දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

1955 වසරේ සිට නේපාලයේ සිදුවූ ගුවන් අනතුරු 104 කින් 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, පසුගිය ඉරිදා (ජනවාරි 15) වනදා සිදුවූ ආකාරයේ මාරාන්තික ගුවන් අනතුරක්, එරට සිදුවුයේ දශක තුනකට පමණ පසුවයි. එම අවාසනාවන්ත ගුවන් යානයේ ගමන් ගත් සියල්ලකගේම මළසිරුරු පාගේ මේ වන විට සොයාගෙන තිබෙන අතර, මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ අවසන් මගියා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. 

මේ අතර එම අනතුරින් දිවි ගලවා ගත් එක් මගියෙකු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

නේපාලයේ ගුවන් අනතුරෙන් කිසිදු අනතුරක් නොමැතිව දිවි ගලවා ගත් අයෙක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

Facebook

එමෙන්ම මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ නේපාල ගුවන් අනතුරින් දිවිගලවා ගත් පුද්ගලයෙකුගේ වීඩියෝවක් බවට ඇතැම් පිරිස් විශ්වාස කර ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අනතුරින් දිවිගලවා ගත් පුද්ගලයා බවට දක්වමින් පළ වූ ඉහත වීඩියෝව Invid-We Verify තාක්ෂණය ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා අප යොමු කරනු ලැබුවා.

එහිදී අපට, ගුවන් යානය කඩා වැටෙන පරිශ්‍රයේ මසුන් අල්ලමින් සිටි වාසනාවන්ත ලෙස දිවි ගලවා ගැනීමට සමත් වූ පුද්ගලයෙකු පිළිබඳ YouTube ඔස්සේ පළවූ පහත වීඩියෝව හමුවුණා.

https://youtu.be/AntIPYdBM60

ඒ පිලිබඳ නේපාල බසින් පළවූ තවත් මාධ්‍ය වාර්තාවක් මෙතනින්. එම පුද්ගලයා සමඟ යෙදෙන සම්පුර්ණ සංවාදයේ වීඩියෝවක් මෙතනින්

මේ පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම සඳහා අප නේපාල කරුණු විමර්ෂණ ආයතනයෙන් (Nepal Fact Check) විමසීමක් කළා. ඔවුන් තහවුරු කළේ ද, මෙම පුද්ගලයා ගුවන් අනතුරු සිදුවූ ප්‍රදේශයේ සිට දිවි ගලවා ගත් නමුත්, අනතුරට පත් ගුවන් යානයේ සිටි මගියෙකු නොව, සෙටි ගඟේ (Seti River Gorge) මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයෙකු බවයි.

මසුන් ඇල්ලීමේ නිරතව සිටි අවස්ථාවේදී ගුවන් යානයේ සුන්බුන් කඩා වැටී අතර අනතුරට ලක්වූ ස්ථානයෙන් විසිවූ ගලක් වැදීමෙන්, ඉහත වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා වන කුමාර අලේ ගේ (Kumar Ale) කකුලේ වැදී තුවාල ලබා තිබෙනවා. කෙසේවෙතත් එම අවස්ථාවේ ගලක් තමා වෙතට සෘජුවම වැටුණි නම් තමාගේ ජීවිතය පවා අහිමි විය හැකිව තිබු බව වෘත්තිමය රියදුරෙකු වන කුමාර් පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

ඒ අනුව පැවසිය හැක්කේ ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ, අනතුරට පත් වූ ගුවන් යානයේ සිටි දිවිගලවා ගත් ගුවන් මගියෙකු නොවන බවයි.

නේපාල ගුවන් අනතුර

ජනවාරි 15 වනදා නේපාලයේ කත්මණ්ඩු සිට නේපාලයේ පොඛාරාහි (Pokhara) පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මගීන් රැගෙන යමින් සිටි Yeti ගුවන් සමාගමට අයත් ATR-72 500 දරන ගුවන් යානය, ගොඩ බෑමට සූදානම්ව සිටියදී ගුවන් අනතුරකට පත් වුණා.

ට්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සාමාන්‍යාධිකාරී ප්‍රේම්නාත් තාකූර් පැවසූවේ එම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු යානයේ සිටි බවයි. මුළු මගීන් 68 දෙනාගෙන් 6 දෙනෙක් බාලවයස්කරුවන් වන අතර පිරිමින් 37 ක් සහ කාන්තාවන් 25 දෙනෙක් එම අවාසනාවන්ත ගුවන් ගමනට එක් වී තිබුණා. ඒ බවට පළ වූ නේපාල මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

කෙසේ වෙතත් මොවුන් අතරින් කිසිදු හෝ පුද්ගලයෙක් දිවි ගලවා ගනු ලැබු බවට ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් වාර්තා කර තිබුනේ නැහැ.

නේපාල හමුදාව පවසන්නේ, මේ වන විට මළ සිරුරු 71 ක් සොයාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයාගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් තවදුරටත් දියත් කර ඇති බවයි. ඒ පිළිබඳව පළ වූ පුවතක් මෙතනින් සහ මෙතනින්

එමෙන්ම නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය ද, නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනවාරි 18 වන විට මළ සිරුරු 71ක් සොයාගෙන ඇති අතර එක් අයෙකු සෙවීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවයි. එම නිවේදනය මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය ඉරිදා (ජනාවාරි 15) නේපාලයේ සිදුවූ ගුවන් අනතුරේ ඛේදවාචකයෙන් කිසිදු හෝ පුද්ගලයෙකු දිවි ගලවා ගෙන නොමැති අතර එහි සිටි ගුවන් මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු සියලු දෙනාගෙන් එක් අයෙකුගේ හැර මළසිරුරු මේ වන විට සොයා ගෙන තිබෙනවා.

වීඩියෝවේ දැක්වෙන්නේ අනතුර සිදුවූ පරිශ්‍රයේ පිහිටි සෙටි ගඟෙ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කුමාර අලේ නමැති පුද්ගලයෙක්. ගුවන් යානය කඩා වැටීමෙන් විසිවූ ගලක් වැදී කකුලට තුවාල වී තිබුණත් වාසනාවන්ත ලෙස දිවි ගලවා ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා.

Avatar

Title:නේපාලයේ ගුවන් අනතුරින් දිවිගලවා ගත් එකම මගියා ද? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading