Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

Update: 2021-02-19 12:34 GMT

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca) එන්නත සාර්ථක එන්නතක් නොවන බව විපක්ෂ නායක තුමා පවසා සිටි බවක්.

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වෙන්නේ දකුණු අප්‍රිකාවේ නව කොරෝනා ප්‍රභේදය හමුවේ සිදුකළ පරීක්ෂණවලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එම නව ප්‍රභේද හමුවේ සාර්ථක එන්නතක් නොවෙන බව සොයාගෙන තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබු බවයි. එසේම ලංකාවේ නව කොරෝනා ප්‍රභේද හමුවන අවධියේ ඒ සෑම ප්‍රභේදයකට ම සාර්ථක ලෙස මුහුණ දිය හැකි එන්නත්කරණ වැඩපිළිවෙළක් වෙත රජය යොමුවිය යුතු බවක් ද ඔහු පවසා තිබුණා.

සමාජ මාධ්‍ය සටහන්:

“ඔක්ස්ෆර්ඩ් සාර්ථක එන්නතක් නෙවෙයි” යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටි බව සමාජ මාධ්‍ය ජාලා සටහන් රැසක් හුවමාරු කරගෙන තිබුණි

Facebook | Archived

හිරු පුවත් සේවයේ පළවූ පුවතකින් ලබාගත් දර්ශනයක් මේ සඳහා යොදා ගෙන තිබූ අතර එම ඡායාරූප සටහන යොදා ගනිමින් විවිධාකාරයේ සටහන් රැසක් ද නිර්මාණය වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

“ඔක්ස්ෆර්ඩ් සාර්ථක එන්නතක් නෙමෙයි - විපක්ෂ නායක සජිත් කියයි” යන තේමාවෙන් හිරු පුවත් සේවයේ පළවී තිබු පුවත ඉහත සටහන් සඳහා බොහෝදුරට මුල්වී තිබු ආකාරයක් පෙනී ගිය බැවින් අප මුලින්ම එය පරීක්ෂා කළෙමු

Full View

මෙහිදී විපක්ෂ නායක තුමා පවසා සිටින්නේ කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රභේද මර්දනය කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සාර්ථක එන්නතක් නොවන බව පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙන බවක්.

කෙසේනමුත් විපක්ෂ නායක කාර්යාලයෙන් මේ පිළිබඳව අප සිදුකළ විමර්ශනයේදී පවසා සිටියේ මුල් වීඩියෝවේ අර්ථය නොමඟ යවන සුළු ආකාරයෙන් සංස්කරණය කරමින් සමස්තයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සාර්ථක එන්නක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවක් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ හුවමාරු වන සටහන් වලින් හුවා දක්වන බවයි.

ඒ පිළිබඳව පරික්ෂා කිරීම සඳහා අප ඔවුන්ගෙන් මෙම වීඩියෝවේ මුල් වීඩියෝව අයත් කොටස ලබා ගත්තෙමු. එය පහතින්.

https://vimeo.com/514137389

ඉහත වීඩියෝව පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා විසින් දීර්ඝ විස්තරයක් ලබාදෙන බවයි. එහිදී දකුණු අප්‍රිකාවෙන් හමු වූ නව කොවිඩ් ප්‍රභේදයන් හමුවේ සිදුකළ පරීක්ෂණවලදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එම නව ප්‍රභේදය හමුවේ සාර්ථක එන්නතක් නොවන බව සොයාගෙන තිබු බවක් ඔහු පවසා තිබෙන අයුරු දැක ගන්නට ලැබුණා.ඒ අනුව දකුණු අප්‍රිකානු රජය විසින් ඔක්ස්ෆර්ඩ් එන්නත ඇණවුම් කිරීම නවතා දැමීම ට ද කටයුතු කර තිබු බව විපක්ෂ නායකතුමා පෙන්වා දෙනවා.

එහිදී තවදුරටත් ඔහු පවසා සිටින්නේ දකුණු අප්‍රිකාව මෙන්ම බ්‍රසීලය, බ්‍රිතාන්‍ය වැනි රටවල ද මෙසේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හමුවී ඇති අතර ලංකාවේ ද විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල නව ප්‍රභේදයන් හමුවීමත් සමගම ඒවා මර්දනය කිරීමට දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් එන්නත කෙතරම් දුරට සාර්ථක වේ දැයි යන්න විමර්ශනය කළ යුතු බවයි.

එසේම ඉදිරියේදී එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා එන්නත් පිළිබඳ තීරණ ගැනීමේදී ඇමරිකාව, රුසියාව, චීනය යනාදී අනෙක් රටවල් වලින්ද Johnsons & Johnsons වැනි ආයතනවලින් ද නිෂ්පාදනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද අවසර ලබාදී ඇති එන්නත් සඳහා ද අවධානය යොමුකොට ලංකාවට වඩාත්ම උචිත එන්නත සියලුම පුරවැසියන්ට ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා කටයුතු කිරීම වත්මන් ආණ්ඩුව මේ මොහොතේ දී සිදු කළ යුතු වඩාත්ම උචිතම ක්‍රියාව බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද එම වීඩියෝව පළකර තිබුනේ “කොරෝනා නව ප්‍රභේදයක් ලංකාවට ඇවිත් තිබෙන බවත් ඊට මුහුණ දීමට සැලැස්මක් නැති ආණ්ඩුව ජීවිත අවදානමකට ලක්කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) ලුණුගම්වෙහෙර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී පැවසීය.” යන විස්තරය ද සහිතවයි. එම වීඩියෝව මෙතනින්

ඉහත පුවත වෙනත් මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබු ආකරය ද අප පරීක්ෂා කළ අතර Daily Mirror වාර්තා කර තිබුනේ කොවිඩ් නව ප්‍රභේදයක් හමුවේ ඔක්ස්ෆර්ඩ් එන්නත අසාර්ථක බව විපක්ෂ නායක තුමා විමසා සිටි බවක්. එම පුවත පහතින්.

Daily Mirror | Archived

දකුණු අප්‍රිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල පිලිබඳ වාර්තා:

දකුණු අප්‍රිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල හා සම්බන්ධ පුවත් විමර්ශනය කිරීමේදී අපට පහත පරිදි සජිත් ප්‍රේමදාස මහතා විස්තර කළ සිද්ධිය හා සම්බන්ධ පුවත් දැක ගැනීමට ලැබුණා.

BBC | NY Times | The Hindu

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නව කොරෝනා ප්‍රභේදයේ දරුණු නොවන (mild and moderate) අවස්ථාවන් සඳහා සිදුකරන ලද පරික්ෂා කිරීම් වලදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඒ සඳහා වඩාත් සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා නැති බවක් හඳුනාගෙන ඇති බව පැවසෙනවා.

කෙසේ වෙතත් දරුණු අවස්ථාවන් සඳහා එම එන්නත තවදුරටත් උපයෝගී වේ යැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසයක් පළ කර තිබූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ අංශයේ අධ්‍යක්ෂිකාව ද පවසා තිබුණේ මෙවැනි පරීක්ෂාවක් තුළින් අවසන් නිගමනයකට එළැඹීම උචිත නොවන බවත් දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය හමුවේ වුවද රෝහල්ගත කිරීම සහ මරණ වැළැක්වීම සඳහා තවදුරටත් ඔක්ස්ෆර්ඩ් එන්නත උපකාරී විය හැකි බවත්ය. එසේම එහි කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමට විවිධ වයස් සීමාව යටතේ නිසි සායනික පර්යේෂණ සිදු විය යුතු බවත් පවසා තිබුණා.

මේ අතර Johnson and Johnson කොවිඩ් එන්නත දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදයට (B.1.351) වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟම එය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යොදාගන්නා බවට දකුණු අප්‍රිකානු රජය විසින් පලකරන ලද නිවේදනයක් පහතින්.

Full View

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදහස්

මේ සම්බන්ධයෙන් ලංකාවේ විශේෂඥයින් ද අදහස් දක්වා තිබු අතර මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය ද මේ සම්බන්ධයෙන් දහස් දක්වා තිබූ අතර එහිදී ඇය පවසා තිබුණේ ද ඉහත සඳහන් පරිදි දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේද සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සාර්ථක නොවන බව හඳුනා ගෙන තිබුණද එන්නත් කිරීම මේ මොහොතේදී සිදුකළ යුතු වඩාත් ම උචිත ක්‍රියාව බවයි.

https://youtu.be/DPC2HwPV02Q?t=237

ඒ පිළිබඳව අප සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ද විමසා සිටි අතර අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ දැනට හඳුනාගෙන තිබුනේ මුලින්ම බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබෙන B.1.1.7 යන ව ප්‍රභේදය බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතින බව පවසා සිටියා.

එසේම එතුමා තවදුරටත් පැහැදිලි කර සිටියේය ඉදිරියේ දී ලංකාවේ හෝ වෙනත් රදේශවලින් දකුණු අප්‍රිකානු නව ප්‍රභේදය වන B.1.351 ද වාර්තා විය හැකි අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එම ප්‍රභේදය හමුවේ කාර්යක්ෂමතාවය අඩු බවක් (lower efficacy) වාර්තා කර තිබුණද එන්නත් ලබාගෙන තිබීම මගින් එම ප්‍රභේදයට වුවද යම්කිසි දුරකට ප්‍රතික්‍රියා දැක්වීමේ ශක්තියක් සිරුරු තුළ නිර්මාණය වන බැවින් එන්නත්කරණ ක්‍රියාවලිය දිගටම සිදුකරගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළා.

මේ පිලිබඳ පළවූ වාර්තාවක් මෙතනින්

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්

අප සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් තුමාගෙන් ද විමසීමක් සිදු කළ අතර එහි දී අපට පවසා සිටියේ ඉන්දියාවෙන් ලැබුණු ලක්ෂ 5ක (දෙලක්ෂ පනස්දහස බැගින් අදියර දෙකක් යටතේ ලබාදෙන) ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දන ක්‍රියා දාමයේ ඉදිරි පෙළ ක්‍රියාකාරී සහ ගුවන්තොටුපළ ඇතුළු කොවිඩ්19 සඳහා නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇති ක්ෂේත්‍ර සඳහා මුලින්ම ලබාදීමට කටයුතු කළ බවයි. තවත් කොටසක් වඩාත්ම අවදානම් ප්‍රදේශවල සිටින අය සඳහා ලබාදීමටත් කටයුතු කරන බව ද පවසා සිටියා.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ලක්ෂ දෙකක පමණ එන්නත් තොගයක් ලබාදීමටද තීරණය කර ඇති බවත් එතුමා පවසා සිටියා. ඒ සියල්ල සඳහා යොදාගැනෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත බවද පැහැදිලි කර සිටියා.

තවදුරටත් කරුණු දක්වමින් ඒ මහතා පවසා සිටියේ රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් එන්නත ලබා ගැනීමට ද ඇති හැකියාව පිළිබඳව දැනට සාකච්ඡා මට්ටමේ කටයුතු කරගෙන යන බවයි. එසේම විශේෂයෙන්ම ෆයිසර් (Pfizer) වැනි එන්නත් විශේෂ අධි ශීත තත්ව යටතේ ගබඩා කල යුතු බැවින් මේ වෙන තෙක් ලංකාවේ එන්නත් ක්‍රියාදාමයන්ට එය යොදාගැනීම පිළිබඳව සලකා බලා නැති බව ද අපට දැනගන්නට ලැබුණා.

මෙම නව ප්‍රභේද පිලිබඳ සහ එන්නත් පිලිබඳ වාර්තාවක් මෙතනින්. එහි Pfizer එන්නත අධි ශීත තත්වයන් යටතේ ගබඩා කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ සඳහන් වන අතර Moderna එන්නත එසේ ගබඩා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් වෙනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිලිබඳ නවතම පුවත්:

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට නිර්දේශ කළ බවට පුවත් වාර්තා මෙසේ දැක ගන්නට ලැබුණා. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වය යටතේ භාවිතය සඳහා කොරියාවේ සහ දකුණු කොරියාවේ සහ ඉන්දියාවේ ආයතන දෙකකට ද ඔක්ස්ෆර්ඩ් එන්නත නිෂ්පාදනය කිරීමේ අවසර පසුගියදා ලබාදුන් බවට මෙසේ වාර්තා කර තිබුනේ COVAX වැඩසටහන යටතේ ලොව පුරා එන්නත් ව්‍යාප්ත කිරීමේ අරමුණින්.

තවද ලොව ප්‍රථම වරට වයස අවුරුදු 6 සිට 17 දක්වා කුඩා කාණ්ඩ වල දරුවන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය අත්හදා බැලීම් ද ආරම්භ කළ බවට පුවත් ද අපට පසුගියදා මෙසේ දැක ගන්නට ලැබුණා.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, එන්නත්කරන වැඩපිළිවෙලවල් සඳහා දිගටම නිර්දේශ කරන බව ද පෙනී යනවා.

එන්නත්කරණ ක්‍රියාදාමය පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාවෙන් ලබාදුන් පැහැදිලි කිරීමක කොටසක් පහතින්.

එන්නත්කරණ ක්‍රියාදාමය ඉතා වදගත් වන නමුත් එමගින්ම පමණක් වසංගතය අවසන් කළ නොහැක. කෝවිඩ්–19 එන්නත් කිහිපයක ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති බව පෙනෙන්නට තිබුණද කිසිදු එන්නතක් 100% ආරක්ෂිත නොවන බැවින් මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක්, ඔවුන්ගේ ජාන-ජීව විද්‍යාත්මක ලක්ෂණ නිසා කෝවිඩ් –19 එන්නත ලැබීමෙන් පසු අපේක්ෂිත පරිදි කොවිඩ් සඳහා ආරක්ෂාව වර්ධනය නොවී තිබිය හැක.

..සෑම කෙනෙකුම ආරක්ෂා කිරීම සඳහා, සමුහ ප්‍රතිශක්තිය (herd immunity) ලබා ගන්නා තෙක්, එන්නත ලබා ගන්නා සෑම කෙනෙකුම අඛණ්ඩව ආරක්ෂාකාරි පියවර ගැනීම, ඉතා වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ ශාරීරික දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම, වාතාශ්‍රය වැඩි කිරීම, සෙනග ගැවසීම වළක්වා ගැනීම, මතුපිට විෂබීජ නාශක කිරීම සහ නිවසේ රැඳී සිටීමය.”

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

හැකිතරම් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමුවීමේ වැදගත්කම ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිරතුරුවම පෙන්වා දෙනවා.

WHO Q & A on Vaccination (සිංහල)

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වෙන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය හමුවේ සිදුකළ පරීක්ෂණවලින් ඔක්ස්ෆර්ඩ් එන්නත එම නව ප්‍රභේද සඳහා සාර්ථක එන්නතක් නොවෙන බව අනාවරණය වී තිබු බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටි බවයි.

සමස්තයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රසෙනෙකා අසාර්ථක එන්නතක් බව විපක්ෂ නායකතුමා පවසන්නේ නැති අතර අදහස් කර සිටින්නේ ලංකාවේ ද නව කොරෝනා ප්‍රභේද හමුවී තිබෙන අවධියක ඒ සියල්ලක් සඳහා සාර්ථකව මුහුණ දිය හැකි එන්නතක් සමස්ත ජනතාවටම ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවයි.

ලංකාවේ දැනට සොයාගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍යයෙන් මුලින්ම වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය වන B.1.1.7 ප්‍රභේදයයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතින බව දැනට සොයාගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු නව ප්‍රභේදය වන B.1.351 හමුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය අඩු බවක් (lower efficacy) දකුණු අප්‍රිකාවේ සිදුකල පරීක්ෂණ වලදී පෙන්නුම් කර තිබෙන්නේ දරුණු නොවන (mild and moderate) තත්වයන් යටතේය. ඒ අනුව එම රජය විසින් Johnson and Johnson කොවිඩ් එන්නත එහි එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යොදාගැනීමට කටයුතු කර තිබෙනවා.

එබැවින් ඔක්ස්ෆර්ඩ් එන්නත් අනෙකුත් කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව, දකුණු අප්‍රිකානු ප්‍රභේදය (B.1.351) හමුවේ අඩු කාර්යක්ෂමතාවක් (lower efficacy) පෙන්වන බව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් පෙන්නුම් කෙරුණද මෙම පරීක්ෂණ කුඩා නියැදියක් යොදා සිදුකර තිබු බවින්, විධිමත් ලෙස විවිධ වයස් සීමාව යටතේ විශාල නියැදි පරීක්ෂණ ක්‍රමවත් ආකාරයෙන් සිදුකර අවසන් වන තුරු දකුණු අප්‍රිකානු ප්‍රභේදය හමුවේ වුවද ඔක්ස්ෆර්ඩ් එන්නත අසාර්ථක බව තහවුරු කර පැවසීම ද නොමඟ යවන සුළුය.

එසේම දකුණු අප්‍රිකානු නව ප්‍රභේදයේ ද දරුණු අවස්ථාවන් සහ මරණ වළක්වා ගැනීමට ඔක්ස්ෆර්ඩ් එන්නත තවදුරටත් උපකාරී විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කර සිටිනවා.

කිසිදු එන්නතක් 100% ආරක්ෂිත නොවන බැවින් සමුහ ප්‍රතිශක්තියක් ලබාගන්නා තෙක් හැකිතරම් එන්නත්කරණ ක්‍රියාදාමයට උත්සුක වීම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටිනවා.

අඩු මිලක් යටතේ ලබාගත හැකි සරල කළ ගබඩා අවශ්‍යතා තිබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත බොහෝ අඩු ආදායම් සහිත මෙන්ම ජනගහනය වැඩි රටවල ද එනන්ත්කරණ වැඩපිළිවෙල් සඳහා යොදාගනිමින් සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

Fact Check By: Sahan Perera

Result: Explainer

Tags:    

Similar News