ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

Update: 2024-09-09 03:41 GMT

තැපැල් ඡන්දයේ ආරම්භය

මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට මැතිවරණයකදී, තැපැල් ඡන්දය 1960 පැවති මහ මැතිවරණයේදී භාවිත විය. 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත අනුව, සන්නද්ධ හමුදාවල සාමාජිකයන්, පොලිස්, දුම්රිය, දුරකතන හා තැපැල් සේවාවල නිලධාරීන් හෝ සේවකයන් ද මැතිවරණ රාජකාරිවල නියුතු රජයේ සේවකයෝ ද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අය වේ.

ශ්‍රී ලංකාවේ තැපැල් ඡන්ද ක්‍රියාවලියේ සමාරම්භය සිදුවන්නේ වෙනත් බොහෝ රටවල ක්‍රියාත්මක වුවා සේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අවශ්‍යයෙන්ම අවම නියෝජනයක් සහිත පිරිස වෙත ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම ලබාදීම සඳහා නොවේ. එහි පසුබිම වන්නේ මැතිවරණ රාජකාරියෙහි නිරත යම් පිරිසක් වෙත තම ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම ඔවුනට ලබා දීමයි.

තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා දින පහක්

2024 ජනාධිපතිවරණයේ, ඡන්ද විමසීමේ පළමු පියවර වන තැපැල් ඡන්ද විමසීම බදාදා (සැප්තැම්බර් 04වැනිදා) ආරම්භ විය. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,319 දෙනෙක් සුදුසුකම් ලබා සිටී. තැපැල් ඡන්දය සැප්තැම්බර් 04, 05, 06 සහ එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට සැප්තැම්බර් 11, 12 දින දෙක තුළ සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි ලැබේ.

රජයේ සේවකයන් බහුතරයකගේ වැටුප් 2025 ජනවාරි සිට වැඩිවන බවට, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූලික වැටුප වැඩිවන බව හා දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් 16,000ක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් (සැප්තැම්බර් 02 දින) නිවේදනය කර තිබෙන පසුබිමක මෙවර තැපැල් ඡන්දය පැවැත් වේ.

අවසාන මැතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය සඳහ තැපැල් ඡන්ද ප්‍රතිඵල භාවිත කළ හැකිද?

තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර සෑම මැතිවරණයකදී ම නිකුත් කිරීම සිදු වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දී, මෙතෙක් පැවති ජනාධිපතිවරණ ප්‍රථිඵල හා සැසඳීමේදී තැපැල් ඡන්ද වැඩියෙන් ම ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව පෙනී යයි. එමෙන්ම, ඇතැම් ජනාධිපතිවරණවල වැඩිම ඡන්ද හිමි කරගත් අපේක්ෂකයන් දෙදෙනා අතර ඇති පරතරය ද ඉතා අඩු බව පෙනී යයි.

නමුත්, 1982 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ජනාධිපතිවරණවල ජයග්‍රහණය කළ අපේක්ෂකයා සහ සමස්ත තැපැල් ඡන්දය ජයග්‍රහණය කළ අපේක්ෂකයා ගැන විමසීමේදී, 1988 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී එය වෙනස් විය. එනම්, තැපැල් ඡන්දය ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක දිනාගත් නමුත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ, රණසිංහ ප්‍රේමදාස වීමය.


මේ අනුව පෙනී යන්නේ, මෙම ප්‍රතිඵල මත පදනම්ව බොහෝ විට අවසාන ප්‍රතිඵලය පිළිබඳව යම් පුරෝකථනයකට එළැඹිය හැකි බවයි.


Tags:    

Similar News