Fact Check: ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

Update: 2021-03-27 04:37 GMT

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා කර තිබුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. තවද රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියා.

මේ සම්බන්ධයෙන් දේශීය, විදේශීය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හා සමාජ මාධ්‍යජාලා ඔස්සේද, පුවත්, සටහන් විශාල වශයෙන් හුවමාරු වුණා. නමුත් මෙම ප්‍රකාශ කළ ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකතනයන් සහිතව සටහන් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ අතර ඡන්දය ප්‍රකාශ නොකළ රටවල් ද ලංකාවට පක්ෂව සිටි බවක් ද අදහස් කර තිබුනා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන්:

අද ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 21 ක් ඡන්දය ලබා දුන්නා. රටවල් 25 ක් යෝජනාවට සහය ලබා නොදී ශ්‍රී ලංකාව සමග හිටගත්තා. අප වෙනුවෙන් පෙනී සිටිය සෑම රටකටම අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

වෙල්මා-Velma නමැති ෆේස්බුක් පිටුවක මෙලෙස සඳහන් කර තිබුණා.

මෙහි දක්වා තිබුනේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂව ලැබුණු ඡන්ද 11ත් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි රටවල් 14 ද එකතුව ගෙන ඡන්ද 25 ක් එනම් රටවල් 25ක් ජිනීවා යෝජනාවට විරුද්ධ වී ඇති බවක්.

Facebook | Archived Link

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් 25ක් ශ්‍රී ලංකාවට එරෙහිව අද (23) ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුමත කර නැහැ” යන තේමාවෙන් රූපවාහිනී එම පුවත වාර්තා කර තිබුණා. බැලූ බැල්මට එයින් හැඟවෙන්නේ බහුතර රටවල් සංඛ්‍යාවක් එම යෝජනාව අනුමත නොකර තිබු බැවින් ලංකාවට පක්ෂව සිටි බවක්.

Facebook | Archived Link

ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියා විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමෙන් අනතුරුව කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පැවසුවේ, එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුවද, ජිනීවා යෝජනාවට විරුද්ධ වූ හා ඡන්දය නොදුන් රටවල් සංඛ්‍යාව ඡන්දය ලබා දුන් සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගැනීම හේතුවෙන් යෝජනාවට විරුද්ධව බහුතරයක් ලැබීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවයි.

එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්

කෙසේවෙතත් ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ ඉන්දියාවට හා යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සෙසු රටවලට ස්තූතිය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබු අයුරු ද අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා.

Dinamina | Newsfirst

මේ ආකාරයෙන් ඉහත පුවතට විවිධාකාරයේ අර්ථකථනයන් ලබාදී තිබු බැවින් ඒ පිලිබඳ කරුණු විමසීමක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය ජනවාරි මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය මිෂෙල් බැචලේ විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව මෙතනින්.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවයි.

ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබී ඇති බවද, සිදුවූ අපරාධ සඳහා දඩුවම් නොලැබීම, රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික ජාතිකවාදී ප්‍රකාශ යනාදී සිදුවීම් පසුගිය වසර පුරා දක්නට ලැබුණු බවත් එම වාර්තාවේ සඳහන්. මෙම තත්ත්වයට පිළිතුරු ලෙස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවත් සඳහන් වෙනවා.

බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් කීපයක් ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබුණා.

ඒ අනුව පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් ඡන්ද 22ක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සම්මත කිරීමට පක්ෂව ඡන්දය ලබා දුන්නා. මෙහිදී විපක්ෂව ඡන්ද 11කුත් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි රටවල් 14ක් තිබීම හේතුවෙන් බැලූ බැල්මට ශ්‍රී ලංකාව බහුතරය ලබා ගත් බවට සැළකිය නොහැකි වන්නේ එම ඡන්ද 14 පක්ෂව හෝ විරුද්ධව ලැබුණු ඡන්ද ලෙස සැලකිය නොහැකි බැවින්.

එම යෝජනාව සම්මත වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පලකරන ලද ට්විටර් පණිවුඩය පහතින්.

Twitter | Archived Link

ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක නිල වාර්තා පහතින්

Ohchr | Archived Ungeneva.org

A/HRC/46/L.1/Rev.1 යෝජනාව (resolution) වැඩි ඡන්ද 11කින් සම්මත වූ බවත් මේ අනුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ හැකියාව ශක්තිමත් කිරීමට සභාව තීරණය කළ බවත් එහි සඳහන්.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ආදී රටවල් 22 ද විපක්ෂව ඡන්දය ලබාදුන් චීනය, රුසියාව ඇතුළු රටවල් 11 ද ඡන්දය දීමෙන් වැළදී සිටි ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14 ද එහි පැහැදලිව ම සඳහන්.

ලංකාවට අමතරව නිකරගුවාව , පලස්තීනය ආදී රටවල මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු පිළිබඳ ඉදිරිපත් වී තිබු යෝජනා ද සම්ම්මත වී තිබු අතර ඒ සෑම යොජනාවක දී ම සැලකිල්ලට ගෙන තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයයි.

උදාහරණයක් ලෙස නිකරගුවාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පක්ෂව රටවල් 20 ක් ද විපක්ෂව 8 ක් ද 18 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී ද සිටියා. මේ අනුව වැඩි ඡන්ද 12 කින් (20-8) එම යෝජනාව සම්මත වී තිබු බව සඳහන්. ඉන්දියාව එම ඡන්දය විමසීම් දෙකෙහි දී ද සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ නැති බවක් ද දැක ගන්නට ලැබුනා.

Explained: India at UN, on Sri Lanka – Indian Express

මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාධ්‍ය අංශයෙන් ද විමසා සිටි අතර ඔවුන් ලබාදුන් පැහැදිලි කිරීම පහතින්.

Please note that the HRC resolution on Sri Lanka was adopted having obtained a majority of votes among the 47 Council members who cast a yes and no vote. Please note that abstentions do not count. The final results count was indeed 22 yes, 11 no and 14 abstentions. Therefore, it is absolutely incorrect to state the resolution was not passed and/or that 25 states (or 24) voted against it.

එක්සත් ජාතීන්ගේ සමුළුවේ ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ නීති රීති මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද බලපැවැත්වෙන බව පවසමින් ඉහත දක්වා තිබුනේ ඡන්දය ලබාදුන් සහ නොදුන් රටවල් 47 දෙනා අතරින් බහුතර ඡන්ද ලබාගෙන ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත වූ බවයි. ඡන්දය දීමෙන් වැළකී සිටීම් මෙහිදී සැලකිල්ලට නොගන්නා බව කරුණාවෙන් සලකන්න යනුවෙන් ද පවසා තිබුණා. අවසාන ප්‍රතිඵලය අනුව පක්ෂව ඡන්ද 22 , විපක්ෂව ඡන්ද 11 ක් සහ 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. එම නිසා, යෝජනාව සම්මත නොවූ බවත් / හෝ රටවල් 25 ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් යනුවෙන් ද දක්වා තිබුණා.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ ක්‍රියා පටිපාටිය පිලිබඳ ලේඛනයේ ද කරුණු දක්වා තිබෙන්නේ පක්ෂව හෝ විපක්ෂව ලබාදෙන ඡන්ද පමණක් සැලකිල්ලට ගන්නා බවත් ඡන්දය ලබා දීමෙන් වැලකී සිටින රටවල් ඡන්දය ලබා නොදුන් රටවල් ලෙස සලකන බවත්ය.

RULES OF PROCEDURE OF THE GENERAL ASSEMBLY

කෙසේවෙතත් මෙසේ ජිනීවා යෝජනා සම්මත වුව ද එම නිර්දේශ බලාත්මක වීම පිලිබඳ විවිධ අදහස් පසුගිය දින කිහිපයේ ම ඉදිරිපත් වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා

Ada | Dinamina

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව තහවුරු වන්නේ, එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ඇතුළු කාරණා මුල්කරගෙන ඉදිරිපත් වූ යෝජනාවට කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් පක්ෂව ඡන්ද 22ක් ,විපක්ෂව ඡන්ද 11ක් ලැබුණු බවයි. පක්ෂව ලැබුණු ඡන්ද සංඛාව මුළු ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 47න් අඩකට වඩා (24) අඩු සංඛාවක්. එසේ නමුත් ඡන්දය ප්‍රකාශ කළ සාමාජික රටවල් 33න් වැඩි ඡන්ද 11ක් ලබාගනිමින් එම යෝජනාව සම්මත වුනා.

ඒ අනුව සාමාජික රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටීම හේතුවෙන් එම රටවල් ද එකතු කරගනිමින් සම්පුර්ණයෙන් රටවල් 25ක් එනම් ශ්‍රී ලංකාව සමඟ රටවල් 47න් බහුතර රටවල් සංඛ්‍යාවක් පෙනී සිටි බවට දක්වා තිබෙන්නේ නොමඟ යවන සුළු ප්‍රකාශයකි.

එම රටවල් 14 යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීමක් සිදුකලා යයි පෙන්වා දීම නොමඟ යවන සුළු වන්නේ එක්සත් ජාතීන්ගේ සමුළුවල ඡන්ද විමසීම් වලදී යම්කිසි යෝජනාවකට පක්ෂව හෝ විපක්ෂව ලබාදෙන ඡන්ද පමණක් සැලකිල්ලට ගන්නා අතර ඡන්දය ලබා දීමෙන් වැලකී සිටින රටවල් ඡන්දය ලබා නොදුන් රටවල් ලෙස සලකන බැවිනි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News