දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් ෆේස්බුක් පිටු වලට රීච් ලබා ගැනීම සඳහා දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද, සොයා බැලීමකින් තොරව, අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පතුරුවනවා. බොහෝවිට මේ ආකාරයෙන් හුවමාරු වන සංවේදී තොරතුරු සත්‍ය බවට විශ්වාස කරමින්, තව තවත් පාර්ශව සමඟ එම තොරතුරු හුවමාරු කර ගැනීම හේතුවෙන්, බොහෝ දෙනෙකු මෙම සටහන් මඟින් නොමඟ යනවා. එවැනි නොමග යන සටහනක් සම්බන්ධයෙන් Fact crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මාතර වැලිගම පදිංචි වෙලා හිටපු දිලුෂිකා ලියෝනි කියන්නේ අවුරුදු පහ හමාරක දරුවෙක්. පාසලේ කරපු නරක වැඩ හින්දා පුංචි දිලුෂිකාට දඩුවමක් ලැබුනා. වෙනදට දඩුවම් දීලා තියෙන්නේ අම්මා. අම්මා එයාව අල්මාරියේ දාලා වහලා තියලලු. ඒත් මේ පාර ඊට වඩා පාඩමක් උගන්නන්න ඕනේ කියලා වොශින් මැෂින් එකට දාලා තියෙන්නේ තාත්තා.

දාලා විතරක් නෙවේ ස්විච් එකත් ඔන් කරලා. මේ පුංචි ඇතුලෙන් කෑ ගහ ගහ ඇඩුවත් තාත්තා නෙවේ ඒ පැත්ත බලලවත් තිබුනේ.

පැයක් තිස්සේ මැෂීන් එක වැඩ කරද්දී අම්මා එයාගේ අවුරුදු නමයක් වයස දුවත් එක්ක jigsaw puzzle සෙල්ලම කර කර ඉදලා තියෙනවා.

පැයකට පස්සේ පුංචි දිලුෂිකාව එලියට ගත්තත් නිල් වෙලා හිටපු එයාගේ?ආපහු ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

ඒක දැකලා තාත්තා අම්මට කියලා තියෙන්නේ "ඇතියන්තම් අපිට මෙයාගෙන් ඉස්සරහට කරදරයක් නෑ කියලා"

අසල්වාසින්ටයි පොලීසියටයි මේ ගොල්ලෝ කියලා තිබුනේ දරුවා දෙවෙනි තට්ටුවේ ඉදන් පහලට වැටිලා පස්සේ නානා ඉද්දී වතුරේ ගිලිලා කියලා.

ඒත් දිලුෂිකාගෙ සහෝදරිය තාත්තා කරපු වැඩේ ගැන කට උත්තර දුන්නට පස්සේ අනිත් සාක්ෂිත් එක්ක අත් අඩංගුවට පත් උනා.... “යනුවෙන් සඳහන් කරමින් එම දරුවාගේ බවට ඡායාරූප රැගත් සමාජ මාධ්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link FB | Archived

එම ඡායාරූප සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙය සත්‍ය සිදුවීමක් ලෙසට සිතා බොහෝ දෙනෙකු සිය අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් ලෙස සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට මාතර, වැලිගම ප්‍රදේශයේ එවැනි සිදුවීමක් වූ බවට මාධ්‍ය වාර්තා දැක ගන්න ට නොලැබුණි.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ ලෙස රෙදි සෝදන යන්ත්‍රයකට තම දියණියව දැමූ පියෙකු ගැන සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වූවාද යන්න පිළිබඳ අප වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද විමසීමක් සිදු කළා.

පොලිස් ස්ථානාධිපතිවරයා පවසුවේ, එවැනි පැමිණිල්ලක් නොලැබුණු බවත්, ඒ පිළිබඳ විමසා බොහෝ දුරකථන ඇමතුම් ලැබුණු බවයි. ඒ අනුව රෙදි සෝදන යන්ත්‍රයකට දියණියක දැමූ සිදුවීමක් හෝ තට්ටු නිවාසයකින් වැටුණු දරුවෙකු ස්නානය කිරීමේදී ගිලී මැරුණු බවට හෝ සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා නොවූ බව ස්ථානාධිපතිවරයා තහවුරු කර සිටියා.

2022 වසරේ කටාර් රාජ්‍යයේ කුඩා දරුවෙකුගේ අවාසනාවන්ත මරණයක් හා සම්බන්ධ ඡායාරුප පෙළක්!

අප ඉහත සටහනේ දැක්වෙන දියණියගේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය වසරේ, එනම් 2022 සැප්තැම්බර් මස විදෙස් රටක වූ සිදුවීමක් බවයි. කටාර් රාජ්‍යයේ අල් වක්‍රා නම් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබමින් සිටි කුඩා දැරියක්, තම පාසලේම බස් රියක් තුළ මිය ගොස් තිබූ සිදුවීමකට අදාළ දැරියකගේ රූප රාමු පෙළකුයි මෙහි දැක්වෙන්නේ.

newsable.asianetnews

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ පරිදි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුණේ දිලුෂිකා ලියෝනි නමැති ලංකාවේ දැරියක් නොව 'මින්සා' නමැති ඉන්දියාවේ කේරළයේ දෙමාපියන්ට දාව උපන් කටාර් රාජ්‍යයේ විසූ සිව්හැවිරිදි දැරියෙකි.

‘මින්සා’ පසුගිය (2022) සැප්තැම්බර් 11 වන දා සිය උපන් දින දා පාසල බලා ගොස් තිබූ පාසල් බස් රථයේ දී ඇයට නින්ද ගොස් තිබූ අතර බස් රථයේ කාර්ය මණ්ඩලයේ නොසැලකිළිමත්කම හේතුවෙන් දැරිය බස් රථය තුළ දමා අගුළු දමා ගොස් තිබූ බැවින් ද, පැය හතරකට වැඩි කාලයක් නවතා තිබූ වාහනය තුළ කුඩා දැරිය සිරවී සිට ඇති අතර වාතාශ්‍රයක් නොමැති කමින් එළිමහනේ නවතා තිබූ බස් රථය හේතුවෙන් ඇය දැඩි රස්නයට නිරාවරණය වීම මෙලෙස මිය යාමට හේතු වී තිබුණු බවත්, එදින අල් වක්‍රා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් පමණ වූ බව ත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

පාසල නිම වී පැමිණි පාසල් සේවා මණ්ඩලය සිහිසුන්ව සිටි දරුවා පසුව දැක ඇති අතර එම අවස්ථාවේ මින්සා දැරිය රෝහල්ගත කළද ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

කටාර් අධ්‍යාපන අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති අතර සිද්ධියට වගකිවයුත්තන්ට අවශ්‍ය පියවර මෙන්ම උපරිම දඬුවම් ලබා දෙන බවටද සහතික වී තිබුණි. පාසල් කාර්ය මණ්ඩලය නියමිත ක්‍රියා පටිපාටිය පිළිපැදීමට අපොහොසත් වී ඇති බව අමාත්‍යාංශය කළ විමර්ශනයේදී අනාවරණය විය. “ස්ප්‍රිං ෆීල්ඩ්” බාලාංශ පාසල වසා දමන ලෙසට නියෝග කිරීමට අමතරව, පාසල් බස් රථ සේවකයන් පැහැර හැරීමට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මින්සාගේ පියා අභිලාෂ් චාකෝගේ සහ මව සෞම්‍යා වේ. සෞම්‍යා කටාර් ලෝක කුසලාන කමිටුවේ ජ්‍යෙෂ්ඨ ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දක්වා තිබූ ජාත්‍යන්තර මාධ්‍ය ධාරා පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

Updated :

ඉහත සටහනේ සඳහන් කර ඇති ලෙස සත්‍ය සිදුවීමක් වී තිබේ ද යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ, රෙදි සෝදන යන්ත්‍රයකට දමා එය ක්‍රියාත්මක කර ඔහුගේ තුන් හැවිරිදි පුතු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රංශයේදී පියෙකුට චෝදනා එල්ල වී තිබුණු සිදුවීමක් වාර්තා වන බවයි.

independent.co.uk

පැයක කාලයක් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වීමට සලස්වා තිබියදී මෙලෙස තුන් හැවිරිදි බැස්ටියන් නමැති දරුවා එම යන්ත්‍රයට දමා ඇති බව ත්, ඉන් අනතුරුව එම දරුවා කෑ ගසමින් තම දෙමාපියන්ගෙන් තමාව එළියට ගන්නා ලෙස ඉල්ලා සිටි විට, ඔහුගේ පියා සන්සුන්ව අන්තර්ජාලයේ සැරිසැරූ බව ත්, ඔහුගේ මව මීටර කිහිපයක් දුරින් ඔහුගේ පස් හැවිරිදි සහෝදරිය සමඟ ජිග්සෝ ප්‍රහේලිකාවක්( jigsaw puzzle) කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එම පියා රෙදි සෝදන යන්ත්‍රයෙන් බැස්ටියන්ගේ අප්‍රාණික සිරුර ඉවත් කරමින්, බැස්ටියන්ගේ මවට පවසා ඇත්තේ “අඩුම තරමින් ඔහු තවදුරටත් අපට කරදර කරන්නේ නැහැ” යනුවෙනි.

Champenois නමැති එම පියා හට දරුණු මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, Charlene Cotte නමැති මව ට 2011 නොවැම්බර් 25 වන දින ඔවුන්ගේ පුතාගේ මරණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණා.

දරුවා පඩිපෙළෙන් වැටී අහම්බෙන් දියේ ගිලී මිය ගිය බව පවසමින් ඔහු සවස් වරුවේ හදිසි සේවා අමතා ඇති බවට ද මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්.

නමුත් අසල්වැසියෙකු එම නිවසට පැමිණි විට, බැස්ටියන්ගේ ෙ වැඩිමහල් සොහොයුරිය 'මාරි' පවසා තිබුණේ, "තාත්තා බැස්ටියන් පාසලේ දඟකාර නිසා රෙදි සෝදන යන්ත්‍රයට දැමූවා"යන්නයි.

ඇය තම දෙමාපියන් පවසන්නේ අසත්‍යයක් බවට බොරු හෙළිදරව් කරමින් හදිසි සේවා වෙත ද එම ප්‍රකාශය නැවත සිදු කර තිබේ.

ඒ අනුව පෙනී යන්නේ 2011 වර්ෂයේ ප්‍රංශයේ සිදු වූ මෙම සත්‍ය සිදුවීම මෙරට වූ මාතර, වැලිගම වූ සිදුවීමක් බවට දක්වමින් වෙනත් සිදුවීමකට අදාළ දරුවෙකුගේ ඡායාරූප භාවිත කරමින් නොමග යන සුළු සටහන් නිර්මාණය කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වූ පරිදි මාතර, වැලිගම ප්‍රදේශයේ රෙදි සෝදන යන්ත්‍රයකට තම දියණියව දැමූ පියෙකු සම්බන්ධ සිදුවීම අසත්‍ය පුවතක් බවයි. එවැනි සිදුවීමක් වැලිගම ප්‍රදේශයෙන් නොවූ බව වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා ද තහවුරු කළා. අසත්‍ය සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ 2022 වසරේ කටාර්හි පාසල් බස් රථයක් තුළ අවාසනාවන්ත ලෙස මිය ගිය සිව් හැවිරිදි ඉන්දියානු සම්භවයක් තිබූ දියණිකගේ ඡායාරූප පෙළකි.

Avatar

Title:වැලිගම ප්‍රදේශයේ පියෙකු, තම දියණිය රෙදි සෝදන යන්ත්‍රයකට දමා මරුමුවට පත් කළ පුවතේ ඇත්ත, නැත්ත!

Fact Check By: Pavithra Sandamali

Result: False