මාලිමාවේ බිමල් ජයසුන්දර සහ චීන පොහොර නැව පිළිබඳ හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-03-08 10:08 GMT

පසුගිය රජය සමයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය යටතේ ලංකාවට කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කළ අතර එසේ ලංකාවට ගෙන්වීමට කටයුතු කළ චීන පොහොර නැවක් සම්බන්ධයෙන් බොහෝ කතාබහක් ඇතිවූ අතර අවසානයේ දී හානිකර ක්ෂුද්‍රජීවීන් අඩංගු බැවින් මෙම පොහොර නැව, නැවත පිටත් කර හැරීමට සිදුවුයේ ලංකාවට විශාල පාඩුවක් ද අත්කර දෙමින්.

මේ සඳහා මුලික වෙමින් කටයුතු කළ දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක වුයේ මෙවර ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන ඡන්දයට තරග වදින පුද්ගලයෙකු බවට සටහන් රැසක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

“චීන අසූචි නැව ගෙනා සමාගමේ CEO මාලිමාවෙන් වත්තලට” යනාදී තේමා යටතේ WhatsApp, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අපට ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමටක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ආන්දෝලනයට තුඩු දුන් චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත බවට සඳහන් කාබනික පොහොර මෙරටට රැගෙන ඒම සම්බන්ධව ක්‍රියාකළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ද, යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අප ප්‍රථමයෙන් එම සමාගම් කවරේද සහ එහි ඉහළ කළමනාකාරි නිලධාරීන් කවුරුන් ද යන්න නිරීක්ෂණය කළා.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් (Qingdao Seawin Biotech Group Co., Ltd) පොහොර මෙට්‍රික් ටොන් 99,000 මෙරටට ගෙන්වීම සඳහා නිර්දේශිත පොහොර තොගයෙන් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින් ද, සියයට හතළිහක් සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව මෙම ගනුදෙනුව සඳහා හවුල්කාර පාර්ශ්වයන් වන්නේ, චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම, එහි මෙරට දේශීය නියෝජිතයා වූ චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම, සීමාසහිත ලංකා පොහොර සමාගම, සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගමයි.

සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන කරුණ සත්‍ය නම්, චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමේ මෙරට දේශීය නියෝජිත ආයතනය වූ චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා(CEO) විය යුත්තේ, ජාතික ජන බලවේගයේ අපේකෂකයෙකු වන බිමල් ජයසුන්දරයි.

අප මුලින්ම බිමල් ජයසුන්දරට අයත් LinkedIn සමාජ ජාලා ගිණුම පරීක්ෂා කළා. ඔහු චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම හෝ ‍චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ විධායක ශ්‍රේණියක රැකියාවක් හෝ ප්‍රධාන විධායක නිලධාරීයෙකු ලෙස වර්තමානයේ හෝ මීට පෙර ක්‍රියා කළ බවක් එහි සඳහන් කර නොතිබුණි.

LinkedIn

කෙසේවෙතත් ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට චීන සමාගමෙනුත් , දේශීය නියෝජිත ආයතනයෙනුත් අප විමසා බැලීමක් සිදුකළා.

චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම

Chelinaa Capital සමාගමේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී ද අපට බිමල් ජයසුන්දර මහතාගේ නම එහි දැක ගන්නට ලැබුනේ නැහැ.

මේ පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට අප චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ මුදල් හා පරිපාලන අධ්‍යක්ෂ, අරවින්ද වීරසේකර මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, බිමල් ජයසුන්දර චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ විධායක ශ්‍රේණියේ නිලතල දැරූවෙකු හෝ සේවක මණ්ඩලයේ පුද්ගලයෙකු හෝ උපදේශකවරයෙකු නොවන බවයි.

බිමල් ජයසුන්දර මහතා, පොහාර සම්බන්ධ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙරට මෙන්ම චීනයේ ද සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයෙක් බැවින්, චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම, තමන් චෙලිනා කැපිටල් කෝපරේෂන් ආයතනයට හඳුන්වා දීම පමණක් සිදු කර ඇති බවයි, ඔවුන් පවසා සිටින්නේ.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමේ නියෝජිත ආයතනය (local agent) ලෙස ශ්‍රී ලංකා රජයේ සහ පෞද්ගලික ආයතන සමඟ සාකච්ඡා කිරීමට සහ සම්බන්ධ වීමට චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමට පවරා තිබේ.

ඒ බවට චීන සමාගම විසින් චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ලෝලිත අබේසිංහ වෙත යොමු කළ ලිපිය පහතින්.

කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම

අප මේ පිළිබඳව කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් ද විමසීමක් කළේ, එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලයක් බිමල් ජයසුන්දර මහතා දරනවාද, යන්නයි. ඔවුන් සඳහන් කර සිටියේ මෙම ක්‍රියාවලියේ දී, උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ද බිමල් ජයසුන්දර කිසි ලෙසකත් දේශීය නියෝජිත ලෙස කටයුතු කිරීමක් සිදු නොකළ බවත් එම කටයුතු සිදුකළේ චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම බවයි.

මේ පිළිබඳව ලිඛිත වාර්තාවක් ද නුදුරු දිනකදී අප වෙත එවීමට ඔවුන් පොරොන්දු වූ අතර ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.

ඒ අනුව, චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමේ මෙරට නියෝජිත ආයතනය ලෙස චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම ක්‍රියාකර ඇති බවත්, එහි CEO හෝ වෙනත් නිලයක් බිමල් ජයසුන්දර විසින් හොබවා නොමැති බවත් පැහැදිලිවේ.

අප මේ පිළිබඳව බිමල් ජයසුන්දර ගේ අදහස් ද විමසා සිටියා.

බිමල් ජයසුන්දරගේ ප්‍රකාශය

ඒ මහතා පවසා සිටියේ, තමන් දිගු කාලයක් තිස්සේ පොහොර ක්ෂේත්‍රයේ රැඳී සිටින ව්‍යාපාරිකයෙක් බවයි. ඇතැම් දේශීය ආයතන සඳහා පොහොර මෙරටට ආනයනය කිරීම ද, සිදු කරනු ලබන බවයි. මේ හේතුවෙන්, පොහොර ක්ෂේත්‍රයේ, චීනයේ මෙන්ම වෙනත් රටවල ද, බොහෝ ව්‍යාපාරිකන් සමග තමන්ට සබඳතා ඇති බවත් පවසා සිටිනවා.

කාබනික පොහොර නැව හා සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජයසුන්දර මහතා පවසන්නේ, ශ්‍රී ලංකා රජය විසින් කාබනික පොහොර ප්‍රතිපත්තිය පැනවීමෙන් අනතුරුව, කාබනික පොහොර ලබාගැනීම සඳහා රජය විසින් දෙලක්ෂ හැත්තෑපන්දහසකට ටෙන්ඩරයක් කැඳවා තිබු බවයි.

ලොව පුරා කාබනික පොහොර පිළිබඳ ගනුදෙනු කරන, චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම සහ තවත් චීන සමාගමක් ඒ සඳහා සහභාගී වීමට කැමැත්ත පළකරමින්, තමන්ට දැන්වූ බවත් ඊට හේතුවූයේ එම ආයතන සමග තමන් මීට පෙර ද පෙර ද ගණුදෙනු කිරීම හේතුවෙන් හා තමන් එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වූ නිසා බවට ඒ මහතා අවධාරණය කළා.

කෙසේවෙතත් එම ටෙන්ඩරයේ නෛතිමය තත්ත්වය අනුව මෙරට නියෝජිත ආයතනයක් සිටිය යුතු බැවින් සහ චීන ආයතන දෙකේ කැමැත්ත සහ අනුමැතිය පරිදි ඔවුන්ට ලංකාවේ නියෝජිත ආයතන දෙකක් හඳුන්වා දීම තමන් සිදු කළ බවත් ඔහු පවසනවා.

ඒ අනුව චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම මෙරට ආයතනයක් වන චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමට හඳුන්වා දුන් අතර ජියැට් නම් සමාගම මෙරට නියෝජිත ආයතනය ලෙස බ්‍රවුන්ස් සමාගමට හඳුන්වා දී තිබෙනවා.

කෙසේනමුත් තමන් එම ආයතන දෙකෙන් එකක හෝ කාර්ය මණ්ඩල සාමාජිකයයෙකු නොවන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

කාබනික පොහොර ආනයනය සඳහා පැවති රජය විසින් ලංසු කැඳවීමේදී ආයතනය විසිඑක් දෙනෙකු පමණ සිටි අතර ඉන් සමාගම් 4ක් පමණක් තේරීපත් වූ අතර එම සමාගම් අතර තමන් හඳුන්වා දුන් ආයතන දෙකම සිටි බවත් ඔහු සඳහන් කළා.

නමුත් නව ප්‍රතිපත්තියක් ගෙන ඒමේ තත්ත්වය මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝ අවස්ථාවන් වලදී ලිපිගොණු සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය හේතුවෙන් අප්‍රසාදයය දක්වමින් ජියැට් සමාගම ඉන් ඉවත් වී තිබු බවත් ජයසුන්දර මහතා පවසනවා.

අවසානයේ දී රජය විසින් මෙම කාබනික පොහොර ගනුදෙනුව සඳහා කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම තෝරාපත්කරගෙන ඇති අතර එහි මෙරට නියෝජිත ආයතනය වූ, චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කළ බව ත් ඔහු සඳහන් කළා.

එබැවින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙම චීන සමාගම සහ චෙලිනා කැපිටල් කෝපරේෂන් නියෝජිත ආයතනය සමඟ කටයුතු කිරීමේ තීරණ හෝ ගිවිසගනීම් සියල්ලටම රජයේ පාර්ශව සහ අදාළ ආයතන සමබන්ධ වූ බවත්, තමන් පොහොර සම්බන්ධ ක්ෂේත්‍රයේ ප්‍රවීණකයෙකු බැවින් චීන සමාගමේ ඉල්ලීම පරිදි තමා ඇතැම් සාකච්ඡා සඳහා සහභාගි වූ බව ත්, නමුත් අදාළ තීන්දු තීරණ ගැනීමට තමන් සහභාගී නොවූ අතර එය එවකට පැවති රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා මෙරට චීන සමාගමේ නියෝජිත ආයතනය අතර සිදුවූ ගනුදෙනුවක් පමණක් බවත් ජයසුන්දර මහතා පවසනවා.

මේ පිළිබඳ අප කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන අංශයෙන් ද විමසා සිටි අතර ඒ පිළිතුරු සමඟ මෙය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

එමෙන්ම එවකට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යව සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද, මෙම ආයතන හා සමග තිබූ සාකච්ඡා සඳහා සහභාගී වූ බවත් ජයසුන්දර මහතා පවසනවා.

කාබනික පොහොර ටොන් අනූ නව දහසක් මෙරටට ගෙන්වීමට ගිවිසුම්ගත වූ අතර නැව් පහකින් ඒවා රැගෙන ඒමට නියමිත ව තිබූ බවත්, ඒ සඳහා පළමු නැව සඳහා 100% මුදල් ගෙවූ පසූ එම පළමු පොහොර නැව මෙරටට ගෙන්වීමට ගිවිසුම් ගත ව තිබුණත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව පොහොර නැව එරටින් පිටත් වීමට පෙර 75%ක මුදලක් ලබා දීමටත් ඉතිරි 25% මෙරටට පැමිණි පසු පරීක්ෂා කොට ලබා දෙන බවටත් සාකච්ඡා වුණා.

ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දී ඇති නිර්ණායකයන් අනුව ජර්මන් ආයතනයකින් පරීක්ෂා කොට එම සහතික වලින් ද, සමත් වී ඇති බවත්, ඉන් පසුව ශාක නිරෝධායන සේවය විසින් කරන ලද පරීක්ෂණයේදී පැවසුවේ, ලංකාවට එවන ලද පොහොර වල හොඳ බැක්ටීරියා සීයට 0%ක් එනම් හොඳ බැක්ටීරියා එකක් වත් නොතිබිය යුතු බවයි. එමෙන්ම එහි සඳහන් වී ඇත්තේ බැක්ටීරියා තිබෙන බවට සැකයක් පවතින බවක් යනුවෙනි.

එහිදී ගැටලුවක් පැන නැගුණු අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ම ඒ සඳහා ලිපියක් ලබා දී ඇති බවත්, කාබනික පොහොර වල අනිවාර්යයෙන්ම බැක්ටීරියා ඇති බවත්, මේ හේතුවෙන් ගෙන්වන ලද පොහොර වල ද, හොඳ බැක්ටීරියා ඇති බවට එහි සඳහන් කර ඇති බවයි.

ණයවර ලිපියේ කොදේසි වල සඳහන් පරිදි LC ආරම්භ කළ දින සිට දින අටක් ඇතුළත නැව පිටත් විය යුතු බව ත්, එසේ නොකළහොත් ඒ සඳහා දඩ මුදලක් අය කරන අතර එය සැපයුම්කරු විසින් ගෙවිය යුතු බවටයි ඒ හේතුවෙන් පොහොර නැව පිටත් වූ බව ද, ඔහු සඳහන් කළා.

එමෙන්ම චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගම රටවල් පනහකටත් වඩා පොහොර අපනයන කරන සමාගමක් බවත්, මෙරට තහනම් වූවද, ඔස්ට්‍රේලියා වැනි රටවලට ඔවුන් හිතකර බැක්ටීරියා විකුණන බවයි, ජයසුන්දර මහතා පවසන්නේ.

මාස තුනක් එම නැව ශ්‍රී ලංකා මුහුදේ තබා සිටි බවත්, ඊට හේතුව වන්නේ එම ගිවිසුම උල්ලංඝණය වන හේතුවෙන් බවත්, අදාළ ගිවිසුම නිල වශයෙන් අවලංගු කිරීමෙන් පසු ව ඔවුන් නැවත පිටත්වූ බව ද, සඳහන් කළා.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ එවකට පැවති රජය විසින් ටෙන්ඩර් කැඳවා ඔවුන් විසින් තෝරාගත් චීන සමාගම තමන් මෙවර මැතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු බැවින් ජාතික ජන බලවේගය පක්ෂයට මඩ ගැසීම සඳහා තමා පොහොර ගෙන්වූ බවට සහ තමා ඊට සම්බන්ධ ආයතන වල විධායක නිලධාරී ලෙස කටයුතු කළ බවට අසත්‍ය ප්‍රචාරයක් දේශපාලනික වාසි තකා පතුරුවනු බව ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චීන පොහොර නැව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ හිටපු ශ්‍රී ලංකා රජය 2021 වසරේ මැයි මාසයේ දී රසායනික පොහොර ආනයනය හදිසියේම නවතා දැමුවේ රටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිපවදවා ගොවීන්ට හිඟයකින් තොරව ලබාදෙන බවට සඵත වෙමින් ඒ පිළිබඳ මහින්දානන්ද මහතා පළ කළ අදහස් මෙතනින්.

එහෙත් සැලසුම් කළ පරිදි මෙරට කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවීම හේතුකොට ගෙන 2021 සැප්තැම්බර් මාසයේ දී ඇරඹෙන මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කිරීමේ ප්‍රථිපලයක් ලෙස 2021 අගෝස්තු මස 5 වැනි දින FO /61/2021 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයයට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘෘප්' නම් චීන සමාගමින් ගෙන්වීමට තීරණය වී තිබුණා.

එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවද එහි සඳහන්.

'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් සමූහය'ට ටෙන්ඩරයෙන් තේරී පත් වූයේ කෙසේද?

ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ පැවති රජයේ අතිරේක ලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහේෂ් ගම්මන් පිල මහතා පැවසුවේ, කාබනික පොහොර සඳහා රජය විසින් ලංසු කැඳවීමේ අවසනදී තේරීපත් වූ සමාගම් හතරින් මුළු රටටම ලබා දිය හැකි ලෙස එම ඉල්ලුමට සැපයුම ලබා දිය හැකි ආයතනය ලෙස අදාළ චීන සමාගම තෝරා ගත් බවයි.

ඉහළ ප්‍රමිතීන්ට අනුව මෙම ප්‍රසම්පාදන කටයුතු සිදු වූ බව ත්, යම් කිසි ආකාරයෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා වල ගැටලු මතුවුවහොත් පත් කර ඇති ස්වාධීන සමීක්ෂකයෙක් ගෙන්වා නැවත වතාවක් තීරණය අරගෙන නුසුදුසු තොගය නැවත එම රටට යැවීමටත්, යැවීමට පෙර බලාපොරොත්තු වූ ගුණාත්මක තත්ත්වයේ පොහොර නැවක් මේ රටට ගෙන්වීම යන කොන්දේසි මත මෙම ප්‍රසම්පාදනය සිදුව ඇති බවට ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබුනේ මෙලෙසින්. Archived Link

චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවලින් අර්වීනියා (Erwinia) නමැති ක්ෂූද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂූද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සඳහා ගෙන්වූ කාබනික පොහොර සාම්පලයකින් බවයි. එමෙන්ම ක්ෂුද්‍රජීවීන් හමුවූයේ තම දෙපාර්තමේන්තුව විසින් අවිධිමත් ක්‍රමයකින් ගෙන්වාගත් පොහොර සාම්පලයකින් බවට එවකට කෘෂිකර්ම ආමාත්‍යව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්. එමෙන්ම මෙම පොහොර සම්බන්ධ ජාත්‍යන්තර රසායනාගාර වාර්තාව පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් දින 15ක් පොහොර නැව මෙරට වරාය තුළට නොගත් බව ද, ඔහු සඳහන් කර තිබුණා.

නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කළේ චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල නව සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි ද අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බවට තහවුරු වූ බව යි. නව සාම්පලයේ සිටින්නේ Erwiniaම දැයි තහවුරුකර ගැනීමට නොහැකි නමුත්, එහි අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටිතැයි නිශ්චිතවම පැවසිය හැකිබව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මෙම කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදාය. ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණයවූ අතර පොහොර තොගය රට තුළට ගෙන ඒමට මේ අනුව අවසර නොදෙන ලදී.

එසේම මෙම තත්වය සම්බන්ධයෙන්, සහ ලංකාවේ සිදුකර තිබු පරික්ෂා කිරීම් පිළිබඳ ප්‍රශ්න කරමින්, එම අවධියේ දී කින්ඩාඕ සීවින් බයෝ ටෙක් සමාගමේ ලිපියක් ද සහිතව ලංකාවේ චීන තානාපති කාර්යාලය සිදුකර තිබූ කරුණු දැක්වීමක් මෙලෙසින්.

චීනය එම පොහොර තොගයට මූල්‍ය පහසුකම් සැපයු මහජන බැංකුව, එරට මූල්‍ය පද්ධතියේ අසාදු ලේඛන ගත කළ අතර මාස ගනණාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබූ මෙම චීන නෞකාව අදාල මුදල ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටව ගියා.

චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමූහ ආයතනයෙන් ආනයනය කළ කාබනික පොහොර නෞකාව මෙරට ප්‍රමිතියට අනුකුල නොවීම බව දක්වමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ශාක නිරෝධායන ඒකකය පියවර ගත්තා.

කෙසේවෙතත් ණයවර ලිපි විවෘත කර තිබියදී ශ්‍රී ‍ලංකාව එම නැව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගමට මහජන බැංකුව හරහා රජය ගෙවූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 6.9 කි.

ඇති වූ ගැටලුකාරි තත්ත්වය හමුවේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ද චීනය පියවර ගැනීම හේතුවෙන් මහජන බැංකුවද විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

රුපියල් බිලියන 12.9ක් ගෙවා චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක හානිකර ක්ෂුද්‍රජීවීන් අඩංගු බැවින්, ඒවා මෙරටට ගෙන්වීමෙන් කෘෂිකාර්මික ව්‍යසනයක් සිදුවනු බවට ශ්‍රී ලාංකික විශේෂඥයින් අනතුරු අඟවා තිබුණේ, චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේ දී "Erwinia" සහ "Bacillus" නම් ගණයන්ට අයත් ක්ෂුද්‍රජීවීන් හමුවීම හේතුවෙන් බවට ඔවුන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් ඇතුළු පිරිස රූපවාහිනි වැඩසටහනකින් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

සැ.යු : අප මෙම කරුණු පැහැදිලි කිරීම මගින් පෙන්වා දෙනු ලබන්නේ කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට පැවති රජය විසින් ගනු ලැබූ තීරණය සමගින්, ඒ සඳහා කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ සිදුකරන ලද ලංසු කැඳවීමෙන් අනතුරුව, අදාළ පරීක්ෂාවන් සිදු කර, රජය විසින් කාබනික පොහොර ආනයනය සඳහා තෝරා පත් කරගනු ලැබූ සමාගම වුයේ චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක්’ නමැති සමාගමේ මෙරට නියෝජිත ආයතනය වූ චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමේ කිසිදු නිලයක් හෝ සේවකයෙකු හෝ වෙනත් තනතුරක් බිමල් ජයසුන්දර හොබවා නොමැති බවයි. පොහොර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු බැවින් ඔහු සිය ව්‍යාපාර වල කොටසක් ලෙස අදාළ චීන සමාගම, මෙරට නියෝජිත ආයතනය වන චෙලිනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගමට හඳුන්වා දෙමින් උපදේශන කටයුතු සිදුකර තිබෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාලිමාවේ බිමල් ජයසුන්දර සහ චීන පොහොර නැව පිළිබඳ හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News