දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

“මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා” පී. බී. අල්විස්‌ පෙරේරා සූරීන්ගේ "මගේ රට" කවි පන්තියේ සඳහන් වන මෙම පද පෙළ සාහිත්‍ය රසය තීව්‍ර කිරීම සඳහා ලියැවී ඇති වුව ද, මෙහි නිවැරදි කිරීම කළ යුතු වන්නේ මේ ඔස්සේ සමාජයේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති හෙයින්.

මෙම පද පෙළ පාදක කර ගනිමින් ශ්‍රී පාද අඩවියේ එක ම දර්ශන පෙළක කඩා හැලෙන දිය ඇලි සමූහයක් හේතුවෙන් එය මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංඟා ආරම්භ වන දියඇලි බවට පළ වූ සටහන් කිහිපයක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“මහවැස්සත් එක්ක මහවැලි, කැළණි, කළු, වලවේ එකවිට ශ්‍රීපාද අඩවියෙන් දිස් වෙලා” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන බහුලව ෆේස්බුක් පරිශිලකයින් අතර හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි සත්‍ය වශයෙන්ම ශ්‍රී පාද ස්ථානයට එවැනි දියවැලි සමූහයක් දැක ගන්නට ලැබෙනවා ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා. සමනල අඩවියේදී සත්‍ය වශයෙන්ම මෙලෙස දියඇලි සමූහයක් එක දර්ශන තලයක දැක ගන්නට ලැබෙනවා. ඒ මෙලෙසින්.

Archived Link

මෙම දියඇලි සමූහය ඔබට දැක ගන්නට පුළුවන් මාර්ගය කුමක් ද?

හැටන් - නල්ලතන්නි මාර්ගයේ අවාරේ සිරිපා කරුණා කිරීමට යන ඔබට අවාරයේ ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් සිරිපා කරුණා කරන සමයේ දකින්න නොලැබෙන බොහෝ දිය ඇලි අවාරයට සශ්‍රීක වීමෙන් සමනල අඩවියේ දිය ඇලි මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා. දියඇලි නොවන කුඩා දිය දහරා වුව ද, මෙම කාලය තුළදී, අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආකාරයට ගලා බසිනවා.

මෙම දිය ඇලි වාර්ෂිකව එක් කාල සීමාවක දී පමණක් සශ්‍රීක වෙන දිය ඇලි වන බැවින් සීසනල් (Seasonal) දිය ඇලි විදියට හඳුන්වන අතර වසර පුරාම දක්නට ලැබෙන දිය ඇලි සැබෑ දිය ඇලි වලට ඇතුලත් වනවා. සාම විහාරයට ඉහලින් ඇද හැලෙන යකා ඇඬූ ඇල්ල හඳුන්වන්නේ සීසනල් නොවන සැබෑම දිය ඇල්ලක් විදියටයි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්. Archived Link (පහත වීයෝවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූපයේ දැක්වෙන අවස්ථාව 4.31 දී දැක ගැනීමට පුළුවන්)

https://youtu.be/s8tkMSCkzfo?t=249

දියඇලි මිතුරු සංසදයේ සභාපති

දියඇලි මිතුරු සංසදයේ සභාපති සුමුදු මහේෂ් සංජය මහතාගෙන් ඉහත ඡායාරූපය පිළිබඳ අප විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ ද, එම ඡායාරූපයේ දැක්වෙන්නේ, සිරිපාද අඩවියේ බල්ලා බැඳි ගලින් පහළට වැටෙන අවාරයේ ඇද හැලෙන සීසනල් දිය ඇලි සශ්‍රීක වූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවත් මෙහි හඳුනා ගත හැකි සහ නමක් සහිත දිය ඇල්ල වන්නේ, යකා ඇඬූ ඇල්ල පමණක් බවත් අනෙක් අවාරයේ පමණක් සශ්‍රීක වූ දිය ඇලි වලට නම් නොමැති බවයි. කිසිම අයුරකින් එම ඡායාරූපයේ දැක්වෙන්නේ මහවැලි, කළු, කැලණි, වලවේ ගංඟාවල දිය ඇලි නොවන බවත්, එම දිය ඇලි සිරිපාද කන්දෙන් පටන් ගන්නවා යැයි පැවසීම ද අසත්‍ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මහවැලි ගඟේ ආරම්භය

කිලෝ මීටර් 335 ක් දිගැති ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟ ආරම්භ වනුයේ හැටන් නගරයෙන් ඇරැඹෙන හැටන් ගඟ හා ජල මූලාශ්‍ර පහකින් ඇරැඹි ගලන කොත්මලා ඔය ප්‍රධාන ජල දහරා දෙක, නාවලපිටිය පසුකර කොත්මලේ මායිමේ පිහිටි පොල්වතුරේදී එකතු වීමෙනි.

හැටන් නගරයට ජලය සපයන සිංඟිමලේ ජලාශයේ දියඋල්පත් හා උතුරා යන ජලයෙන් හැටන් ගඟ කුඩා දියපාරක් ලෙස ආරම්භ වෙයි. එය ආරම්භයේ දී අඩි දෙකක් පමණ පළල කුඩා ජල පහරකි. හැටන් සිට නාවලපිටිය දක්වා හැටන් ගඟ ගලද්දී එකතුවන ගංගා - ඔයවල් ප්‍රමාණය තිහකට ආසන්නයි. ගිනිගත්හේන‍ට නුදුරු දීගල පසුකරන විට හැටන් ගඟ හා කැලණි ගඟට මුල්වන මස්කෙළි ඔය මීටර් එකසිය පනහක් පමණ කිට්ටුවෙන් වෙන වෙනම ගලා යයි. හැටන් ගඟ කොත්මලා ඔයට එකතු වී කොත්මලේ පොල්වතුරේදී මහවැලි ගඟ නිර්මාණය වෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link වීඩියෝවක් මෙතනින්.

කැලණි ගඟේ ආරම්භය

සිව් වන ස්ථානය හිමි වන්නේ කිලෝ මීටර් 145 ක දුරක් හිමි කැලණි ගඟයි. කැලණි නදිය උපත ලබන ස්ථානය පොල්පිටිය ප්‍රදේශය ද නැතහොත් හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත කඳු බෑවුම අසලින් ද යන වග තීරණය කළ නොහැකි වනුයේ පොල්පිටියේ දී කෙ​සෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය එකට එකතු එකතුවීම කැලණි නදිය ලෙස ගඟ පහළට ගලා යන හෙයිනි. නමුත් කෙසෙල් ගමු ඔය උපත ලබන්නේ හෝර්ටන්තැන්නෙනි. මස්කෙළිය ඔය උපත ලබන්නේ ගවරවිල කඳු වැටිය සහ සමනල කන්දේ දිය දහරාවන් තුළිනි. ප්‍රධාන ලෙස ගංගාවක් නිර්මාණය වන්නේ විවිධ ඔය සහ දිය පහරවල්වල එකතු වෙනි. මස්කෙළිඔය සහ කෙසෙල්ගමු ඔය ප්‍රධානම පෝෂක දෙකක් වන්නේ පොල්පිටියේදී මෙම ගංගා දෙකම එකට එකතුවී ඉන් පහළට කැලණි ගඟ ලෙස තනි දියවරක් ලෙස එය ගලා යාමයි. එකිනෙකට වෙනස් ස්ථාන දෙකකින් මෙම ගංගා යුගලය ආරම්භ වන බැවින් ප්‍රධාන සම්බන්ධිතය ඇති පොල්පිටියේ සිට දුරින්ම පිහිටි ස්ථානයකින් හට ගන්නා ගංගාව එම ගඟේ ප්‍රථම ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකිය. එම නිසා කැලණි ගඟේ මූලරම්භය වන්නේ හෝර්ටන්තැන්න වේ. මේ පිළිබඳ ලංකාදීප ගවේෂණාත්මක පුවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

කළු ගඟේ ආරම්භය

කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර මෙහි ආරම්භය පිළිබඳව විවිධ මති මතාන්තර පවතී. මෙය රත්නපුර රක්වාන ප්‍රදේශයේ බුළු තොට හෙල් යන කඳු පද්ධති ආශ්‍රිතව ආරම්භ වන බවට, ඇතැම් වාර්තා වල දැක්වෙන අතර, කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වන බව ත්, තවත් පිරිසක් පවසනවා. ලංකා දීප පුවත් පතේ ගවේෂණාත්මක වාර්තාවකින් පෙන්වා දෙන්නේ, කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා බවයි. එම වාර්තාව මෙතනින්. මෙතනින්. Archived Link

වලවේ ගඟේ ආරම්භය

සුප‍්‍රකට දූවිලි ඇල්ල බඹරකන්ද ඇල්ල, දියමිනි හා පියංගිරි වැනි දිය ඇලි නිර්මාණය කරමින් කිලෝමීටර් 138ක් දුර ගෙවා ගොස් අම්බලන්තොටින් මුහුදට වැටෙන ලංකාවේ සත්වැනි දිගම ගඟ වනුයේ වලවේ ගඟයි. හෝර්ටන් තැන්න නම් ජල පෝෂක මුලාශ‍්‍රය මහවැලි, කැලණිසේම වලවේ ගඟටත් ආරම්භක දියවර සපයන තෝතැන්නයි. එසේම බගවන්තලාව ඔය, අග‍්‍රා ඔය, කිරිකැටි ඔය හා බෙලිහුල් ඔය වැනි ගංඟාවලත් මූලාශ‍්‍රය හෝර්ටන් තැන්නයි. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහවැස්සත් එක්ක මහවැලි, කැළණි, කළු, වලවේ එකවිට ශ්‍රීපාද අඩවියෙන් දිස් වෙලා” යනුවෙන් සඳහන් කරමින් පළ වූ ඡායාරූපය නොමග යවන සුළු බවයි. එහි දැක්වෙන්නේ, සිරිපාද අඩවියේ බල්ලා බැඳි ගලින් පහළට වැටෙන අවාරයේ ඇද හැලෙන සීසනල් දිය ඇලි සශ්‍රීක වූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවත් මෙහි හඳුනා ගත හැකි සහ නමක් සහිත දිය ඇල්ල වන්නේ, යකා ඇඬූ ඇල්ල පමණක් බව ත් අනෙක් සිය ඇලි අවාරයේ පමණක් සශ්‍රීක වූ දිය ඇලි පමණක් බවට දියඇලි මිතුරු සංසදයේ සභාපති තහවුරු කළා.

Avatar

Title: මහවැස්සත් එක්ක මහවැලි, කැළණි, කළු, වලවේ එකවිට ශ්‍රී පාද අඩවියෙන් දිස් වූ අයුරු ?

Fact Check By: Pavithra Sandamali

Result: False