.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ පැවැත් වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති විය හැකි වාද විවාද, සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාව අතර ඇත්තේ දැඩි උනන්දුවක්. මේ දිනවල දේශපාලනය තුළ උණුසුම් මාතෘකාවක් වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙනි.

විපක්ෂ නායක විසින් මෙම විවාදයේ දින නියම කළ බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් 2024 අප්‍රේල් 22 දින යෙමු කළ ලිපියකින් විවාදයක් ඉල්ලා ඇති බව ත් ඒ සඳහා යෝජනා කර ඇති දින 04 තුළ ප්‍රේමදාස මහතා විසින් යොදාගත් ගෝලීය ව්‍යාපාරික උපායමාර්ගය සැලසුම්කරණය හමුවීම් කිහිපයක් යොදා ගෙන ඇති බැවින් එම විවාදයට සහභාගී වීමට නොහැකි බව ත්, මෙම යෝජිත විවාදය ජූනි මස 31 වන දින පැවැත්වීමට තමන් සූදානම් බව ත්, සඳහන් කරමින් අනුරකුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කළ බව ට දක්වමින් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

ජූනි මාසයට ඇත්තේ දින 30ක් පමණක් වන බැවින් එම විවාදය ජූනි 31 වන දිනට පැවැත්වීම ට සූදානම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බව ට මෙහිදී හැඟවීමට උත්සහ දරා තිබුණා.

Facebook | Archived Link

අප මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමගි ජන බලවේගය විසින් සජබ සහ මාලිමාවේ නායකයින් අතර පවත්වන විවාදයට දින නියම කර ගත් බවට හෝ විපක්ෂ නායක විසින් ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමු කළ බව ට හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළ ත් එවැනි ලිපියක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් දැක ගැනීමට නොහැකි වුණි.

එමෙන් ම අප සමගි ජන බලවේගයේ ෆේස්බුක් නිල පිටුව මගින් හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් නිල පිටුව මගින් හෝ ඉහත සඳහන් ලෙස ලිපියක් ජාතික ජන බලවේගයට යොමු කළ බව ට දැක ගන්නට නොලැබුණි.

සමාජ මාධ්‍ය ලිපිය ව්‍යාජ ලිපියක් - සජබ

මේ හේතුවෙන් අප මේ පිළිබඳව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ, ඉහත ලිපිය ව්‍යාජ ලිපියක් බව ත්, සජබ විසින් මෙතෙක් විවාදය සඳහා දින නියම කරමින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමු කර නොමැති බවයි. නමුත් විවාදය සඳහා විපක්ෂ නායකවරයා සූදානම් බව ත්, ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

විවාදයට දින නියම කරමින් සජබෙන් ලිපියක් ලැබුණේ නෑ - මාලිමාව

අප මේ පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, විමසීමක් කළ අතර මෙතෙක් සමගි ජන බලවේගයේ විවාදයට දින නියම කරමින් ලිපියක් නොලැබුණු බවයි.

මාලිමාව විවාදයකට සූදානම්

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයන් ආරාධනා කර තිබූ බැවින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබුණා. Archived Link

රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළැඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් දෙදෙන අතර පැවැත්වීමට අවධාරණය කරමින් විවාදය සිදු කිරීමට ත්, 2024 මැයි මාසයේ 07,09,13,14 යන දිනයන් වලින් එකක් යොදා ගැනීමට සූදානම් බව දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ට ලිපියක් යොමු කර තිබුණා. එම ලිපිය මෙතනින්. Archived Link

විවාද දෙකම මැයි මාසයේ පවත්වනවා - විපක්ෂ නායක

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන්, සහෝදරවරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බව ත්, ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම මැයි මාසයේ සිදු කිරීමට සුදානම් බව ත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පවසා තිබුණේ, අද(23) පැවැති හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්. එම වීඩියෝව මෙතනින්. (එම ප්‍රකාශය ඇතුළත් කොටස 1.17-1.19)

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා විපක්ෂ නායකවරයා විසින් එළැඹෙන ජූනි මස 31 වන දා මාලිමාවට දින ලබා දෙමින් ලිපියක් යොමු කළ බව ට ත්, ජූනි මස දින 30ක් පමණක් තිබියදී එය පිළිබඳව ද, සැළකිල්ලක් නොදක්වා දින ලබා දුන් බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ ව්‍යාජ ලිපියකි. සජබේ මාධ්‍ය අංශය තහවුරු කළේ එම ලිපිය ව්‍යාජ බවට ත්, මෙතෙක් විවාදය සඳහා දින නියම කරමින් ජාතික ජන බලවේගයට ලිපියක් නිකුත් නොකළ බවයි. ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, තහවුරු කළේ මෙතෙක් දින නියම කරමින් සමගි ජන බලවේගයෙන් ලිපියක් නොලැබුණු බවයි.

Avatar

Title:සජිත්-අනුර විවාදයට දින ලබා දුන් බව ට පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්!

Written By: Pavithra Sandamali

Result: False