වැලිගම IOC ඉන්ධන පිරවුම් හලට පැමිණි ඩීසල් බවුසරයක් ගොඩ බෑමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණේ, වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය ලෙසම එම වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙක් ද, යන්න පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

'පෙට්‍රල් නැත්නම් අපිට ඩීසල් එපා කියමින්' වැලිගම ඉන්ධන පිරවුම් හලට පැමිණි ඩීසල් බවුසරය ආපසු හරවා යැවීමට උත්සහ කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ලෙස එම සිදුවීම වූ අවස්ථාවේ සිටි පුද්ගලයෙකු පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම තේමාව යටතේ ෆේස්බුක් ඔස්සේ එම ඡායාරූප සටහන බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ඉහත සටහන් වල දැක්වෙන පරිදි මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ද යන්න අප විමසීමක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සිදුවීමට පාදක වූ පුවත වෙත අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ අතර ඒ අනුව පසුගිය 21 වන දා ‘අද දෙරණ’ 6.55 ප්‍රධාන පුවත් විකාශයේ පළ වූ පුවතක මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවට දැක ගන්නට ලැබුණා.

එම පුවතේ සඳහන් වූයේ, පසුගිය 21 වන දා වැලිගම IOC ඉන්ධන පිරවුම් හලේ සිටි පාරිභෝගිකයන් පිරිසක් පෙට්‍රල් ලබා දෙන ලෙස ඉල්ලමින් එම අවස්ථාවේ පැමිණි ඩීසල් බවුසරයක් ගොඩ බෑමට ඉඩ ලබා නොදුන් බවත්, ඉන් අනතුරුව පොලීසිය එම බවුසරය සිය භාරයට ගත් බවයි.

ඉන් අනතරුව එම පිරිස වැලිගම-මාතර මාර්ගය අවහිර කළ ආකාරයත් එහි පෙන්වා දෙනු ලබනවා.

පසුව පොලිස් නිලධාරියෙකු විසින් එහි සිටින පුද්ගලයෙකු හට පවසන්නේ එම පුද්ගලයා කවුරුන්ද යන්න බව දන්නා අතර හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා ඔහුට (වීඩියෝවේ දැක්වෙන එම තරුණයාට) කතා කරනු ඇති බවත්, හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා පවසනු ලබන්නේ, මෙම ඉන්ධන බවුසරය ගොඩ බාන්න යනුවෙනි. එම දර්ශන පහතින්

https://youtu.be/0fV_FLkgbKo?t=315

Archived

නමුත් එහිදී, පොලිස් නිලධාරියා විසින්, වීඩියෝවේ දැක්වෙන තැනැත්තා, වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හෝ වැලිගම නගර මන්ත්‍රීවරයෙකු ලෙස හඳුන්වා දීමක් සිදු කරන්නේ ද නැහැ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ වැලිගම නගර සභා මන්ත්‍රීවරයෙකු මෙම සිදු වීමට සම්බන්ධ බවයි. එම වීඩියෝව මෙතනින්. (01.03 සිට) Archived Link

මේ හේතුවෙන් ‘අද දෙරණ’ පුවත් විකාශයේ දැක්වූ පරිදි පොලිස් නිලධාරියා විසින් ප්‍රශ්න කරනු ලබන පුද්ගලයා වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය වූ බවට උපකල්පනය කළ හැක.

වැලිගම ඉන්ධන පිරවුම්හල අසල සිදුවූ උණුසුම් තත්ත්වයේ තවත් වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේ දී ඉහත සටහන්හි දක්වා තිබූ තරුණයාගේ සමීප දර්ශන සහිත වීඩියෝ දර්ශන අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. හෙල්මටයක් පැළඳ සිටි එම තරුණයාගේ සමීප ඡායාරූපයක් පහතින්.

කෙසේ වෙතත් ඉහත සඳහන් පුද්ගලයා ජ.වි.පෙ. වැලිගම ප්‍රාදේශිය මන්ත්‍රීවරයෙකු ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අප වැලිගම ප්‍රාදේශිය සභාවේ කාර්ය මණ්ඩලයෙන් විමසීමක් කරනු ලැබුවා.

ඒ අනුව වැලිගම ප්‍රාදේශිය සභාවේ, ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටින බව තහවුරු කළ අතර ඔවුන්, සෝමා ගමගේ මහත්මිය, සිරිපාල රාජපක්ෂ මහතා සහ අජිත් ප්‍රියන්ත මහතා වේ.


සෝමා ගමගේ

සිරිපාල රාජපක්ෂ

අජිත් ප්‍රියන්ත


මෙම ඡායාරුප , සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශනවල සිටි තරුණයාගේ ඡායාරුප සමඟ සංසන්දන කිරීමේ දී ඔහු ඉහත දැක්වෙන මන්ත්‍රීවරුන් කිසිවෙකු නොවන බව දැක ගන්නට ලැබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් වැලිගම නගර සභාවෙන් ද අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ, ටී.ඩබ් ශානික රජීව මහතා පී.බී වසන්තා නීලමනී මහත්මිය සහ සේරසිංහ විදානගේ නිහාල් මහතා බවයි.

වැලිගම නගර සභා රැස්වීම් වලදීද, මෙම මන්ත්‍රීවරුන් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන්ම අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් වැලිගම නගර සභා මන්ත්‍රී ටී.ඩබ්. ශානික රජීව මහතා ප්‍රකාශයක් සිදු කර තිබුණේ, තමන් වැලිගම ඉන්ධන විරෝධතාවය සමතයට පත් කිරීම සඳහා මැදිහත් වූ බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ගිණුමේ පළ කළ වීඩියෝව මෙතනින්.

අප වැලිගම නගර සභා මන්ත්‍රී ටී.ඩබ් ශානික රජීව මහතාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර අප විමසා සිටියේ, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයා සම්බන්ධයෙනි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම පුද්ගලයා තමන් නොවන බවත්, තමන් වැලිගම නගර සභා මන්ත්‍රීවරයෙකු බවත් එම අවස්ථාවේ ගැටලුව විසඳා ගැනීමට පමණක් තමන් මැදිහත් වූ බවයි.

එසේම වැලිගම IOC ඉන්ධන පිරවුම් හල අසල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අප වැලිගම පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් ද විමසීමක් සිදුකළ අතර ඔහු ද පවසා සිටියේ හෙල්මටයක් පැළඳ සිටි තරුණයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු නොවන බවත් මන්ත්‍රීවරයා (ටී.ඩබ්. ශානික රජීව මහතා) වෙනම ස්ථානයක සිටි බවයි.

සැ.යු : අප මෙහි කරුණු පරීක්ෂාව සිදු කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන්හි ඡායාරූපයේ හා වීඩියෝවේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වරයෙකු ලෙස පෙන්වා දී තිබුණේ, ජවිපෙ වැලිගම ප්‍රාදේශිය සභාවේ හෝ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු නොවන බව පමණයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වරයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් වූ ඡායාරූපයේ හා වීඩියෝවේ පෙන්වා දුන් තරුණයා, ජවිපෙ වැලිගම ප්‍රාදේශිය සභාවේ හෝ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු නොවන බවයි.

Avatar

Title:වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජ.වි.පෙ මන්ත්‍රීවරයෙක් ද? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading