූමිකම්පා ඇතිවීමේ බලපෑම පිළිබඳ ඉඟි සැපයීමට ද ඉවහල් වන බව පවසා සිටියා.

කෙසේවෙතත් ලංකාව අවට අඩු ගුරුත්වාකර්ෂණ කලාපය පිළිබඳව ලිපි රැසක් පලවී තිබුණා. එවන් එක් වාර්තාවක් මෙතනින්.

රුවන්වැලිසෑය පිළිබඳව පළවී තිබූ ඡායාරුපය ද අප පරීක්ෂාවට ලක් කළා. එය ඇත්ත වශයෙන් ම තිලින කලුතොටගේ ඡායාරුප ශිල්පියා විසින් ලබාගෙන තිබු ඡායාරුපයක් බව අපට මෙසේ දැක ගන්නට ලැබුණා. එම සුවිශේෂීඡායාරුපය ලබාගත් ආකාරය ද ඔහු වීඩියෝවකට නඟා තිබුනේ මෙලෙසින්.

Also Read:

FACT CHECK: පොසොන් පොහෝ දා රුවන්මහවැලිසෑය පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක්?

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ "විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය හෙලිකරයි" යනුවෙන් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බවයි. රුවන්වැලි මහා සෑය පිළිබඳ මේ ආකාරයේ සඳහනක් නාසා ආයතන විසින් සිදුකර නොමැති අතර ඔවුන් විසින් එබඳු ශ්‍රේණිගත කිරීමක් සිදු කරන්නේ ද නැහැ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ආසන්නයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අඩු මට්ටමක පවතින බව පෙන්වන European Space Agency හි සිතියමක් මෙම සටහන් නිර්මාණය වීම සඳහා මුල් වී තිබුණා.

Avatar

Title:විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading