රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

Update: 2022-06-07 06:47 GMT

පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්‍රිත ක්‍රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලියට ඔහු දායක වූ බවටත් නොමග යවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධයෙන් අප සිදු කළ විමසුමකි මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

“ප්ලේන් එකට යන්න නොදී තියාගත්ත හදවතේ වීරයා” යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් ද යොදා ගනිමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් පළවූ තවත් සටහනක කරුණු දක්වා තිබුනේ මෙලෙසින්

“ඊයේ වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසු අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙනවා යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසූ බවට පුවත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණේ,

සාලිය පීරිස් මහත්තයලට පිං සිද්ද වෙන්න දැං අපේ රටේ 1ට නීතිය තියනවා.

රුසියන් ප්ලේන් එක නවත්තන්න කියල ATC ටවර් එකටම ගිහින් තර්ජනය කරල. හරිම සන්තෝසයි.

රුසියාවෙ ප්ලේන් එක නවත්තල කරපු වීර ක්‍රියාවෙ ප්‍රතිඵල තව ටික දවසකින් ආවම ඒකත් අහිංසක මිනිස්සුම විඳවයි.

රටත් පච කරල ටිං ටිං ගේ වීර ක්‍රියාව කරන්න කොච්චර කුට්ටියක් සාක්කුවට වැටෙන්න ඇද්ද?”

Facebook | Archived Link

එසේම කුමන්ත්‍රණය සාර්ථකයි! බටහිර සංචාරක තහනම මැද, රුසියාවෙන් සංචාරකයින් දහස් ගණනක් ලංකාවට රැගෙන ආ එරෝෆ්ලොට් ගුවන් සමාගම ලංකාවට ගුවන් ගමන් නවතයි. පැමිණීමට සිටි සංචාරකයන් ගණන ලක්ෂ 4කට අධිකයි.” යනුවෙන් සඳහන් කළ සටහනක් සඳහා නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් ද යොදා ගනිමින් තවත් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන් බහුලව සංසරණය වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන ගුවන් යානය පසුගිය ජුනි 02 දා උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, එය නැවත මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබියදී කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දී තිබුණා.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධව පවතින කල්බදු ගැටලුවක් හේතුවෙන් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින් වග උත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙලෙස වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා කටයුතු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බවට සඳහන් කරමින් සංසරණය වූ ඉහත සටහන් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා රුසියානු ගුවන් යානය රඳවාගැනීමේ නඩුව සඳහා නීතිඥ සාලිය පීරිස් මහතාගේ නම කුමන පාර්ශවයකින් හෝ සඳහන් වනවාද යන්න අප ප්‍රථමයෙන්ම විමසා බැලීමක් සිදු කළා.

ඒ සඳහා කොළඹ වානිජ මහාධිකරණයේ නඩු අංක 126/2022MR නඩුවට අදාළ ජර්නල් සටහන අප විසින් පරීක්ෂා කළ අතර එහිදී නීතිඥ සාලිය පීරිස් මහතාගේ නම සඳහන් නොවුණි.

එම ජර්නල් සටහන් පහතින්.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා පවසා සිටියේ, ඉහත සඳහන් නඩුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඒ ආකාරයේ නඩු වෙනුවෙන් තමන් පෙනී නොසිටන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මේ පිළිබඳව තොරතුරු වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බලපටබැඳි මහතාගෙන් ද අප විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ ද, නීතිඥ සාලිය පීරිස් මහතා මෙලෙස රුසියානු ගුවන් යානයට වාරණය නියෝගයක් පැනවීමේ නඩුවට කිසිදු සම්බන්ධකමක් නොමැති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරුන් හෝ මෙම නඩුව සඳහා සබඳකමක් නොමැති බවත් ඒ බවට මෙම නඩුවට අදාළ ජර්නල් සටහන නිරීක්ෂණයෙන් ද, තහවුරු වන බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියා.

මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා

රුසියානු යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය අත්හිටුවන ලෙස ඉල්ලා එරෝෆ්ලොට් ගුවන් සමාගම කළ ඉල්ලීමක් ලබන 08 වනදා විභාගය ට ගැනීම ට කොළඹ වාණිජ මහාධිකරණය තීරණය කර තිබුණා.

රුසියානු ගූවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කොළඹ වානිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග හමුවේ මෙම ඉල්ලීම සලකා බැලුණු අතර නඩුවේ දෙවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුනේ අන්තර්ජාතික ගිවිසුම් හා ද්වි පාර්ශ්වික එකඟතාවයන්ට අනුව අන්තර්ජාතික ගුවන් යානා වලට ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට සහ පිටත්ව යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.

ඒ අනුව ගොඩබානු ලබන ගුවන්යානාවලට යළි පිටත්ව යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නීතියෙන් බලය පැවරී තිබෙන බවත් මෙවැනි වාරණ නියෝගය නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කර තිබුණා.

අධිකරණ විසින් වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසුව අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් අදාළ ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙන බවත අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා පැමිණිලි කර ඇති අතර එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ දෙවන විත්තිකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ගමන් පාලකවරයා වෙත කිසිදු වාරණ නියෝගයක් අධිකරණය නිකුත් කර නොමැති බවයි.

අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් මොස්කව් බලා පිටත්ව යාමට සිටි මගීන් 191 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 32 කුට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබෙනවා.

පැමිණිලිකාර සමාගම ඉදිරිපත් කළ පදනම් විරහිත කරුණු සැලකිල්ලට ගෙන මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බවත් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සඳහන් කර තිබුනේ ද මෙය එරෝෆ්ලොට් රුසියානු ගවන් සමාගම සහ සීමා සහිත සෙලෙස්ටියල් එවීයේෂන් ට්‍රේඩින් අතර වාණිජ ගනුදෙනුවක් බැවින් එය දෙපාර්ශවය විසඳහා ගත යුතු බවයි.

එයට ශ්‍රී ලංකා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) පුද්ගලික සමාගම අවධාරණය කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

කෙසේ වෙතත් රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයකට කටුනායකින් පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට එම අධිකරණය අද (06) තීරණය කළා. ඒ පිළිබඳ පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ නීතිපතිවරයා මෝසමක් මගින් කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය ජුනි (06) සවස මොස්කව් බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා. ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්.

කෙසේ වෙතත් එරෝෆ්ලොට් ගුවන් යානය නිදහස් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන්, අපහසුතාවයට පත්ව සිටී මගීන් හා ඔවුන්ගේ බඩු භාණ්ඩ ප්‍රවාහනයේ දී සිදු වූ අපහසුතාවයන් සම්බන්ධයෙන් තමා කණගාටුවන බව ද, මෙවන් නඩු කටයුත්තකදී අධිකරණ බලය සමග සාකච්ඡාමය තත්ත්වයකින් මෙවන් ගැටලුවක් ඉදිරියේ දී නොවන පරිදි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්.

Update 07/06/2022 :

රුසියානු ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවය ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවට යෙදීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇති හේතුවෙනි.

මෙරට අධිකරණ අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කරන්නේ සිද්ධියට අදාල චෝදනා එල්ල වන නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු යයි අගවිනිසුරුවරයා වෙත දන්වා යවන බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

Also Read:

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

http://srilanka.factcrescendo.com/english/false-claims-being-shared-as-statement-of-basl-president-saliya-peiris/

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා රුසියානු ගුවන් යානය රඳවා ගැනීමේ නඩුව හා සම්බන්ධ බවත් එය කුමන්ත්‍රණයක් බවත් එහි පසුපස සිටින්නේ, සාලිය මහතා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළු බවයි.

මෙම නඩුව සඳහා කුමන පාර්ශ්වයකින් හෝ පෙනී සිටි නීතිඥවරු අතරින් නීතිඥ සාලිය පීරිස් මහතාගේ නම සඳහන් නොවී ඇති බව අප එම නඩුවට අදාළ ජර්නල් සටහන් නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කර ගත් අතර, නීතිඥ සාලිය පීරිස් මහතා ද පවසා සිටියේ තමන් මෙම නඩුව හා සම්බන්ධ නොවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කිසිදු නීතිඥවරයෙක් මෙම නඩුව සඳහා පෙනී නොසිටි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් සඳහන් කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News