දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

“නාමයෝජනා සියල්ල අවලංගුයි… අපේක්‍ෂකයන්ට ඇප මුදල් ආපසු ගෙවයි” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් 2023.02.17 දිනැතිව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්, සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ ය/ සහකාර තේරීම් බාර නිලධාරීන් වෙත ලිපියක් යවා ඇති බවට දක්වමින් තවත් සටහනක් ද, මෙලෙසින් දක්වා තිබුණා. Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශිලකයින් විසින් බහුලව සංසරණය කරගෙන තිබූණේ මේ අයුරින්.

මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා සියල්ල අවලංගු වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කරයි යනුවෙන් ඇතැම් වෙබ් වාර්තා ද, ලිපි පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link  | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳ අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙවැනි පුවතක් හෝ ඉහත සඳහන් පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ ලිපියක් පිලිබඳ පුවතක් හෝ වාර්තා වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අපට දැක ගන්නට නොලැබුණි.

මෙම සටහන් සඳහා හේතුවී තිබූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය පෙබරවාරි 17 වන දා නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණේ, මාර්තු නවවන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිත වූවත්, අදාළ දිනවල සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී තම කොමිෂන් සභාව වෙත ලබා දී නොමැති බවයි.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම අදාළ දිනවල නොකරන බවත්, නැවත සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහි සඳහන්කර තිබුණා. එම නිවේදනය මෙතනින්.

නාමයෝජනා සියල්ල අවලංගු බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (සැළසුම් හා පර්යේෂණ) චන්න ද සිල්වා මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (සැළසුම් හා පර්යේෂණ)

ඒ මහතා සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, මේ ආකාරයට නාමයෝජනා අවලංගු නොවන බවත්, මැතිවරණය කල් දැමූවත් නැවත මැතිවරණය පැවැත්වෙන දින දක්වා වලංගු බවත්, එබැවින් අපේක්ෂකයන්ට ඇප මුදල් ලබා දීමක් සිදුව නොමැති බවයි.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර දිරිපත් කළ පෙත්සම අධිකරණ විසින් සලකා බැලීමෙන් අනතුරුව ලබා දෙන තීන්දුව අනුව, මැතිවරණය පැවැත්වෙන දිනය තෙක්ම මෙම නාමයෝජනා වලංගු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එසේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්, නාමයෝජනා ලබාගෙන තිබිය දීත් මැතිවරණය කල්දැමීමට සිදුවුවත්, කලින් ලබාගත් නාමයෝජනා යටතේම මැතිවරණය පැවැත්වූ බවත්, ඡන්දය පවත්වන දිනය කල් ගියත්, ජන්දය විමසීම සිදුවන තෙක් නාම යෝජනා වලංගු බව සඳහන් කරමින්, මැතිවරණ කොමිෂන් සභාව උපුටා දක්වමින් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. Archived

මැතිවරණ සීමා නිර්ණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා

එසේම හිටපු මැතිවරණ කොමසාරිස්, වර්තමාන සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සාකච්ඡාවක් අතරතුර සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද බොහෝ දෙනා අවධානය යොමුකර තිබුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ පළාත් පාලන මැතිවරණ දිනය මාස කිහිපයකින් කල්ගියහොත් නාමයෝජනා භාර දී ඇති රජයේ සේවකයන්ගේ නාමයෝජනා සම්බන්ධයෙන් හෝ වැටුප් / අර්ධ වැටුප් ලබාදීමේ අවකාශය යනාදිය පිළිබඳව යම්කිසි තීරණයක් ගැනීමේ ඉඩකඩක් ඇති බවයි. 

එසේම සීමා නිර්ණ කොමිසම මඟින්, එම පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව තුන්දහසකින් පමණ අඩු කිරීමට පියවර ගැනීමට නිර්දේශ කර ඇති බවත් එම කරුණු ඇතුළත් වාර්තාව අවසන් අදියරේ පැවතින අතර මාර්තු මස අගභාගය වන විට භාර දීමට හැකි බවත් මහින්ද දේශප්‍රිය පවසනවා.

යම්කිසි හෙයකින්, එම නිර්දේශ සම්මත වී, සභික සංඛ්‍යාව අඩු කළහොත්, පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවන්නේ, එම නව තත්ත්වයන් යටතේ බැවින් නාම යෝජනා එවැනි තත්ත්වයක දී අවලංගු විය හැකි බවත් ඒ මහතා පවසනවා.

එහෙත් මේ ආකාරයට නව නිර්දේශ සම්මත වීමට මාස කිහිපයක්ම ගතවනු ඇති බවත්, ඊට පෙර, දැනට කැඳවා ඇති නාම යෝජනා යටතේම පළාත් පාලන ඡන්දය පවත්වනු ඇති බව තමා විශ්වාස කරන බවත්, මැතිවරණ සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබුණේ මෙලෙසින්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ ආඥා පනත (262 වන අධිකාරය) මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා ලබා දී තිබෙන නාමයෝජනා සියල්ල අවලංගු බවට ත්, අදාළ අපේක්ෂකයන්ගේ ඇප මුදල් ආපසු ගෙවූ බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැළසුම් හා පර්යේෂණ) චන්න ද සිල්වා මහතා සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, නාමයෝජනා අවලංගු වී නොමැති බවත්, මැතිවරණය කල් දැමූවත් නැවත මැතිවරණය පැවැත්වෙන දින දක්වා නාමයෝජනා වලංගු බැවින්, අපේක්ෂකයන්ට ඇප මුදල් ලබා දීමක් ද සිදුව නොමැති බවයි.

Avatar

Title:පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කරා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False