දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් හුවමාරු වන වීඩියෝ රැසක්!

ප්‍රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා විසින් ක්‍රියාත්මක කරන ලැප්ටොප් පරිඝනක ලබාදීමේ ව්‍යාපෘතිය සදහා කල වීඩියෝවක් අවභාවිතා කරමින් මුලින්ම තීරය මත දිස්වන අංකය කොමෙන්ට්ස් කරන 300 දෙනෙකුට රුපියල් 10,000 බැගින් ලබාදෙන බවට වංචනික සමාජ ජාලා සටහන් පලව තිබුණා.

Faceboook | Archived

එම සටහන සඳහා යොදාගෙන තිබු වීඩියෝව මීට මාස කිහිපයකට පෙර (2023 මාර්තු) රන්ජන්ගේ නිල ෆේස්බුක් පිටුවේ පළවී තිබුනේ මෙලෙසින්. රන්ජන් මෙහිදී සඳහන් කරන්නේ ඇමරිකාවේ සිට දානපතිනියක් එවූ ලැප්ටොප් තොගයක් ලංකාවට පැමිණි අවස්ථාවත් ඒ සඳහා අත්‍යවශ්‍ය පිරිස් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන ලෙසයි.

මීට පෙරද රන්ජන්ගේ මේ ආකාරයේ සජීවී වීඩියෝ අවභාවිතා කර තිබු බැවින් එවැන්නක් නොකරන ලෙස මුලින්ම ඉල්ලා සිටිය ද, මෙවර ද රන්ජන්ගේ වීඩියෝවක් අවභාවිතා කරමින් ඉහත ආකාරයේ තරගයක් ඔස්සේ ත්‍යාග ලබාදෙන බවට නොමඟ යවන සුළු වීඩියෝව නිර්මාණය කර ඇති බව පැහැදිලියි.

එසේම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කල රන්ජන් මාධ්‍ය හමුවේ පැවසුවේ තම නම සහ ලැප්ටොප් ලබාදීමේ ව්‍යාපෘතිය අවභාවිතා කරමින් ඇතැම් පුද්ගලයින් වංචනික ක්‍රියාවල නිරතවන බව සහ සමාජ ජාලාවල ව්‍යාජ ගිණුම් භාවිතයෙන් සිදුකරන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසත් එවැනි වංචනිකයන්ට ඔබගේ PIN අංක වැනි පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසයි.

රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත එම අදහස් දක්වන වීඩියෝව පහතින්.

https://youtu.be/OrY2ScGUWYA?si=EBju8EL5apmFEJ3X

මීට පෙර ද රංජන් රාමනායක මහතාට අයත් ෆේස්බුක් පිටුවක් බව හඟවමින් ඔහු විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් වීඩියෝවක් පළ කර තිබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

“🔴රසිකයින් සඳහා පුදුමය🔴 පින්තූරයේ ඇති අංකය නිවැරදිව අනුමාන කරන පළමු 500 දෙනාට මම ටෙන්ජ් RS 10,000 ක් දෙන්නෙමි. ඒක ඇත්ත.🇱🇰🇱🇰🇱🇰”

Facebook | Archived Link

මේ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණු අතර එකම වීඩියෝව වාර ගණනාවක් මෙම සජීවී වීඩියෝවේ දිවෙන බවක් ද දැක ගන්නට ලැබෙනවා. එසේම අවශ්‍ය මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා Facebook සමුහ 10ක් අතරේ මෙම පණිවුඩය බෙදා ගන්නා ලෙසත් කොමෙන්ටුවක් ලෙස සඳහන් කර තිබු අකාරය ද පහතින් දැක ගන්නට පුළුවන්.

රන්ජන් රාමනායක මහතා සම්බන්ධ වීඩියෝව පළ කර තිබුණේ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙන් ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වීඩියෝවක් මෑතකදී පළ කර නොමැති බවයි.

එම වීඩියෝව 2021 ජනවාරි 01 වන දා රන්ජන් රාමනායක මහතා විසින් ලක්ෂ 40ක මුදලක් අහබු ලෙස තෝරාගන්න කමෙන්ට්ස් 5 කට මුදල් ලබා දීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඔහු විසින් පළ කළ වීඩියෝවක් නැවත ඉහත ගිණුම මගින් හුවමාරු කර ගෙන ඇති බවට අපට නිරීක්ෂණය වුණා. රන්ජන් රාමනායක මහතාගේ නිල YouTube ගිණුමේ ඒ පිළිබඳව පළ වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ඉහත රන්ජන් රාමනායක මහතාගේ බවට හඟවමින් තිබූ ගිණුම මෑතකදී නිර්මාණය කරන ලද්දක් බවට අපට දැක ගන්නට ලැබුණා. එමෙන්ම එහි පළ කර තිබුණු එකම සටහන ඉහත වීඩියෝව පමණි.

Facebook

මේ පිළිබඳව අප රන්ජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත වීඩියෝව තමන් පළ කරේ බොහෝ කලකට ඉහතදී බවත්, කිසිදු අවස්ථාවක එම වීඩියෝවේ දැක්වෙන ලෙස අංක සඳහන් කරමින් එයට ප්‍රතිචාර ලෙස පළ කරන ලෙස මුල් සත්‍ය වීඩියෝවේ දක්වා නොමැති බවත් පවසා සිටියා.

රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම ගිණුම තමන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති ගිණුමක් බවත්, මේ ආකාරයට ව්‍යාජ ක්‍රම මඟින් පෙනී සිටින පුද්ගලයන් හට නොරැවටෙන ලෙසයි. රන්ජන් අළලා මේ අකාරයටම පළවූ තවත් ව්‍යාජ වීඩියෝ සටහනක් මෙතනින්. Archived

ශලනි තරාකා සම්බන්ධ කරනිමින් ද වංචනික වීඩියෝ රැසක්!

“අලුත් අවුරුදු තෑග්ග.. පින්තූරයේ ඇති අංකය අනුමාන කර IDR 950,000 ලබා ගන්න...” යනුවෙන් සඳහන් කරමින් රංගන ශිල්පී ශලනි තාරකාගේ ෆේස්බුක් පිටුවකින් වීඩියෝවක් පළ කර තිබුණු බවට දක්වමින් වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ ඔස්සේ ද බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණු අතර ඉහත පරිදි Facebook කණ්ඩායම් 15ක් අතර බෙදා ගන්නා ලෙස ද දක්වා තිබුණි.

අප ශලනි තාරකා සම්බන්ධ ඉහත වීඩියෝව පිළිබඳ අවධානය යොමු කළ අතර එම වීඩියෝව ශලනි තාරකාගේ නිල ෆේස්බුක් පිටුවෙන් හෝ ඇයගේ නිල ගිණුමෙන් හෝ මෙම වීඩියෝව මෑතකදී පළ වී නොතිබුණු බවට දැක ගන්නට නොලැබුණි.

එය පසුගිය වසරේ පසුගිය වසරේ(2022) මාර්තු 18 වන දා ඩුබායිහිදී නවක රංගන ශිල්පී සචින් ලියනගේ සමගින් ශලනි පළ කරන ලද වීඩියෝවකි. එම වීඩියෝව මෙතනින්. ඔවුන් එම අවස්ථාවේදී හෝ මුදල් ත්‍යාග ලබා දෙන බවට පවසන්නේ නැත.

එමෙන්ම ඉහත පරිදි මෑතකදී මෙම වීඩියෝව පළ කර තිබූ ගිණුමද, මීට දින කිහිපයකට පෙර නිර්මාණය කර තිබුණි.

Facebook | Archived.

එමෙන්ම ඉහත රන්ජන් සම්බන්ධයෙන් පළකර තිබු ව්‍යාජ ෆේස්බුක් පිටුවේ මෙන්ම ශලනි අළලා නිර්මාණය කර තිබු මෙම ව්‍යාජ ෆේස්බුක් පිටුවේ ද පළ කර තිබුණේ ඉහත වීඩියෝව ඇතුළත් සටහන් දෙකක් පමණී. මෙහිදීද, ශලනි තාරකාගේ සත්‍ය වීඩියෝව සංස්කරණය කරමින් අංක කිහිපයක් ඇතුළත් කළ වීඩියෝ කොටසක් ද, දක්වමින් මෙලෙස ජනතාව නොමග යැවීමට කටයුතු කර තිබුණි.

අප මේ පිළිබඳව රංගන ශිල්පී ශලනි තාරකාගෙන් ද, විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, තමන් පසුගිය වසරේ ඩුබායි සංචාරයකදී ලබා ගත් වීඩියෝවක් මෙලෙසින් නොමග යන අයුරින් තමන් ලෙසට හඟවමින් ව්‍යාජ ගිණුමකින් පළ කර ඇති බවයි.

කළාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු පිරිස් අළලා මේ ආකාරයේ ව්‍යාජ වීඩියෝ රැසක් නිතර හුවමාරු වෙන අතර එවැනි චංචනික ක්‍රියාවන් පිලිබඳ දැනුවත් කටයුතු කිරීම වැදගත්!

එසේම ‘හිරු ස්ටාර්’ ඔස්සේ ජනප්‍රියට පත්ව ඇති නවක ගායකයෙකු වන අමිශ මිනොල් අළලා ද මේ ආකාරයට ම ව්‍යාජ සටහනක් පළකර තිබුනේ මෙලෙසින්. Archived

ක්‍රිකට් තරු අළලා ද මේ ආකාරයේ ව්‍යාජ සටහන් විටින් විට නිර්මාණය වන අයුරු අපට පසුගිය කාලයේ දැක ගන්නට ලැබුණා. ලසිත් මාලිංග අළලා මේ ආකාරයට නිර්මාණය වූ සටහනක් මෙතනින්. Archived

කාලයක් තිස්සේ මේ ආකාරයට පුජා උමාශංකර්, යුරේනි නොෂිකා ඇතුළු ජනප්‍රිය චරිත අළලා , ඔවුන්ගේ නාමයන් යටතේ පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් පිටු සහ ගිණුම් ඔස්සේ හුමාරු වන මෙවැනි තවත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් අපට හමුවුණා. ඉන් කිහිපයක් පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරින් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් මුදල් ලබා දෙන බවට හඟවමින් පළ වූ වීඩියෝ සියල්ල මීට පෙර විවිධ අවස්ථාවන්හි දී එකී පුද්ගලයින් විසින් සජීවීව පලකරන ලද වීඩියෝ කොටස් නොමඟ යවන සුළු ආකාරයට යොදා ගනිමින් හුදෙක් රීච් ලබා ගැනීම සඳහා ව්‍යාජ පිටුවලින් නිර්මාණය කරන ලද වීඩියෝ බවයි.

Avatar

Title:රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටනක් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False