කෘතිමව නිපදවන ආහාර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් අවස්ථාවන්හිදී සටහන් ඉදිරිපත් වී තිබෙන බව පසුගිය කාලයේ දකින්නට ලැබුණි. පසුගිය දිනක Saubagya ෆේස්බුක් පිටුවක කෘතිමව නිපදවන ලද ප්ලාස්ටික් බිත්තර පිළිබඳව පහත ඇති සටහන ඉදිරිපත් කර තිබුණා

“ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබෙනවා.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී තිබුණා.

නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබෙනවා.

වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වුණා.”

LinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබු මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර කිහිපයක් ම මෙම ප්‍රවෘත්තිය පිළිබඳව සැක පහළ කර තිබුණ බැවින් මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සටහනට ප්‍රතිචාර කිහිපයක් ම මෙම සිදුවීමට අදාල සිද්ධිය හා සම්බන්ධ වව්නියාවේ ඇති හෝටලය නම ඉදිරිපත් කරන ලෙස දන්වා තිබු අතර සටහනට පාදක වූ පුවත ලෙස ඉදිරිපත් කර තිබූ දිගුව පරීක්ෂාකල විට TrueNews.lk වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්තියක් බව දැකගනන්ට ලැබුණි.

LinkArchived LinkArticle LinkArchived Link

මෙම පුවත, ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා කිහිපයකම ද හුවමරු වී තිබුනේ මෙලෙසින්

මෙම පුවත් බොහොමයක්ම සඳහන් කර තිබුනේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරීක්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි කර ගැනීමට හැකි වී තිබු බවයි.

Dinamina | Archived

මෙම ප්‍රවෘත්තිය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූවා.

මාධ්‍යවේදියකු යයි පැවසු තැනැත්තෙකු වව්නියාවේ නගරයේ හෝටලයක ඇති සැහැල්ලු ආහාර වල කෘතිම බිත්තර ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව වව්නියාව නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ එම ආහාර පරික්ෂා කරන ලද අතර එහි අඩංගුව තිබුණේ කෘතිම බිත්තර නොව සාමාන්‍ය බිත්තර බව තවුරු තහවුරු වූ බවත්, ලංකාවේ මේ දක්වා ප්ලාස්ටික් වලින් නිපදවු කෘතිම බිත්තර ඔවුන්ට සමූ වී නොමැති අතර මෙම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට තහවුරු කළා.

මේ පිළිබඳව අප වව්නියාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගෙන් ද සිදුකල විමර්ශනයකදී අපට පැහැදිලි කර සිටියේ මෙම සිද්ධියට මාධ්‍යවේදියෙකු සම්බන්ධ වී තිබු බැවින් මෙසේ විශාල වශයෙන් මාධ්‍ය හරහා හුවමාරු වී තිබු බවයි. මෙම මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ලක් මත හෝටලය පරීක්ෂා කල අතර මෙහිදී ප්ලාස්ටික් හෝ කෘතිම බිත්තර කිසිවක් නොතිබූ බවයි. කෙසේවෙතත් බිත්තර රෝල්ස් පිළියෙළ කිරීම සඳහා එම හෝටලය යොදාගෙන තිබුනේ මුලින් තම්බා ඉන් අනතුරුව අධිශීතකරණයේ දමා තිබු බිත්තර වූ අතර එය මෙසේ තරමක තද ගතියක් පෙන්නුම් කර තිබු බවත් පවසා සිටියා. මෙසේ තම්බා ගත් බිත්තර දින කිහිපයක් ශීතකරණයේ තිබිය හැකි වුවද , අධිශීතකරණයේ තැබීම වැරදි ක්‍රියාවලියක් බැවින් (ඍන උෂ්ණත්වයන් යටතේ) ඒ සම්බන්ධයෙන් හෝටල් හිමියාට අවවාද කල බවත් පවසා සිටියා. හෝටල් හිමිකරුට විරුද්ධව ඉහත වාර්තා වල සඳහන් පරිදි කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැති බවත් අපට වව්නියාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා තහවුරු කළා.

කෘතිමව බිත්තර නිපදවනව දැයි දැනගැනීම පිණිස අප ගූගල් සෙවීමක් කළෙමු.No, the Chinese aren’t trying to poison us with plastic eggs” සිරස්තලයෙන් 2018 වසරේ මැයි මස FRANCE 24 වෙබ අඩවිය ඉදිරිපත් කර අති කරුණු විමර්ශනය අනුව අයිවරි රාජ්‍යයේ ෆේස්බුක් පිටුවක් වන Flash info Abidjan විසින් ඉදිරිපත් කර ඇති සටහනක් නිසා මෙම ප්ලාස්ටික් බිත්තර භීතිකාව ලොවපුරා පැතිරගෙස් ඇත.

දරුවන්ට ක්‍රීඩා කිරීම පිණිස සැබෑ බිත්තරයක ආකාරයෙන් නිපදවා ඇති ක්‍රීඩා භාණ්ඩයක් මෙම ප්ලාස්ටික් බිත්තර සේ පෙන්වීමට කරන බව ඔවුන්ගේ නිගමනය වී ඇත.

LinkArchived Link

කොරියානු සමාගමක් විසින් නිපදවා ඇති මෙම ක්‍රීඩා භාණ්ඩය TaoBao, Amazon වැනි වෙබ් අඩවි තුලින් ඇනවුම් කර ලබා ගත හැකිය. ක්‍රීඩා භාණ්ඩය පිළිබඳව පළවූ වීඩියෝවක් පහතින්

https://youtu.be/Led2HbvjbTs

ඉහත සටහන් පෙළත් සමඟම පසුගිය දින කිහිපයේ ව්‍යාජ බිත්තර සහ ඒවා හඳුනාගන්නේ කෙසේද යන තේමා යටතේ ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන අයුරු ද අපට දැකගන්නට ලැබුනා

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ප්ලාස්ටික් වලින් කෘතිම බිත්තරයක් නිපදවූ සිද්ධියක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී නොමැති අතර, ලංකාවේ කිසිදු ස්ථානයක මේ වන තෙක් කෘතිම ප්ලාස්ටික් බිත්තර නිෂ්පාදන හමුවී නොමැති බවයි.

එබැවින් ප්ලාස්ටික් බිත්තර යොදා පිළියල කළ සැහැල්ලු ආහාර වව්නියාව හෝටලයක තිබී සොයාගත් බවට ෆේස්බුක් ජාලයේ පලවන සියලුම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය ප්‍රවෘත්ති බවට නිගමනය කරමු.

Avatar

Title:කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

Fact Check By: Sahan Perera

Result: False