අගමැති ධුරය හා කොළඹ ආරක්ෂාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-05-15 15:54 GMT

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් සංසරණය වුණා.

Facebook | Archived Link
Facebook | Archived Link
Facebook | Archived Link

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

එමෙන් ම පසුගිය 12 වන දා කොළඹට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරය හෙබවීමට නියමිත නිසා ද යන්න පිළිබඳ සමාජ මාධ්‍ය ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ හේතුවෙන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කෙරෙන බවට පසුගිය සමයේ ඇතැම් වෙබ් අඩවි මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සටහන් හුවමාරු වුණා. Archived Link

එමෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මගින් ද, දිගින් දිගට ම මේ පිළිබඳව දේශපාලඥයින්ගෙන් විමසීම් කරනු දැක ගන්නට ලැබුණා.

මහින්දානන්ද අලුත්ගමගේ

ඒ අනුව, ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මැයි දින සැමරුමට පෙර දින මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීමක් කරන්නේ, මැයි දින සැමරුමේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ යෝජනාවක් ගෙන එන්නේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ, මැයි දින සැමරුමේ එවන් යෝජනාවක් ගෙන නොඑන බවයි. එම වීඩියෝව මෙතනින්.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර

එමෙන් ම පසුගිය මැයි 07 වන දා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා ද, මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, පවත්නා රජය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. එ් පිළිබඳ පළ වූ මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

විමලවීර දිසානායක

පසුගිය මැයි 12 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී විමලවීර දිසානායක මහතා සඳහන් කළේ, අගමැති වීමට මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම බැසිල් රාජපක්ෂ මහතා ද, සුදුසු වූවත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පක්ෂය තුළ නොවන බවයි. එම වීඩියෝව මෙතනින්.

පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සූදානම් කිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ හමුදාව ස්ථානගත කර ඇති බවට පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බව ත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බව පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්ෂයේ අද(15) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා. එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

නාමල් රාජපක්ෂ

එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත්, බලය අතහරින්න ත් පුළුවන් නායකයෙක් බව ත්, ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වනවානම් ජනතාව රහසේ, හමුදා ආරක්ෂාව ලබාගෙන ජනතා මතයට විරුද්ධව සිදු කරන දෙයක් නොවන බව ත්, රටේ බහුතර ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි එවැනි තීරණයක් ගන්නවානම් ගනු ලබන්නේ බවට නාමල් රාජපක්ෂ මහතා ද සඳහන් කර තිබුණේ මෙලෙසින්.

ජනාධිපති මාධ්‍ය අංශය

කෙසේ වෙතත් අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීම සඳහා එවැනි යෝජනාවක් පොදුජන පෙරමුණ විසින් නොලැබුණු බව ත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද, එවැනි තීරණයක් ගෙන නොමැති බව ත්, ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා.

එමෙන් ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හි දක්වා තිබූ පරිදි කොළඹ නගරය තුල ආරක්ෂක හමුදාවන් හා විශේෂ පොලිස් බලකාය, කැරළි මර්දන ඒකකය ඇතුලු පොලිස් නිලධාරීන් සියගණනින් රැස්කර තිබීම ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, අන්තර් විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායමක් පසුගිය 12 වන දා රාත්‍රී කොළඹ ස්ථානගත වෙමින් පසුගිය 13 වන දිනයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට ජනාධිපති කාර්යාලයට ලැබී තිබු තොරතුරක් මත කොළඹ විශ්ව විද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවටයි. Archived Link

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බවට රජයේ ඉහළ ම තැන් වෙත බුද්ධි තොරතුරක් ලැබී ම හේතුවෙන් මෙම පියවර ගත් බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළේ මෙලෙසින්.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හෝ විශ්වවිද්‍යාල කණ්ඩායම් පසුගිය 13 වන දා කිසිදු විරෝධතාවක් සංවිධානය කර නොතිබූ බවයි.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද(15) දිනයේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී සඳහන් කර තිබුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර පුහුණු වැඩමළුවක් පැවැත්වූවා විය හැකි බවයි.

අප මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය, ආපදා ප්‍රතිචාර ආදී ඕනෑම විපතකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න කොළඹ ආරක්ෂාව තර කරමින් සිදු කළ සැලසුම් සහගත හදිසි පෙරහුරුවක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Tags:    

Similar News