අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා. 

නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව අප විසින් ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදුකිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): 

ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ අධික වර්ෂාවත් සමඟ සිදු වූ මඩගලනයක් ලෙස හුවමාරු වන වීඩියෝවක විස්තරයේ වැඩි දුරටත් දැක්වුණේ “දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ ? පාර පුරා මඩ ගලන්න පටන් ගනී | ගම්පොළ අම්බුළුවාව ප්‍රදේශයේ මඩ ගලනයක් | පරිස්සමෙන් නාය යාමේ අවධානමක් විය හැකියි” යනුවෙනි.

ඒ අනුව මේ දිනවල දක්නට ලැබෙන අධික වර්ශාපනතයත් සමඟ සිදුවීමක් බව හඟවමින්  සමාජ මාධ්‍ය තුළ එම වීඩියෝව හුවමාරු වුයේ මෙලෙසින්.

මෙම වීඩියෝවම තවත් කිහිප දෙනෙකු විසින්ම මෙවර වර්ෂාපතනය හේතුවෙන් ඇති වූවක් බවට දක්වමින් හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරින්, මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරිනි.

යූ ටියුබ් නාලිකා ඔස්සේ ද මෙම වීඩියෝව පළ කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි. TikTok ඔස්සේ ද මේ ගැන හුවමාරු වූ වීඩියෝවක් පහතින්.

@kalumconstruction#kalumconstruction♬ original sound – kalum

එසේම මෙය නාය යෑමක මූලික අවස්ථාවක් වන බවත්, මෙවැනි අවස්ථාවකදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් දක්වමින්, මෙය 2012 සිදු වූ සිදුවීමක් බවටත් සඳහන් කරමින් ද විඩියෝ පළ කර තිබුණා. විශාල පිරිසක් නරඹා තිබු මෙන්ම ෆේස් බුක් ඔස්සේ බහුලව හුවමාරු කරගෙන තිබුණා.

මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයට මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ මෙවැනි මඩ ගැලීමක් ගම්පොළ හෙම්මාතගම පාරේ ඇති වුණා ද? අප මෙම වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් සිදු කළේ මේ අයුරිනි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප මුලින් ම ගම්පොළ හෙම්මාතගම ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙවැනි මඩ ගැලීමක් හෝ නාය යෑමක් සිදු වී තිබේ ද යන්න සොයා බැලීමක් සිදු කළා. 

නමුත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ 2024 වසරේදී ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ නාය යෑමක් සිදු වූ බවට වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ. එබැවින් අප විසින් මෙම වීඩියෝවේ පසුබිම පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

මීට වසර තුනකට පෙර සිදුවීමක්!

ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ මෙම වීඩියෝව 2021 වර්ෂයේ පළ කරන ලද වීඩියෝවක් වන බවයි. 2021 වසරේ පළ කරන ලද වීඩියෝවක දක්වා තිබුණේ, කොළඹ – නුවර මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් නාය ගිය පසු විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරනු ලබන මාවනැල්ල, හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගයේ ගම්පොළ 1 කණුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරක් බවයි. 

එම වීඩියෝව පහතින්,

ඒ අනුව මෙම වීඩියෝව මෙවර වර්ෂාපතනය හේතුවෙන් හෝ 2012 වසරේ ඇති වූ තත්වයක් නොවන බව පැහැදිලි වනවා.

ඒ අනුව 2021 වසරේ අගෝස්තු 12 වන දින අම්බුළුවාව ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් හෙම්මාතගම ගම්පොළ මාර්ගය, පස් කඳු නාය යෑම නිසා සම්පූර්ණයෙන් ම අවහිර වූ බවට දිනමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. එහි වැඩි දුරටත් සඳහන් වුණේ, අම්බුළුවාව කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැසි ජලය එක් රැස් වී පහළ බැසීම හේතුවෙන් මාර්ගය දෙපස පස් කඳු, එකේ කණුව ප්‍රදේශයෙන් නාය ගොස් ඇති බවයි. එම පුවත මෙතනින්. Archived

අම්බුළුවාව, ගම්පොළ – හෙම්මාතගම මාර්ගයේ සිදු වූ පස් කඳු වැටීම පිළිබඳව 2021 වසරේ අගෝස්තු 15 පළ කර තිබූ තවත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

ගම්පොළ ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්

ගම්පොළ – හෙම්මාතගම මාර්ගයේ මෙවැනි මඩ ගැලීමක් සිදු වී නාය යාම් තත්වයක් මේ දිනවල ඇති වී තිබේද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ගම්පොළ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද විමසීමක් සිදු කළා.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ මේ දිනවල ඇදහැලෙන වර්ෂාවෙන් එම මාර්ගයේ කිසිඳු නාය යෑම් තත්වයක් ඇති වී නොමැති බවයි. නමුත් ගස් කඩා වැටීම් වාර්තා වන බව ඔවුන් පවසනවා.

තව ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන මඩ ගැලීමක් සම්බන්ධ වීඩියෝව මෙවර සිදු වූවක් නොවන බවත් එය පැරණි වීඩියෝවක් බවත් ඔවුන් අප වෙත පැවසුවා. 

මීට පෙර 2016 වසරේ අම්බුළුවාව කුණු කන්ද නාය යෑමෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවක මුහුණ දීම කතා බහට ලක් වූ බවත්, ඊට අමතරව වරින් වර ගම්පොළ – හෙම්මාතගම මාර්ගයේ පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බවත් ඔවුන් අප වෙත පැවසුවා. නමුත් මෙවර එවැනි තත්වයක් වාර්තා නොවූ බවයි ඔවුන් පවසනේ.

ඒ අනුව ගම්පොළ – හෙම්මාතගම මාර්ගයේ සිදු වූ මඩ ගැලීමක් බවට සංසරණය වන වීඩියෝව මෙම වසරේ හෝ මේ දිනවල ඇදහැලෙන වර්ෂාපතනය නිසා ඇති වූවක් නොවන බව තව දුරටත් පැහැදිලි වනවා.

ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ මීට පෙර සිදු වූ නායයෑම්

2018 වසරේදී ගම්පොළ හෙම්මාතගම මාරගයේ තුනේ කණුව ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව වාර්තා වී තිබුණේ මේ අයුරිනි. මෙම මාර්ගය සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින මාර්ගයක් බවත් එහි පස් කඳු කඩා වැටීමක් සිදුව ඇති බවයි එම පුවතේ වාර්තා කර ඇත්තේ. 2016 වසරේද එම මාර්ගයේ පස් කඳු කඩා වැටීමක් වාර්තා වී තිබුණේ මේ අයුරිනි.

2016 වසරේ අම්බුළුවාව කුණු කන්ද කඩා වැටීම වාර්තා කර තිබුණේ මෙලෙසිනි. 

2022 වසරේද ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ තුනේ කණුව අසල නාය ගොස් ඇති බවට වාර්තා කර තිබුණේ මේ අයුරිනි. එහි වැඩි දුරටත් දැක්වුණේ, වසර කිහිපයකට පෙර මෙම මාර්ගය ඉදිකිරීමේදී  නාය යන ස්ථානවලට නිසි ලෙස බැමි ඉදි නොකිරීම, ගස් කපා දැමීම, අවිධිමත් සංවර්ධනය මේ තත්වයට බලපා ඇති බවයි.

ජාතික ගොඩනැඟිලි පර්‍යේෂණ ආයතනය

මේ දිනවල මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස ජාතික ගොඩනැඟිලි පර්‍යේෂණ ආයතනය විසින්  නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වර්ෂාව තවදුරටත් පවතී නම් බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් අනතුරුවලින් වැළකීම සඳහා යුහුසුළුව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසය.

මහනුවර දිස්ත්‍රික්කය – හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, උඩුනුවර, පාතදුම්බර, දෙල්තොට

මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, පල්ලේපොළ, නාඋල, මාතලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ යන ප්‍රදේශීය ලේකම් කොට්ටාශ සඳහා මෙම නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

මේ දිනවල ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ගම්පොළ-හෙම්මාතගම මාර්ගයේ මඩ ගැලීමක් සිදු වූ බවට පළවන වීඩියෝව, මෑතක දර්ශන පෙළක් නොව, මීට වසර තුනකට පෙර, එනම් 2021 වසරේදී පළ කරනු ලැබූ පැරණි වීඩියෝවකි.

 

 

 

Avatar

Title:අම්බුළුවාව, හෙම්මාතගම පාරේ සිදුවන මඩගලනයක් ලෙස දැක්වෙන්නේ පැරණි වීඩියෝවක්!

Fact Check By: Piumika Laskhani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *