FACT CHECK: ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?

Update: 2021-09-03 16:35 GMT

නොයෙකුත් කරුණු ඉදිරිපත් කිරීම් සඳහා එම කරුණු වලට අදාළ නොවන ඡායාරූප භාවිතා කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක් වුවද මේ වන විට බොහෝ ෆේස්බුක් පරීශීලකයින් විසින් එවන් කරුණු වල දක්වා ඇති ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීමට පෙර එහි නිරවද්‍යතාවය සොයා බලා කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ද දැක ගන්නට ලැබීම සතුටට පත්වන කාරණයක්. එවන් නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

කැප කිරීම් කරන්න ලෑස්ති වෙන්න යනුවෙන් “මවුබිමට පන දෙන සිංහයා” නමැති ෆේස්බුක් පිටුවක දක්වමින් ඒ සඳහා ගාල් කර ඇති රථ පෙළක ඡායාරුපයක් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මීට මාස කිහිපයකට පෙර මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන තොගයක් මෙරටට ගෙන්වීමට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව පිළිබඳව ඇති වූ සංවාදාත්මක තත්ත්වයෙන් පසු එම වාහන ආනයනය අත්හිටුවීමට රජය කටයුතු කර තිබු පසුබිමක ද මෙම සටහනින් මඟින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ, එම සුඛෝපභෝගී ජීප් රථ මෙරටට ආනයනය කිරීමට සුදානම් කර තිබු බවකි.

ඉහත සටහන් සඳහා ලැබී තිබූ ප්‍රතිචාර ඔස්සේ ද එ් බව පෙනී ගියේ මෙලෙසින්

මෙම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 2000කට වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා. එවැනි සටහනක් හුවමාරු වූ තවත් අවස්ථාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මේ සම්බන්ධයෙන් පළවූ තවත් සටහන් පෙළක එම ඡායරුපයේම දැක්වුණේ “225k ගෙන්නලා” යන තේමාවෙන් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනය 225ක් බැවින් ඔවුන් සඳහා ගෙන්වූ වාහන බව හඟවමින්. එවැනි එක් සටහනක තේමාවේ දැක්වුණේ “මේක තමයි මේ වෙලාවෙ අඩුවට තිබුණේ. ඒකත් හරී......කෝ ගුරුවරුන්ට බැනපු අය පෝළිමට එන්ඩෝ.... කැමති එකක් තෝරගන්න.” යනුවෙන්

Facebook | Archived

සැබවින්ම මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සුඛෝපභෝගී ජීප් රථ ආනයනයනය අත්හිටවූ පසුත් මෙරටට රජය විසින් මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වූ වාහනද යන්න පිළිබඳව අප විමසා බැලීමක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය අගෝස්තු 20 වන දා ජනාධිපති ජාතිය අමතමින් සිදු කළ “රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත්, සියලු දෙනා වඩාත් කැපකිරීම් කරන්න සූදානම් වන්න” යන ප්‍රකාශය මුල් කර ගනිමින් ‘කැපකිරීම් කරන්න ලෑස්ති වෙන්න යනුවෙන් ඉහත ෆේස්බුක් සටහනට ද තේමාව යොදා තිබුණු බව අනුමාන කළ හැක. එම ප්‍රකාශය මෙතනින්. මේ අනුව ජනපති විසින් මේ ආකාරයෙන් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙස ජනතාවට පවසා සිටිය දී, මන්ත්‍රී වාහන ගෙන ඒමට කටයුතු සුදානම් කර තිබුණේ ද යන්න ඉහත සටහන් මඟින් විමසා තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව මත ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවකට අනුව සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට කටයුතු මීට මාස කිහිපයකට පෙර කටයුතු කර තිබුණා. නමුත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් එල්ල වූ ජනතා විරෝධය හා රටේ තත්ත්වය සැලකිල්ලට ද ගනිමින් මෙම වාහන ආනයනය කිරීම අත්හිටුවීමේ තීරණයක් පසුගිය ජුනි මස රජය විසින් දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අප විසින් පසුගිය ජුනි මස සිදුකළ මෙම කරුණු විමර්ෂණයේ පෙන්වා දුන්නා.

මෙවන් පසුබිමක එසේ අත්සිටවූ බව සඳහන් කළ වාහන ලංකාවට ආනයනය කළ හෝ කිරීමට සැරසෙන බවට හැඟවීමට හුවමාරු කරගෙන තිබු Toyota Land Cruiser රථ පෙළක් සහිත ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා අප යොමු කරනු ලැබුවා.

මෙම ඡායරූපය අරාබි, ජපන් ඇතුළු විවිධ භාෂාවෙන් සඳහන් බොහෝ වාහන අලෙවිසල් සම්බන්ධයෙන් දැක්වෙන ෆේස්බුක් පිටු වල දක්නට ලැබුණා. ජපානයේ වාහන අලෙවි සැල් ද මෙම ඡායාරූපය පසුගිය අගෝස්තු මාසයේ දී හුවමාරු කරගෙන තිබුණා.

අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇතැම් ෆේස්බුක් පිටු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට කටයුතු කළ අතර මෙතෙක් මෙහි දක්වා එම වාහන තිබූ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් නොලැබිණ. එවැනි වාහන අලෙවිසැල් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

නමුත් මේ ඡායාරුපය සම්බන්ධයෙන් බොහෝ දෙනා පෙන්වා දී තිබු زانيارى ئۆتۆمبێل Zanyari Automobile ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ ඉහත Toyota Land Cruiser වර්ගයේ රථවල විවිධ කෝණයෙන් ලබා ගෙන තිබූ ඡායාරූප නිරීක්ෂණයේදී දක්නට ලැබුණේ, මෙහි රියැදුරු ආසනයේ ඇත්තේ වම් පස බවයි.

Facebook | Archived Link

මෙම ඡායරුපම , එය යොදාගෙන තිබු වෙනත් ඡායාරුප එකතු තුළ ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි අවස්ථා කිහිපයක මෙතනින් සහ මෙතනින්. මේ අනුව මෙම ඡායාරුපය ද ඇතුළත් රථපෙළ ලංකාවේ හෝ ලංකාව කරා ඒමට අදහස් කර තිබෙන රථ පෙළක් නොවන බව පැහැදිලිය. එයට හේතුව ලංකාවේ ධාවනය වන්නේ සුක්කානම වාහනය දකුණු පස ඇති රථ වාහන හෙයිනි.

එසේම අප මන්ත්‍රී වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මාධ්‍ය හරහා පුවත් දැක ගන්නට ලැබුනේ නැති හෙයින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළේ, අත්හිටවූ වාහන ආනයනයේ කිසියම් වාහන කොටසක් හෝ මේ වන විට ගෙන්වා ඇත්ද යන්නයි. ඒ මහතා සඳහන් කළේ එම තීරණයේ කිසිදු වෙනසක් නොවූ බවත් වාහන ආනයනය කිරීම අත්හිටුවා ඇති බවයි.

කෙසේවෙතත් කොවිඩ් පාලන වැඩපිළිවෙළ තුළ අත්‍යවශය වාහන 164 ක් ආනයනය කිරීමට එනම් වතුර බවුසර් 52ක් ගිලන් රථ 50, ඩබල් කැබ්රථ 62 කුත් ආනයනය කිරීමට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටද කැබිනට් අනුමැතිය ලබා දුන් බවද පසුගිය අගොස්තු 18 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දන්වා සිටියා. එම අවස්ථාව මෙතනින්. (10.05) කොවිඩ් වසංගත තත්වයක් ඇතුළත ඉහත අත්‍යවශ්‍ය වාහන ඇතුළත මෙසේ ඩබල් කැබ්රථ ගෙන්වීමට කටයුතු කරන්නේ ඇයි ද යනුවෙන් ද මේ ආකාරයට මාධ්‍ය කිහිපයක්ම විමසා තිබුණි.

කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය යාවත්කාලීන කරන ලදි

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පෙන්වා දිය හැක්කේ මන්ත්‍රී වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් එම වාහන තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට හෝ ගෙන්වීමට සැරසෙන බවක් හැඟවීමට උපයෝගී කර ගෙන තිබු‍ණේ, වෙනත් විදේශීය රටක ගාල් කර ඇති Toyota Land Cruiser රථ පෙළක ඡායාරූපයක් බවයි. එසේම එම වාහනවල රියදුරු අසුන වම් පස තිබෙන බැවින් ලංකාව කරා ඉදිරියේ දී හෝ ගෙන ඒමට සුදානම් කර තිබෙන වාහන තොගයක් ද නොවන බව පැහැදිලිය. එසේම මන්ත්‍රී වාහන ආනයනය අත්හිටවීමට ගත් තීන්දුව මේ වන තෙක් එලෙසම ක්‍රියාත්මක බවට මුදල් රාජ්‍ය අමාත්‍යංශය විසින්ද තහවුරු කරනු ලබයි.

Also Read: FACT CHECK: අලුත්ම Toyota V8 වාහන ලංකාවට පැමිණ තිබූ අවස්ථාවක් ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context

Tags:    

Similar News