දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බ්‍රැන්ඩික්ස් සහ හයිඩ්‍රාමනි යනු ශ්‍රී ලංකාවේ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතන දෙකකි. ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන ආයතන අතර ඉදිරියෙන්ම කියවන නම් අතර තිබෙන මෙම ආයතනය දෙක, ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරට හැරයාමේ සුදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට පළ වූ සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ විමර්ශනය කිරීමට Factcrescendo අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

Brandix ආයතනය රට හැර යෑමට නියමිත බවට හඟවමින් සටහන් පෙළක් අප්‍රේල් මස මුල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

එම තේමාවෙන් පළ වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ දෙනෙකු මෙම කරුණ සතයක් බවට අනුමාන කර තිබු බවයි.

එසේම Brandix ආයතනය පිළිබඳව නැවත වරක් මැයි මස අග අභාගයේ දී හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුණේ මේ වන විට ලංකාවේ පිහිටා ඇති ඔවුන්ට අයත් කර්මාන්තශාලා 5 ක් වසා දමා ඇති බවත්, ඒවා බංගලාදේශයේ ආයෝජනය කර ඇති බවයි. එසේ වසා දමා ඇති කර්මාන්තශාලා පිහිටා ඇති ප්‍රදේශ ලෙස කටුනායක , අවිස්සාවේල්ල , පස්සර, හබරාදුව සහ රක්වාන නම් කර තිබුණා. එම කරුණු වාර්තා කර තිබු වෙබ් අඩවි අඩවියකට පිවිසිය හැකියි මෙතනින්  Archived

එම වාර්තා හේතුවෙන් නිර්මාණය වී තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පහතින්.

එසේම තවත් සමහර සටහන් මඟින් පෙන්වා දීමට උත්සහ කර තිබුනේ බ්‍රැන්ඩික්ස් මෙන්ම හයිඩ්‍රාමනි ආයතනයද ලංකාව හැර යාමට සුදානම් බවකි.

Facebook | Archived

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

වසර 50කටත් වැඩි ඉතිහාසයක් තිබෙන ලංකාවේ මුලස්ථානය පිහිටි, ජාත්‍යන්තර වශයෙන් ද ව්‍යාප්තව පවතින, සේවකයින් දහස් ගණනකට රැකියා සපයමින්, තිරසාර සංවර්ධන කටයුතු සඳහා ද විශාල නැඹුරුවක් දක්වන, සැලකිය යුතු විදේශ විනිමය උපයන, බ්‍රැන්ඩික්ස් සහ හයිඩ්‍රාමනි වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ බලවතුන් මේ ආකාරයට මෙරටින් පිටත් වීමට සැරසීම විශ්වාස කිරීමටත් අපහසු කරුණක්.

නමුත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ හෝ මෙහෙයුම් කටයුතු හෝ මෙරටින් පිටවී සිදුකිරීමේ සූදානමක්, මෙම ආයතනවල පවතින බවට කිසිඳු පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක

මේ පිළිබඳව සිදුකළ විමසීමේ දී බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක අපට සඳහන් කළේ, ඇතැම් අසත්‍ය ෆේස්බුක් සටහන් වල පෙන්වා දෙන පරිදි බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

එමෙන්ම ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ(ඇඟළුම් සදහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම) ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකතු කරමින්(Merge) ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, ඇතැම් අවස්ථාවල දී කර්මාන්ත ශාලා වසා දැමීමට හේතු වූ බවත්, එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවෙන් ඉවත් වන බවට, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩික්ස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙනවා. ඒ ආකාරයට හුවමාරු වූ නොමඟ යවන සුළු සටහනක් මෙතනින් | Archived

තවද කර්මාන්ශාලා 5ක් වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ 2023 වසරේ මේ වනතෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් බවයි. එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් බවත් පැවසුවා. වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මන් වුයේ ගෝලීයව නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම 30% ක් පමණ අඩුවීම බවත් ඔහු පැවසුවා.

එසේම කටුනායක ,හබරාදුව ,අවිස්සාවේල්ල කර්මාන්ශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් රක්වාන ප්‍රදේශයේ තම කර්මාන්තශාලාවක් නොමැති බවත් ඔහු තවදුරටත් පවසා සිටියා. Brandix කර්මාන්තශාලා පිහිටා ඇති ස්ථාන මෙතනින්

එසේම ඉහත හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් අසත්‍ය බවත් තමන් තවමත් සේවයේ නියුතු බවටත් වසා තිබු බවට සඳහන් කර තිබු බවට සඳහන් කර තිබු Brandix කර්මාන්තශාලාවල සිටින ඇතැම් පිරිස් ද ප්‍රතිචාර දක්වා තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

එසේම බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා සථාපිත කර නැති බවත් පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මගින් 2013 වසරේ ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා එකක් පමණක් බවයි. එමෙන්ම අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීම සදහා බංගලාදේශයේ ආයෝජන හෝ සිදුකර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියා.

ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වැනි රටවල සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබුවත් , බ්‍රෑන්ඩික්ස් සමාගම ලංකාවේ රැඳී සිටිමින්, තව දුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් සමාගමේ පසුගිය කාලයේ මෙහෙයුම් පිලිබඳ වාර්තා

එසේම Owler වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2021 දෙසැම්බරයේ ඩොලර් මිලියන 782ක් වූ බ්‍රැන්ඩික්ස් සමාගමේ ආදායම 2022 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 820 දක්වා සියයට 4.9 කින් වැඩි වී තිබු බවයි. කෙසේනමුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයට ද ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය බලපා තිබෙන අතර පසුගිය වසරේ සේවක ප්‍රසාද දීමනා ලබාදීම අඩුවීම වැනි හේතු ඔස්සේ ඇතැම් ප්‍රශ්නගත තත්ත්වයන් ද ඇති වී තිබුණා.

ගෝලීය ආර්ථික අර්බුදය සහ කොවිඩ් තත්වය හමුවේ ඇතිවූ ඇතැම් ප්‍රමාදයන් හේතුවෙන්, ලංකා ඇඟළුම් කර්මාන්තයට ලැබුණු ඇණවුම් පසුගිය වසරේ යම්කිසි මට්ටමකට අඩු වී තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්. කෙසේනමුත් කුඩා පරිමාණයේ ඇඟළුම් කර්මානතශාලාවලට වඩා හොඳින් මෙම තත්ත්වයට මුහුණ දීමට, බ්‍රැන්ඩික්ස් සමාගමට හැකියාවක් පවතිනවා.

හයිඩ්‍රාමනි ආයතනය

පසුගියදා මීපේ ප්‍රදේශයේ කර්මාන්ශාලාවක් වසා දැමීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කල ආයතනයේ කළමනාකාරිත්වය අවධාරණය කරන්නේ ගෝලීය වශයෙන් නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම මේ වන විට යම් තාක් දුරකට අඩුව පැවතීම එම කර්මාන්තශාලාව වසා දැමීමට බලපෑ ප්‍රධාන සාධකය බවයි. නමුත් ගෝලීයව පවතින මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් වනු ඇති බවත් ඔවුන් පවසනවා.

තවද කර්මාන්තශාලාවේ සේවකයින්ට දිවයිනේ වෙනත් ප්‍රදේශවල පිහිටි සිය ආයතනයටම අයත් වෙනත් කර්මාන්ශාලාවල සේවය සදහා එක්වීමට, ඔවුන් කැමතිනම් ඉඩකඩ ලබාදී ඇති බවත් පවසන හයිඩ්රමනි ආයතනය, සිය නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිසේත්ම පියවර ගන්නේ නැති බවයි. ඉදිරියටත් ආයෝජන සහ ව්‍යවසාය පුළුල් කිරීම මගින් ලංකාවේ ඇගලුම් කාර්යාලයේ උන්නතියට දායකවීමට අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සදහන්.

ඒ අනුව පැහැදිලි වන්නේ හයිඩ්‍රාමනි ආයතනය ලංකාව හැරයාමට සුදානම් වන බවට පළවන සමාජ ජාලා සටහන්ද අසත්‍ය බවයි.

එසේම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ ගෝලීය වශයෙන් ඇඟලුම් ඇණවුම්වල 18-20% පමණ අඩුවක් පසුගිය කාලයේ දී ඇතිවීම හේතුවෙන් එම තත්වයට පිළියමක් ලෙස යම් යම් ක්‍රියාමාර්ග එම කර්මාන්තශාලා විසින් ගෙන තිබුණ ද කිසි ලෙසකත් සම්පුර්ණයෙන්ම මෙහෙයුම් නවතා කර්මාන්තශාලා නවතා ලංකාවෙන් ඉවත්වීමේ අවදානමක් නොමැති බවයි. එම අදහස් දැක්වීම පහතින්.

Also Read: වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Brandix සහ Hydramani යන ලංකාවේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් ආයතන දෙකක්, ලංකාවේ මෙහෙයුම් හැරදමා යෑමට නියමිත බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සටහන් අසත්‍ය බවයි.

ලංකාවේ ඇතැම් ශාඛාවන්හි මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම වැනි කරණා උදෙසා පසුගිය කාලයේ දී ඇතැම් ශාඛා එකතු කිරීමේ කටයුතු(Merge) සිදුවීම සහ ඇතැම් ශාඛා වසාදැමීම හේතුවෙන් මෙවැනි නොමඟයවන සුළු අසත්‍ය පුවත් නිර්මාණය වී ඇති බවත්, ලංකාවේ මෙහෙයුම් හැර යාමේ කිසිදු අදහසක් නොමැති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය තහවුරු කර සිටිනවා.එමෙන්ම බංගලාදේශයේ මේ වන විට ඇත්තේ තම ආයතනයට අයත් එක කර්මාන්ශාලාවක්(2013 වසරේ ස්ථාපිත කල) පමණක් බවත් එහි අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීමේ කිසිදු සුදානමක් නොමැති බවත් ඔවුන් අවධාරණය කරනවා.

හයිඩ්‍රාමනි ආයතනයද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු නව ආයෝජන හරහා ඉදිරියේදී පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩුකිරීමට අපේක්ෂා නොකරන බවයි. එමෙන්ම ගෝලීයව නිමි ඇදුම්වලට ඇති ඉල්ලුම අඩුවීම වැනි ඇඟළුම් කර්මාන්තයට එල්ලවී ඇති බාධක, කාලයක් සමග පහව යනු ඇති බවත් ඔවුන් අපේක්ෂා කරනවා.

Also Read: KFC, Domino’s Pizza, Pizza Hut, McDonald’s, Coca-Cola, Pepsi සමාගම් මෙරටින් ඉවත් වීමේ සූදානමක්?

Avatar

Title:Brandix,හයිඩ්‍රාමනි ආයතන ලංකාව හැරයාමේ තීරණයක ?

Written By: Pavithra Sandamali

Result: False