FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

Update: 2021-07-01 08:28 GMT

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

QUICK CARE නම් වෙළඳ ප්‍රවර්ධන ෆේස්බුක් ගිණුමක දක්වා තිබුණේ, CORONA VIRUS GUARD නැතහොත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට වෛරස් ඉවත් කිරීමේ කාඩ්පත් යනුවෙන් සඳහන් කර තිබූ වෙළඳ දැන්වීමකි.

එම සටහනේ ඡායාරූප වල දැක්වුණේ සම්මන්ත්‍රණයකදී, තමා සේවය කරන ආයතනය තුළ ගෙලෙහි පළදින හඳුනාගැනීමේ ටැගයක් ලෙස පැළදිය හැකි කාඩ්පතකි.

වෛරස් සහ බැක්ටීරිය වායු විෂබීජහරණ ආරක්ෂකයා..

ඉක්මන් කර ඔබ ඇණවුම් කරන්න. කොරෝනාවට එරෙහිව කාර්යක්ෂම ආරක්ෂාවක්.

1. දිගු කාලීන ආරක්ෂාවක්

2. භාවිතා කිරීමට පහසුය.

3. කාර්යක්ෂම ප්‍රති බැක්ටීරියා දින 60 ආරක්ෂාව

  • සාප්පු සංකීර්ණ වලදී
  • පන්ති කාමර තුල.ඔබගේ වාහන තුල
  • පොදු ප්‍රවාහනයේදි
  • රෝහලේදී

ඔබ කොහේ සිටියත්...

වැඩිහිටියන්ට හා දරුවාට සුදුසු ය.

සිල්ලර මිල 950 /-

තොග මිල 700 /-..”

යනාදී වශයෙන් හුවමාරු වී තිබු එම සටහන පහතින්.

Facebook | Archived Link

මෙම නිෂ්පාදණය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති බවටද එම වෙළඳ ප්‍රවර්ධන ඡායාරූපයන්හි දැක්වුණා. මෙවැනි නිෂ්පාදන තුළින් සැබවින්ම කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් සිදු වනවාද යන්න අප විමර්ශනයක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් මෙම නිෂ්පාදනය කුමක්ද යන්න විමසීමට ඉහත වෙළඳ දැන්වීමේ සඳහන් කර ඇති දුරකතන අංකයකට ඇමතුමක් ලබා ගත්තා.

එහිදී ඇමතුම ලබාගත් පුද්ගලයා සඳහන් කළේ එම නිෂ්පාදනයේ ක්ලෝරින් ඩයොක්සයිඩ් අඩංගු බවත් එය වාතය සමග මිශ්‍රවීමෙන් මීටරයක් පමණ දුරක ඇති විෂබීජ හරණය කරන බවත් එය ගෙලෙහි පැළඳිය හැකි බවත්ය.

JB නමැති එම නිෂ්පාදනය චීනයෙන් ආනයනය කරන බවත් මෙම නිෂ්පාදනය දෙහිවල, කොටහේන වැනි ප්‍රදේශයන්හි ඖෂධ හළවල් 7ක පමණ මිළදී ගැනීමට හැකි අතර අවශ්‍ය නම් නිවසට ගෙන්වා දීමට හැකියාව ද පවතින බව සඳහන් කළා. (Delivery Available) මෙවැනි නිෂ්පාදන කොළඹ දිස්ත්‍රික්කයේ ඖෂධ හළවල් 25 ක පමණ ඇති බව ද ඔහු පවසා සිටියා.

මෙම නිෂ්පාදනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති බව පිළිබඳව අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, එම නිෂ්පාදනයට අනුමැතිය ලැබී ඇති බවයි.

දින 60 ක් දක්වා වලංගු කාලසීමාවකදී භාවිතා කළ හැකි මෙම වර්ගයේ සන්නාමය සහිත කාඩ්පත් 10 ක් අඩංගු ඇසුරුම් amazon හි විකිණීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්.

මෙම නිෂ්පාදනය Air Doctor, Virus Shut Out සහ Chlorine Card ඇතුළු විවිධ වාණිජ නම් යටතේ විකුණනු ලැබේ.

එවැනි කාඩ්පත් amazonහි විකිණීම සඳහා දක්වා තිබුණේ මෙලෙසින්.

මෙවැනි නිෂ්පාදන මෙරට අලෙවිය සඳහා ඉඩ ලබා දී ඇත්දැයි අප සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, එවැනි නිෂ්පාදනයන් අලෙවිය සඳහා කිසිසේත්ම රජයෙන් හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා නොදෙන බවයි. තවද, මෙවැනි නිෂ්පාදනයන් විශේෂයෙන්ම කොවිඩ් වෛරසය සඳහා විසඳුම් ලෙස අලෙවි වන නිෂ්පාදනයන් වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවද, ඔවුන් අවධාරණය කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් බවට සඳහන් මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් එම අධිකාරියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, කෝවිඩ් සඳහා යැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ නොකළ මෙවැනි කිසිදු නිෂ්පාදනයක් සඳහා අවසර ලබා නොදෙන බවයි. මෙම නිෂ්පාදනයේ අන්තර්ගත යැයි පැවසනෙ ක්ලෝරින් ඩයොක්සයිඩ් යනු පානීය ජලය විෂබීජහරණය කිරීම සඳහා භාවිතා කරන නිෂ්පාදිත වායුවකි (එනම් එය පරිසරයේ ස්වභාවිකව සිදු නොවේ). එය ආශ්වාස කිරීමෙන් නාසය, උගුර සහ පෙනහළු ආශ්‍රිත ආසාත්මිකතා ඇතිවිය හැකි බවද සඳහන් කළා.

කොවිඩ් වෛරසය සඳහා අනුමැතිය නොලත් ව්‍යාජ නිෂ්පාදනයන් පිළිබඳ සැළකිළිමත් වන ලෙසත් එවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට දන්වන ලෙසත් එම අධිකාරිය විසින් කළ ජනතාව දැනුවත් කිරීම මෙතනින්.

ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරියක් වන Rohini Karandikar පවසා ඇත්තේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් බ්ලීච් ලෙස භාවිතා කරන බවත්, බ්ලීච් මගින් කොරෝනා වෛරසය විනාශ විය හැකි නමුත් එය ඇස්, සම සහ ශ්වසන පද්ධතියට බරපතල හානියක් සිදු කරන බවයි. එමෙන්ම මෙවැනි නිෂ්පාදනයන් මගින් කොපමණ කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනු ඇත්දැයි නොදන්න බව ද සඳහන් කළා.

වියට්නාමය, තායිලන්තය, හොංකොං සහ පිලිපීනයේ මෙවැනි නිෂ්පාදන විකිණීම තහනම් කර ඇති අතර පිලිපීනයේ Food and Drug Administration (FDA)විසින් ද මෙම නිෂ්පාදන පිළිබඳ අනතුරු ඇඟවීමක් පසුගිය වසරේ දී ලබා දී තිබුණා.

FDA.PH

මෙම නිෂ්පාදනය පැළඳීම හේතුවෙන් කොරෝනා වෛරසයට ආරක්ෂිත පියවරක් ලෙස, ව්‍යාජ බලාපොරොත්තුවක් ලැබෙන බවින්, ජනතාව මුඛ ආවරණ පැළඳීම හෝ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම වැනි පූර්වෝපායන් නොගැනීමට ද පෙළඹිය හැකි බැවින් ජනතාව නොමඟ යනු ඇති බවටද වෛද්‍ය Rohini Karandikar අවධාරණය කරනවා. එම වෙබ් වාර්තාව මෙතනින්. මෙම කෝවිඩ් වෛරසය ඉවත් කරන කාඩ්පත පැළඳීමෙන් සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්.

අමෙරිකාවේ Environmental Protection Agency නොහොත් පරිසර ආරක්ෂණ ඒජන්සියද මෙම නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා නොදෙන බවට නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. අමෙරිකාවේ ඇරිසෝනා හි දී මෙවැනි කාඩ්පත් දහස් ගණනක් අත්අඩංගුවට ගත් බවට මැතක දී පළවූ පුවතක් මෙතනින්.

COVID-19 වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ ලෙස අලෙවි නොකරන ලද නිෂ්පාදන වලට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නැවත නැවතත් අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ විවිධ රටවල COVID-19 වැළැක්වීම, හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම හෝ සුව කිරීම යැයි කියා ගන්නා ව්‍යාජ වෛද්‍ය නිෂ්පාදන වැඩිවෙමින් පවතින බවයි.

කෙසේවෙතත් නොයෙක් රටවල දේශපාලකයින්ද, මෙවැනි නිෂ්පාදන පැළඳීමට පෙළඹී තිබුණත් එමඟින් කොවිඩ් සඳහා ආරක්ෂාවක් නොලැබෙන බවට වාර්තාවක් මෙතනින්. පසුගිය වර්ෂයේ දකුණු සුඩානයේ ජනාධිපති සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ප්‍රසිද්ධියේ එම වෛරස් කාඩ්පත් පැළඳ සිටි අයුරු මෙතනින්. මෙම නිෂ්පාදනය පැළඳී ඇතැම් රාජ්‍ය නිළධාරීන්ටද කොවිඩ් වැළඳී ඇති බවට විදෙස් වාර්තා වල පෙන්වා දෙන්නේ මෙලෙසින්.

බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ස්වාධීන පර්යේෂකයෙකු වන Mark Ajak මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් AFP පුවත් ඒජන්සියට පවසා ඇත්තේ මෙහි අරමුණ වන්නේ බැක්ටීරියා සහ වෛරස් ඇතුළු වාතයේ ඇති වස්තූන් ඉවත් කර වාතය ප්‍රතිචක්‍රීකරණය කිරීම බවයි. වෛරස් කාඩ්පත් dander වැනි විශාල අංශු වාතයෙන් අල්ලා ගත හැකි වුවද, ඔහු සඳහන් කරන්නේ COVID-19 ට එරෙහිව ඒවා අකාර්යක්ෂම බවයි.

කොරෝනා වෛරස් බෝවීම වළකන බවට පවසමින් අලෙවි කරන කාඩ්පත් සම්බන්ධයෙන් AFP පුවත් ඒජන්සිය කළ කරුණු විමසීම මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වුණේ, ක්ලෝරින් ඩයොක්සයිඩ් අඩංගු කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට පැළඳිය හැකි කාඩ්පත් භාවිතා කිරීමට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර නිල සංවිධාන මඟින් අවසරයක් නොලැබී ඇති අතර මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින්ද අනුමැතිය ලැබී නොමැති බවයි.

මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නැති වුවද ෆේස්බුක්හි වෙළඳ ප්‍රචාරණය කර තිබූ එම නිෂ්පාදනයන්හි දක්වා තිබුනේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලැබී ඇති බවක් ඔවුන් තහවුරු කරන බවයි. අතුරු අබාධ ඇතිවිය හැකි මෙම නිෂ්පාදනයන් භාවිතා නොකරන ලෙසත් ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන ලෙසත් ජාත්‍යන්තර මෙන්ම මෙරට සෞඛ්‍ය බලධාරීන්ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම මෙරට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට දැනට පිළිපැදිය හැකි හොඳම විසඳුම එන්නත්කරණය, මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ සෑමවිටම අනුගමනය කළ යුතු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News