2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අය-වැය 2022 අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා කපා දමයි.” යනුවෙන් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

එම සටහන තවත් ෆේස්බුක් පිටුවක හුවමාරු වී තිබුණේ මෙලෙසින්. Archived Link

මෙවර අයවැයේදී අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබා දෙන ඉන්ධන දීමනාවක් ලබා නොදෙන බවක් ද මේ හරහා ගම්‍ය වී තිබු බව මෙම සටහන් සඳහා ලබා දී තිබු ඇතැම් ප්‍රතිචාර ඔස්සේ දැක ගන්නට ද ලැබුණා. එම සටහන් සඳහා දක්වා ඇති ඇතැම් ප්‍රතිචාර කිහිපයක් පහතින්.

ඒ අනුව අප මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2022 මුදල් වර්ෂය සඳහා රජයේ මූල්‍ය කළමනාකරණ අයවැය සැලැස්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ(12) දිනයේදී පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබීය. මෙය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යටතේ සිය මංගල අයවැය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ දෙවන අයවැය වනවා.

මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි. අයවැය සම්පූර්ණ කතාව මෙතනින්. අයවැය සම්පූර්ණ වීඩියෝව මෙතනින්

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ ප්‍රතිපත්තිමය යෝජනා යටතේ, අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාවෙන් ලීටර 5ක් කපා හැරීම යෝජනවා වී තිබෙනවා. එම වීඩියෝව පහතින්.

Archived Link

ඒ අනුව එහි දක්වා ඇත්තේ මුළුමනින් ඉන්ධන වියදම ලබා නොදීම නොව ඉන්ධන දීමනාවෙන් ලීටර 5 ක් පමණක් කපා හැරීමට යෝජනා වී තිබෙන බවයි. අයවැය කතාවේ ඒ බවට දක්වා තිබුණේ මෙලෙසින්. (පිටුව 20)

2022 රාජ්‍ය අයවැයෙන් හිමිවන මහජන ප්‍රතිලාභ පිළබඳ සංක්ෂිප්ත වාර්තාවේද ඒ බව සඳහන් වන්නේ මෙලෙසිනි. (58 වන පිටුව)

ඒ අනුව, වර්තමාන පෙට්‍රල් ඔක්ටේන් 95 ක ලීටරයක මිල රු.184 ක් බැවින් ලීටර 5 ක් යනු රු. 920 කි එනම් මසකට එලෙස කපා හරින මුදල වන්නේ රු. 920 කි. පෙට්‍රල් ඔක්ටේන් 92ක මිල රු.157 ක් බැවින් ලීටර 5 ක් යනු රු. 785 කි එනම් මසකට එලෙස කපා හරින මුදල වන්නේ රු. 785 කි.

එවැනි ඉතාමත් සුළු ප්‍රමාණයකින් , අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාවෙන් ලීටර 5ක් කපා හැරීම යෝජනවා වී තිබියදී ඉහත ෆේස්බුක් සටහනින් දක්වා තිබුණේ, ඉන්ධන දීමනාව කපා හැර ඇති බවටයි. මේ ඔස්සේ බොහෝ දෙනෙක් නොමග ගොස් තිබු අතර එම යෝජනාව අගය කර තිබු බව පෙනී යනවා.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනි දා පස්වරු 5.00 ට පැවත්වීමට නියමිතය. අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතයි. එම දින ඇතුළත් 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන් මෙතනින්.

මෙවර ඉදිරිපත් වූ අයවැය සාරංශය මෙතනින්. මෙවර අයවැය පරතරය දැක්වෙන්නේ රුපියල් බිලියන (1,628)ක් (හිඟ) ලෙසය.

Additional Info:

මෙවර අයවැයේදී ඉදිරපත් කළ යෝජනා සංක්ෂිප්ත මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප ලබා දීමේ කාල සීමාව වසර 10 දක්වා දීර්ඝ කිරීම, දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදි කිරීම වසර දෙකකට අත්හිටුවීම, රාජ්‍ය ආයතනවල දුරකතන වියදම 25%කින් කපා හැරීමේ යෝජනාවක්, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස, අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම, විදුලිය අවශ්‍යතාව සූර්ය බලශක්තිය ලබා ගැනීමට දිරිගැන්වීම සඳහා විදුලිබල ප්‍රතිපාදන 10%කින් අඩු කිරීම, විනය ක්‍රියා මාර්ගයන්ට ලක්ව නොමැති රාජ්‍ය සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය දැනට පවතින ඇගයීම් වාර්තාවෙන් තොරව නියමිත දිනට ලබා දීමට ක්‍රියා කිරීම,ත්‍රීරෝද රථ නියාමනයට ආයතනයක්, 2022 වසර සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඇති කිරීමට යෝජනා, මුළු රටම ආවරණය වන පරිදි පාසල්වලට ෆයිබර් ඔප්ටික් අධිවේග අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කිරීමද සඳහන් කළා.

එමෙන්ම, සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සැකසිමට යෝජනාවක් ඉදිරිපත් කිරීම, ලබන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයෙ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් සැකසිම ආරම්භ කිරීමට යෝජනාවක්, සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීමට යෝජනවාක් ඉදිරිපත් කරනු ලැබීය.

වල් පැළ හරණය සඳහා විකල්ප දිරිගැන්වීමක් වෙනුවෙන් රුපියල් මිලියන 4,000 ක් වෙන් කිරීම, වල් පැළ හරණය හා වල් පැළෑටි අවම වන පරිදි වගා බිම් සකස් කිරීම සඳහා හෙක්ටයාර 2 ක උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් අධාර මුදලක්, අපනයනකරුවන් ශ්‍රේණිගත කර උසස් මට්ටමේ අපනයනකරුවන් සඳහා නිදහස් රේගු පහසුකම් සැලසීමට යෝජනා කරනවා. කිරි නිෂ්පාදනය ඉහළ නංවා, දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විසර්ජන පනතින් වෙන් කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. බදු පරිපාලනය සඳහා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරිමට අදාළ වන පරිදි නීති සංශෝධනය කරනවා, 2021 අයවැය මගින් යෝජනා කෙරුණු දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ හා සේවා සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා, ගුවන් විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට විවෘත වෙන්දේසියක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා, ත්‍රිරෝද රථ සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳීමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටු වීමට යෝජනා ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් මිලියන 3ක් වෙන් කරනවා, දැනට විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් යොජනා කරනවා, පාසල් බස් හා වෑන් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ, ආදායම අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කරනවා, ආදායම අහිමි වූ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීම සඳහා මිලියන 1500ක්, ඇළ වේලී ප්‍රතිසංස්කරණය හා වැව් බැමි ආරක්ෂා කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීම මාස 24ක් දක්වා දීර්ඝ කෙරේ, දැනට වෙන් කර ඇති මුදලට අමතරව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා තවත් රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ, රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබා දීම සඳහා මූලික වියදමක් ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ, වන සංරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

වන ජීවි ආරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනාවක් (ගුරු විදුහල්පති වැටුප් විශමතාව) රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් 2021.08 . 31 අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් එක්වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක්, අභ්‍යාසලාභී පද්වීම් ලද සියලු උපාධිධාරීන් 2022 ජනවාරි සිට ස්ථීර කිරීම, මෝටර් රථ වාහන අනතුරු අවම කිරීම දිරි ගැන්වීම සඳහා මෝටර් රථ වාහන අනතුරු සිදු කර ගන්නා පුද්ගලයාගෙන් ගාස්තුවක් අය කිරීමටත් එය රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටත් අවස්ථාව සිගරට් මත අයකරන නිෂ්පාදන බද්ද රුපියල් 5.00කින් වැඩි කෙරේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචරධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කිරීම,2020 / 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක අධිභාරය (tax surcharge) බද්දක් අය කිරිමට යෝජනා කරනවා. එම බද්ද මගින් රුපියල් බිලියන 100ක පමණ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කිරීම වශයෙන් දැක්විය හැක.

2022 මුදල් වර්ෂය සඳහා ප්‍රදාන ද ඇතුළු ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය ආදායම වන්නේ රුපියල් බිලියන 2284කි. රජයේ සමස්ත වියදම් ලෙස රුපියල් බිලියන 3,912ක් දක්වා තිබේ.

2022 මෙවර අයවැය විශ්ලේෂණයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 2022 අයවැය යෝජනාවලියේදී අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා කපා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යවන සුළු බවයි. එම සටහන් ඔස්සේ සම්පූර්ණ ඉන්ධන දීමනාව කපා දැමෙන බවක් ගම්‍ය වී තිබූ අතර කිහිප දෙනෙක්ම එසේ උපකල්පනය කර තිබුණද මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ ප්‍රතිපත්තිමය යෝජනා යටතේ දැක්වෙන්නේ, අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාවෙන් ලීටර 5ක් පමණක් කපා හැරීම යෝජනාව වී ඇති බවයි.

Avatar

Title:2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context