දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව නිකුත් වීමට නියමිත චක්‍රලේඛයට අනුව විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසු වූවා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යභාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව නිකුත් වීමට නියමිත චක්‍රලේඛයට අනුව ඔබට විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණේ මේ අයුරින්. මෙහි පෙන්වා දී තිබුනේ අනිවාර්ය විශ්‍රාම වයස 2022 වසරේ සිට ක්‍රමයෙන් වෙනස් වන බවත් ඒ අනුව එම වයස් සීමාව ක්‍රමයෙන් අඩුවී 1973 වසරේ උපන් පුද්ගලයෙකු වයස අවුරුදු 55 සම්පුර්ණ වීමේ දී අනිවාර්ය ලෙස විශ්‍රාම ගත යුතු බවයි

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද, මෙම සටහන සංසරණය වී තිබුණා.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු විමසා ඇති බවයි.

මේ හේතුවෙන් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ වසරේ ජනවාරි පළමු දා සිට ක්‍රියාත්මක වන පරදි රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් 2022 ජනවාරි 06 වන දා මෙලෙසින් නිකුත් කර තිබුණා. Archived Link

කෙසේවෙතත් ඉන් අනතුරුව සැප්තැම්බර් 14 වන දා රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ නව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කරනු ලැබුවා.

මෙහි දක්වා ඇති පරිදි රාජ්‍ය නිලධාරියෙකු අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස වන්නේ අවුරුදු 60 කි. නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු ඡායාරූපයේ පෙන්වා දෙන්නේ, 1973 දී සහ ඉන්පසුව උපන් පුද්ගලයින් තම 55වන උපන්දිනය වන විට අනිවාර්ය ලෙස විශ්‍රාම ගැනීම කළ යුතු බවයි. එසේම ඊට පෙර එනම්1973 සිට 1962 වර්ෂවල උපන් සියලු පුද්ගලයන් අවුරුදු 55 සිට 60 දක්වා අතරතුරදී අනිවාර්ය විශ්‍රාම ගැනීම කළ යුතු බවයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලව අමාත්‍යාංශය

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අප රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලව අමාත්‍යාංශයෙන් ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එම සටහන අසත්‍ය බවයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විශ්‍රාම වැටුප් අංශයේ සහකාර ලේකම්වරිය සඳහන් කළේ, නවතම චක්‍ර ලේඛනය අනුව, රාජ්‍ය සේවකයෙකු අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ (Compulsory Resignation Age) වයස 2023.01.01 සිට අවුරුදු 60 බවට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවයි. ඒ දක්වා වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇත්නම් 2022.12.31 වන විට විශ්‍රාම යා යුතු බව ද ඇය පැහැදිලි කර සිටියා.

වයස අවු. 60 සම්පූර්ණ වීම මත අ අ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම පිළිබඳව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 වගන්තිවල ද සඳහන් වෙනවා. නමුත් රාජ්‍ය සේවකයෙකුට ඔහුට /ඇයට වයස අවුරුදු 55 සිට වෛකල්පික විශ්‍රාම ගැනීමේ (Optional Resignation) හැකියාව පවතිවා. එනම්, ඕනෑම රජයේ සේවකයෙකු හට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත හෝ වයස අවුරුදු 55 සිට 60 දක්වා කාල සීමාව තුළ දී ස්වකීය කැමැත්තෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වගන්තිය ප්‍රකාරව විශ්‍රාම ගැනීමට හැකි බවයි. කෙසේනමුත් රාජ්‍ය සේවයේ ඇතැම් වෘත්තිකයන්ගේ මෙම වයස් සීමාවේ වෙනස්කම් තිබෙනවා.

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මෙතනින් සහ මෙතනින්

එසේම ඉහත අපගේ පැහැදිලි කිරීමේ දක්වා ඇති පරිදි පනස් පස් හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට නියම කරන්නට පුලුවන් බවත්, නියම බලධාරී කෙනෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළ හොත් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර තිබෙන නිලධරයන් හැර, අනෙකුත් සියලුම සිවිල් රාජ්‍ය නිලධරයන් වයස අවුරුදු හැට පිරුණු විට අනිවාර්යයෙන්ම සේවයෙක් විශ්‍රාම ගත යුතු බව දක්වමින් එම නියෝගය 2023 ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දෙසැම්බර් 05 වැනිදා නිකුත් කර තිබුණේ මෙලෙසින්.

මේ අනුව පෙනී යන්නේ ඉහත ඡායාරූප සටහනේ දක්වා ඇත්තේ රාජ්‍ය සේවකයෙකුට අනිවාර්ය විශ්‍රාම යාමේ වයස ලෙස දක්වා ඇත්තේ වෛකල්පික විශ්‍රාම ගැනීමේ හැකියාව පවතින වයස බවයි. නමුත් එහි අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස ලෙස සඳහන් කිරීම හේතුවෙන් මෙලෙස නොමග යෑමට හේතුවී තිබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව නිකුත් වීමට නියමිත චක්‍රලේඛයට අනුව විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කරමින් පළ වූ සටහන නොමග යන සුළු බවයි.

සැප්තැම්බර් 14 වන දා රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ නව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කළ අතර මෙම සටහනේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරියෙකුට අවුරුදු 55 සිට වෛකල්පික විශ්‍රාම ගැනීමේ හැකියාව පවතින බැවින් වයස අවුරුදු 55 සිට 60 දක්වා කාල සීමාව තුළ දී ස්වකීය කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට හැකි වයස වේ.

Avatar

Title:අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කළ නොමග යවන සුළු සටහනක්!!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading