
මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

Link | Archived Link |
මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු කරගෙන තිබෙනු නිරීක්ෂණය විය. බොහෝ පිරිසක් මෙය සාවද්‍ය බව ප්‍රකාශ කර තිබු බැවින් මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප keywords යොදා ගනිමින් සෙවීමක් කළෙමු. ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් අගමැතිතුමා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වන සටහන් අසත්‍ය බවත්, එතුමා අත්වැලක් අල්ලා ගෙන වේදිකාවට නගින බව සඳහන් කරමින් ඉදිරිපත් කර තිබිණි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය පරීක්ෂා කිරීමේදී පිටුපසින් අයෙකුද අත්වැල අල්ලාගෙන සිටින බැවින් එය පැහැදිලිවම සැරයටියක් නොවන බව පෙනී යයි. පහත දැක්වෙන්නේ ඡායාරුප සංසන්දනය කරමින් පළවූ එක සටහනක්.

Link | Archived Link |
තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. පසුගියදා පැවැත්වු අගමැති තුමා සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා විසින් සංවිධානය කරන ලද කොට්ටාවේ පැවති ජන හමුවකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප ලබාගෙන ඇතැයි පෙනී යයි. එහිදී කිසිඳු අපහසුතාවයකින් තොරව අගමැති තුමා ජන හමුවමට සහභාගී වන බව අපට පුවත් වාර්තා වලදී පෙනී ගියා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාව ජන හමුවට පැමිණ පඩිපෙලේ අත්වැල අල්ලාගෙන වේදිකාවට නගින අවස්ථාවේ මෙම ඡායාරුපය ලබාගත් බව ජන රැලිය සජීවීව විකාශය කර තිබු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියා ( දෙවන විනාඩියේ සිට)
ජංගම දුරකතනයකින් මෙම සජීව විකාශය කර තිබු බැවින් එහි රුප රාමු පැහැදිලි නොවේ. එසේ ජංගම දුරකථනයෙන් ලබාගන්නා ලද වීඩියෝවෙන් ලබාගත් ඡායාරුපක් , සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සමඟ සැසඳීමේ දී එය පැහැදිලිවම එකම ස්ථානයක් බව පෙනී යයි.
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයේ දර්ශන අනුපාතය (Aspect Ratio) පරීක්ෂා කිරීමේදී එය ජංගම දුරකථනයකින් හෝ කැමරාවකින් ලබාගත් සම්මත දර්ශන අනුපාතය (Aspect Ratio) කිසිවකට සමාන නොවන බවද පෙනී ගියා. එනම් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරුපය සංස්කරණ කර Crop කර ඇති බව පෙනී යයි

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොට්ටාව පැවති ජන හමුවෙදී වේදිකාවට ගොඩවීමට ඉදිකර තිබූ පඩිපෙලේ අත්වැල අල්ලාගෙන වේදිකාවට ගොඩවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් භාවිතා කරමින් අගමැති තුමා හැරමිටි වාරුවෙන් යන බවට සටහන් පෙළක් පළකර කර ඇති බවයි.
එබැවින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම ඡායාරුප සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වීමට යොදාගත් සාවද්‍ය ඡායාරුප සටහනක්
Fact Check By: Sahan PereraResult: False
