දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

‘ලාෆ්ස් ගෑස්’ හිඟයක් මේ වනවිට වෙළඳපොළේ පවතින බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් මේ දිනවල සංසරණය වනවා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

මෙරට ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා.

“ලාෆ් එකේ වැඩ කරන එවුන්ට වෙන ජොබ් එකක් හොයාගන්න කාලෙ හරි. ඔන්න නැව් ටිකත් විකුණලාලු දෙයියන්ගෙම පිහිටයි ඉතින්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

සත්‍ය වශයෙන් වෙළඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් පවතිනවා ද යන්න පිළිබඳ අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් ඇති බවට වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට එවැනි පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

ඉන් පසුව අප දිවයින ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රික්ක වලින් අහඹු ලෙසින් තෝරා ගත් ‘ලාෆ්ස්’ගෑස් බෙදාහැරීම් නියෝජිතයින් කිහිපදෙනෙකු ගෙන් ද විමසීමක් සිදු කළ අතර ඔවුන් පවසා සිටියේ ‘ලාෆ්ස්’ ගෑස් හි හිඟයක් නොමැති බවත්, ලිට්‍රෝ ගෑස් වලට සාපේක්ෂකව ‘ලාෆ්ස්’ ගෑස් ඇතැම් අවස්ථාවල අතිරික්තයක් ද, පවතින බවයි. ඊට හේතුව වන්නේ ‘ලාෆ්ස්’ ගෑස් ලිට්‍රෝ ගෑස් මිලට වඩා මුදලින් වැඩි අගයක් ගැනීම නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

‘ලාෆ්ස්’ ගෑස් මෙරට තුළ හිඟයක් ඇති බවට පැතිරෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ලාෆ්ස්’ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසන්නේ, වෙළෙඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් නොමැති බවයි.

එමෙන් ම නෞකාවල එන ගෑස් හම්බන්තොට පර්යන්තයේ මෙන් ම ප්‍රමාණවත් තොග මාබිම ද, මේ වනවිට රැස් කර ඇති බවත්, මෙම ස්ථාන දෙකේම මසකට සරිලන අයුරින් රටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ගෑස් ඇති බැවින් ගෑස් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බව ඒ මහතා පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මෙතනින්.

ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත ‘ලාෆ්ස්’ මිල සංශෝධනය සිදු කිරීමට සාකච්ඡා සිදු කරන බව ද, ඒ මහතා සඳහන් කළා.

මේ වන විට 12.5kg ‘ලාෆ්ස්’ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,990/-ක් වන අතර 5kg ‘ලාෆ්ස්’ ගෑස් සිලින්ඩරයක මිල රු.1,596/- කි. නමුත් ලිට්රෝ ගෑස් මිල මීට වඩා අඩු අගයක පවතින අතර ඉදිරියේදී තවදුරටත් මිල අඩුවිය හැකි බව ලිට්‍රෝ සමාගම පවසා තිබු බව වාර්තා වී තිබිණි. ඒ අනුව ජූලි 04 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කෙරෙනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මාසික මිල සූත්‍රයට අනුව එලෙස ගෑස් මිල සංශෝධනය කරන බවයි. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000කට වඩා අඩු මුදලකට අද මධ්‍යම රාත්‍රියේ සිට අලෙවි කිරීමට හැකි වනු ඇති බව ඔහු කියා සිටියා. එම ගෑස් සිලින්ඩරයක් මේවනවිට අලෙවි වන්නේ රුපියල් 3,186ක මිලකටයි. කිලෝ ග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 1,281 ක් ලෙසයි. කිලෝ ග්‍රෑම් 2 යි දශම 3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 598ක් වනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගෑස් මිල ගණන් අඩුවනු ඇති.

එසේම ‘ලාෆ්ස්’ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දිවයින පුරා සිටින පාරිභෝගිකයින්හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහැරීම් කටයුතු සිදු කරන බවයි. පසුගිය සති කීපය පුරාම ප්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදු කරමින් දිවයින පුරා විසිරී සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදීගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටින බවත් පවසා සිටිනවා. එමෙන් ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය එල් පී ගෑස් තොග ද සමාගම සතුව ප්‍රමාණවත්ව ඇති අතර වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කෙරෙන බවත් සඳහන් කර සිටියා.

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 කි.

එම මිල පහත දැමීමට සමගාමීව කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476 ක් බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෙළඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. ‘ලාෆ්ස්’ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසන්නේ, වෙළෙඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් නොමැති බව ත, මසකට සරිලන අයුරින් රටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ගෑස් ඇති බැවින් ගෑස් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බවයි. එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් බෙදාහැරීම් නියෝජිතයින් කිහිපදෙනෙකු ද පවසා සිටියේ එවැනි ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් නොමැති බවත්, ‘ලිට්රෝ’ ගෑස් මිල සාපේක්ෂව අඩු බැවින් පාරිභෝගියක්යින් වැඩි පිරිසක් ඒ කරා යොමු වී ඇති බවයි.

Avatar

Title:මෙරට වෙළඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් තිබෙනවාද?

Written By: Pavithra Sandamali

Result: Misleading