“එක රටක් එක නීතියක්” සංකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ ප්‍රධාන කරුණක් විය. නමුත් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරන්නේ නැති බවට චෝදනා විපක්ෂය වෙතින් දිගින් දිගටම එල්ල වන බවක් ද අපට දැක ගන්නට ලැබුණා

කාති උසාවි මඟින් සිදුවන අසාධාරණ පිලිබඳ මුස්ලිම් ජනතාව ද ප්‍රශ්න කරන අවධියක, දිවයින පුරා ප්‍රදේශ 25ක කාති තනතුරු පුරප්පාඩු පිරවීමට අධිකරණ සේවා කොමිසම දැන්වීමක් පලකර තිබුණි. 2021 ජනවාරි මස 01 දින පලවු රජයේ ගැසට් පත්‍රයෙන් (පිටු 13-17) මේ සඳහා අයදුම්පත් කැඳවා තිබුණි.

මෙවන් පසුබිමක, ජනපතිවරණයට පෙර වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් විසින් රටපුරා අලුතින් කාති උසාවි 100 ක් පිහිටුවීමට පොරොන්දු වු බවට අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසු බව දක්වමින් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් පැවතුණි. අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ අධිකරණ ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් සිදු කර තිබුනේ නැති බවත්, එවැන්නක් නෙත් පුවත් සේවය මඟින් පළකර තිබුනේ ද නැති බවයි.

තවද ඉහත ගැසට් නිවේදනය හරහා අධිකරණ සේවා කොමිසම දැන්වීමක් මඟින් දිවයින පුරා කාතිවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබුනේ ද නව අධිකරණ පිහිටුවීමට හෝ නව තනතුරු සඳහා නොව විවිධ හේතු නිසා මතු වී තිබු පුරප්පාඩු පුරවා ගැනීමට බව අපට අනාවරණය විය.

සමාජ මාධ්‍ය සටහන්:

“ජනාධිපති ඡන්දයට කලින් ගෝඨාභය මැතිතුමන් මට පෞද්ගලිකව පොරොන්දු වුණා රටපුරා අලුතින් මුස්ලිම් කාති උසාවි සීයයක් ඉදිකර දෙන බවට” යන වදන් රෝපණය කර අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාගේ සේයාරුවක් සහිත සටහනක් “පීචං මහත්තයා” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. නෙත් ප්‍රවෘත්ති සේවය මෙම පුවත පළකර තිබු බවට දක්වන පරිදි මෙම සටහන සකසා තිබු අතර ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

FacebookArchived Link

“මොහු රටේ අගමැතිද? ජනපතිද? කාග් අනුදැනුමක් ඇතිවද කාති උසාවි පිහටුවන්න නිලධාරින් කැඳවන්න ගැසට කළේ. මුස්ලිම් බහුතරයක් එපා කියපු කාති අන්තවාදි උසාවිය ඇයි මාහුට ඕන උනේ..අපිට කාතත් එපා උඹත් එපා” වදන් රෝපණය කර Ags Kumara නමැත්තකුගේ ෆේස්බුක් සටහනක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරුවී තිබුණි.

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ සම්බන්ධයෙන් නෙත් පුවත් සාමාන්‍යධිකාර තුමාගෙන් සිදුකල විමසීමකදී ද එවැනි සටහනක් නෙත් පුවත් සේවයේ හෝ සමාජ මාධ්‍ය හරහා පළවුයේ නැති බව පවසමින් මේ සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පවසා සිටියා.

එසේම “නෙත් සන්නාමය අවභාවිතා කරමින් අසත්‍ය පුවත් පතුරුවන පිරිසකට එරෙහිව CIDයට පැමිණිල්ලක්” යනුවෙන් නෙත් පුවත් සේවය මඟින් පලකරන ලද ලිපියක් අපට මෙසේ දැකගන්නට ලැබුණි.

Nethnews | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ෆේස්බුක් සටහන් අප අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා වෙත යොමුකර ඒ පිළිබඳව කරුණු විමසා සිටියෙමු. “ජනාධිපති ඡන්දයට කලින් ගෝඨාභය මැතිතුමන් මට පෞද්ගලිකව පොරොන්දු වුණා රටපුරා අලුතින් මුස්ලිම් කාති උසාවි සීයයක් ඉදිකර දෙන බවට” යනුවෙන් තමා විසින් කිසිවිටෙකත් නෙත් ප්‍රවෘත්ති සේවයට නොපැවසු අතර, එහි දක්වා ඇති කරුණ ද සාවද්‍ය බව අවධාරණය කර සිටියා. කාති උසාවි සම්බන්ධයෙන් පලවන විවිධ චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ද එමනිසා කාති උසාවි සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු කීරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බව පමණක් නෙත් ප්‍රවෘත්ති සේවයට අදහස් දැක්වූ බව වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමත්‍යවරයා පවසා සිටියේ තේසවලාමේ නීතිය, උඩරට නීතිය ආදී වශයෙන් මුස්ලිම් නීතියද ලංකාව තුල ක්‍රියාත්මක වන විශේෂ පෞද්ගලික නීති ක්‍රමයක් බවත් එය 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ලෙස නිතිගත වී තිබෙන බවත්ය.

කාති පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් පළවූ දැන්වීම පිළිබඳව අදහස් විමසීමේදි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අගවිනිසුරුතුමන් යටතේ ඇති ස්වාධීන ආයතනයක් වන අධිකරණ සේවා කෙමිෂන් සභාව විසින් කාති උසාවි අධීක්ෂණය කරන බවයි. දැනට දිවයිනේ පවතින කාති උසාවි වල පුරප්පාඩු පිරවීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගැසට් කර, දැන්වීම් පල කර අයදුම්පත් කැඳවා ඇති බවත් පැහැදිලි කරමින් පවසා සිටියේ එය සාමාන්‍ය ක්‍රියාදාමය බවයි. එයට අමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ද අවධාරනය කර සිටියා.

කාති උසාවි පුරප්පාඩු පිරවීම පිළිබඳව අධිකරණ ඇමතිවරයා මාධ්‍යයට කළ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් දැකගත හැකිය. (2.15 මිනිත්තුවේ සිට)

https://youtu.be/yHMWAct6fBc?t=135

අප මෙම ෆේස්බුක් සටහන්හි අන්තර්ගතය පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමට ජනාධිපති මාධ්‍ය අංශය වෙත මෙම සටහන් යොමු කළෙමු. අලුතින් කාති උසාවි සියයක් පිහිටවීමට අලි සබ්‍රි මහතාට ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක පොරොන්දුවක් දී නොමැති බවට ජනපති මාධ්‍ය අංශය ද අපට සහතික විය.

අනතුරුව අප කාති උසාවි සම්බන්ධයෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා නෙත් ප්‍රවෘත්ති සේවයට කළ ප්‍රකාශය පිළබඳව වාර්තාව පරීක්ෂා කළෙමු. “කාති උසාවි නියාමනයට අධිකරණ ඇමතිගේ අවධානය” සිරස්තලයෙන් පහත සටහන නිරීක්ෂණය විය.

කාති උසාවි සම්බන්ධයෙන් පලවන විවිධ චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු කීරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එහිදී මෙසේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පවසා තිබුණා

https://soundcloud.com/voice-cuts/zabri-02

කාති උසාවි සඳහා විනිශ්චකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ සේවා කොමිසම බවත් එතුමා අවධාරණය කර තිබුණා. එසේම එහි ඇතැම් විනිශ්චකාරවරුන් පක්ෂපාතීව කටයුතු කරන බවට චෝදනා දිගින් දිගට තමා වෙත ද ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරාත්තු වන බවත් එහි පවසා තිබුනේ ද මෙලෙසින්

https://soundcloud.com/voice-cuts/zabri-03

Neth News Archived

අධිකරණ සේවා කොමිසමෙන් ද අප මේ පිලිබඳ ව කරුණු විමසා සිටි අතර එහිදී අපට මෙම බඳවා ගැනීම නව තනතුරු සඳහා නොවන බවත් ඒවා එකී ප්‍රදේශ වල ඇතිවූ පුරප්පාඩු සඳහා සිදුකරගන්න බඳවා ගැනීම් පමණක් බවත් පවසා සිටියා.

මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යු. ආර්. සිල්වා මහතා ITN රූපවාහිණි නාලිකාවේ ප්‍රවෘත්ති වැඩ සටහනකට එක්වෙමින් පැහැදිළි කරනු දක්නට ලබුණි. කාති උසාවි සම්බන්ධව මුස්ලිම් ප්‍රජාව තුලින්ම විරෝධයක් මතුවී ඇති බවත්, මෙම තත්වය ක්ෂණයකින් වෙනස් කළ නොහැකි බවත්, මුස්ලම් ප්‍රජාව සහ විද්වතුන් සමග සාකච්ඡා කර මෙයට සංශෝධන ගෙනෙ එන එමෙන් පසුව පමණක් කති අධිකරණ වෙනුවට වෙනත් විකල්පයක් තිබේ දැයි සලකා බැලිය යුතු බවයි.

එසේ කටයුතු සිදුවන තෙක් පවතින ක්‍රියාවලියේ යම් අඩුපාඩු තිබෙන බවට චෝදනා නැගුණද එය හිටිහැටියේ අහෝසි කළහොත් අසරණ මුස්ලිම් කාන්තාවන් ට කිසිඳු හව්වරණක් නොලැබෙන බැවින් සංශෝදන ක්‍රියාත්මක වන තුරු මෙම ක්‍රියාදාමය පවත්වා ගැනීමට අවශ්‍ය පුරප්පාඩු පිරවීම කල යුතු බව ඒ මහතා පැහැදලි කලේ මෙලෙසින්.

https://www.facebook.com/itnnews.lk/posts/3571621539599819

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සම්බන්ධයෙන් මීට පෙරද පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප විසින් කරුණු විමර්ෂණ සිදුකළ අතර එවැනි විමර්ෂණ දෙකක් මෙතනින් සහ මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපති මැතිවරණයට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතා රටපුරා අලුතින් මුස්ලිම් කාති උසාවි සීයයක් ඉදිකර දෙන පෞද්ගලිකව පොරොන්දු වූ බවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා නෙත් පුවත් සේවයට පවසා ඇති බවට පලවන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

පසුගිය දා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසමෙන් සිදුකර තිබු දැනුම්දීමත් සමඟම මෙම කතාබහ නැවත වරක් ඉස්මතු වී තිබෙනවා. කෙසේවෙතත් කාති උසාවිවල සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන් කාලයක් පුරාම හඬක් නඟා තිබෙන අතර මේ සඳහා ඉදිරියේදී සිදුකළ හැකි සංශෝදන සම්බන්ධයෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසා සිටිනවා.

Avatar

Title:FACT CHECK: අලුතින් මුස්ලම් කාති උසාවි සීයයක් පිහිටුවන බවට ජනාධිපති පොරොන්දු වු බවට අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවා ද?

Fact Check By: Sahan Perera

Result: False