දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලනික අරමුණු මුල් කරගනිමින් මැති ඇමතිවරු ඉලක්ක කරගත් ව්‍යාජ තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීම සිදුවන්නක්. මේ දිනවල පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් මොහොතක මෙවැනි නොමඟ යවන සුළු සටහන් සංසරණය වීම වැඩි වී ඇති ආකාරය ද දැකගත හැකි ය.ඒ අනුව අගමැති හරිනි අමරසූරිය සම්බන්ධයෙන් සංසරණය වී තිබූ, බොහෝදෙනාගේ අවධානය දිනාගත් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක කරුණු පරීක්ශා කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“හරිනි අගමැති ධූරයෙන් ඉවතට ??” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
Fb | Fb | Fb |Fb | Fb | Fb | Fb |Fb |Fb |Fb
මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ආකාරයෙන් අගමැතිණි හරිනි අමරසූරිය අගමැති ධූරයෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් හෝ ඉවත්කිරීමක් සිදුකර තිබේද යන්න පිළිබඳව අප කරුණු විමර්ශණයක් සිදුකරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අගමැති හරිනි අමරසූරිය පළාත් පාලන ඡන්ද විමසීමක් අභියස සිය ධූරයෙන් ඉවත්වීමට තීරණයක් ගෙන තිබේනම් එය මෙරට ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වනු ඇත. එනමුත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ධූරයෙන් ඉවත්වීමක් හෝ ඉවත්කිරීමක් සම්බන්ධයෙන් හරිනි අමරසූරිය මහත්මිය නිල නිවේදනයක් නිකුත් කර තිබේ ද යන්න සම්බන්ධයෙන් ද අප වැඩිදුරටත් පරීක්ෂා කර බැලූ නමුත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවියේ හෝ එවැනි නිවේදනයක් දැකගත නොහැකි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක
එබැවින් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මාධ්‍ය ලේකම් විජිතා බස්නායකගෙන් අප විමසීමක් කළ අතර එම මහත්මිය සඳහන් කළේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සම්පූර්ණයෙන් ම ව්‍යාජ පුවත් දේශපාලනික අරමුණු වෙනුවෙන් පළකරන බවයි එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.
අගමැති තුමිය සිය ධූරයෙන් ඉවත්වනවානම් එය නිල වශයෙන් දැනුම්දීමක් කළ යුතු දෙයක් බවත්, එබැවින් එවැන්නක් සිදුව නොමැති බවත් අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විජිතා බස්නායක අපවෙත පැවසුවා.
ජනාධිපති මාධ්‍ය අංශය
අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉවත් වන්නේ නම් ඒ බව ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා නිල වශයෙන් සිදුවිය යුත්තක් බැවින් අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. ඒ අනුව එම අංශය සඳහන් කළේ ද මෙම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එවැනි තීරණයක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම්දීමක් හෝ එවැනි ඉවත්කිරීමක් සම්බන්ධයෙන් තීරණයක් හෝ ගෙන නොමැති බවයි.
අගමැති හරිනි අමරසූරියගේ ඉවත් වීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධයෙන් මෙලෙස එකවර සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම කෙරෙහි ඇතැම්විට අගමැතිණිය විසින් පළාත් පාලන ඡන්දය අභියස සිදුකළ ප්‍රකාශ හෝ ඇය සම්බන්ධයෙන් පළවන ඇතැම් නොමඟ යවන සුළු අසත්‍ය සටහන් හේතු වූවා විය හැකි ය.
පසුගිය මැයි 3 වන දින මොරටුවේදී පැවති ජාතික ජනබලවේග අවසාන ජන හමුවක් අමතමින්අගමැතිනි හරිනි අමරසූරිය සිදුකළ ප්‍රකාශයක් මේ වන විට බොහෝදෙනා අතර කතාබහට ලක්වෙමින් තිබෙනවා.
ඒ අනුව අවසාන ජනහමුව අමතමින් අගමැතිණිය පවසන්නේ, දේශපාලන පක්ෂවලට ප්‍රචාරක කටයුතු සිදුකිරීම නැවැත්වීමේ නිහඬ කාලය ආරම්භ වුවත් ජනතාව නිහඬ වීම අවශ්‍ය නොවන බවත් දුරකතන මාර්ගයෙන් හෝ පාර තොටේදී හමු වූ විට ප්‍රවර්ධන කටයුතු සිදුකළ හැකිය වැනි අදහසකි.
කෙසේ නමුත් මෙය හිරු රූපවාහිනී නාලිකාවේ අගමැතිණියගේ පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පැවති අවසාන ජනහමුවේදී සිදුකළ කතාවේ විකාශය වූ කොටසකින් උපුටා ගත්තකි.
මෙම වීඩියෝව පළ කිරීමේදී තබා තිබූ සටහන මෙසේ ය.
“මැතිවරණ නීති කඩන්න අනුබල දෙන අගමැතිනිය”
ඒ අනුව අගමැතිණිය විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකළ ද සාමාන්‍ය ජනතාවට එලෙස අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්වූ කාල සීමාවේ සිදුකළ හැකි ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පැවැත්වූ අවසාන ජන හමුව පසුගිය මැයි 3 වන දින මොරටුව තෙලවලදී පැවැත්වුණා.
එහිදී අගමැතිණිය සිදුකළ කතාවේ කොටසක් හිරු නාලිකාව පමණක් පළකර තිබූ නමුත් සම්පූර්ණ කතාව කිසිඳු මාධ්‍යයක් ඔස්සේ පළ කිරීමක් සිදුව තිබුණේ නෑ.
හිරු නාලිකාව ඔස්සේ ද එදින කතාවේ පළකර තිබුණේ සුළු කොටසකි. එම කොටසේ අවසානයේ මෙම ප්‍රකාශය අගමැතිණිය සිදුකරනු ලබයි.
අගමැතිණිය විසින් මෙලෙස නිහඬ කාලසීමාවෙදිත් සාමාන්‍ය ජනතාවට මැතිවරණ ප්‍රවර්ධන කටයුතුවල නිරතවන ලෙසට සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අප පළමුව 2025 මාර්තු මස 3 වන දින පළකළ 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(8) වැනි වගන්තිය අනුව නිකුත් කරන ආචාර ධර්ම පද්ධතිය පරීක්ෂා කර බැලුවා.
මෙය මැතිවරණ සඳහා තරඟ කරන අපේක්ෂකයින්, දේශපාලනපක්ෂ, කණ්ඩායම් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියකි.
එහි (ඇ) කොටසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු යන කොටසේ මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්වීමට අදාළව පවතින්නේ, එක් වගන්තියක් පමණි. එය මෙසේ ය.
“මැතිවරණ දින ඡන්ද විමසීම ඇරඹීමට නියමිත වේලාවට පැය 48 කට පෙරාතුව අදාළ මැතිවරණ නීතිය අනුව මැතිවරණ ප්රචාරණ කටයුතු නතර කිරීමට පියවර ගැනීම සහ එම නිහඬ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකත්වය ප්රවර්ධනය කිරීම සඳහා සංගීත සංදර්ශන වැනි දෑ පැවැත්වීම සහ මුද්රිත / විද්යුත් ජනමාධ්‍ය හරහා දැන්වීම් ප්රකාශයට පත්කිරීම යනාදී කාර්යයන් අත්හිටු වීම.”
ඒ අනුව එම වගන්තිය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතු නිහඬ කාලසීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත නොවේ.
එනමුත් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු නැවැත්වීමේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනයේ එම කාලසීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය දැක්වුණේ මෙලෙසින්.
එම නිවේදනයේ ආරම්භයේ ම සඳහන් වන්නේ, මැයි 3 වන දින මධ්‍යම රාත්‍රි 12න් පසු පළාත් පාලන ඡන්ද විමසීමේ තරඟ කරන පක්ෂ කන්ඩායම් හා අපේක්ෂකයන්ගේ ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ද මෙම නිහඬ කාලයේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පවසන්නේ, මැයි 3 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසු දේශපාලන පක්ෂ ප්‍රවර්ධන කටයුත්තක්, අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් හෝ අගතියට පත්වන ආකාරයේ කිසිඳු කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන් ම තහනම් බවයි.
මැතිවරණ කොමසාරිස් සමන් ශ්රී රත්නායක
මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතු නිහඬ කාලසීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් හැරුණු විට සාමාන්‍ය ජනතාවටත් වලංගු ද යන්න සම්බන්ධයෙන් අප මැතිවරණ කොමසාරිස් සමන් ශ්රී රත්නායක මහතාගෙන් විමසීමක් කළා.
ඔහු පැවසුවේ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු දෙනාට ම මැතිවරණ නීති පොදු බවත්, නිහඬ කාල සීමාවේ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකිරීම කිසිවෙක් සිදු නොකළ යුතු බවයි.
අගමැතිණිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අප විමසීමක් සිදුකළ අතර ඔහු පැවසුවේ අගමැතිණියට ද මෙම කරුණු පොදු බවත්, අගමැතිණිය එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇත්නම් එහිදී වරදක් සිදුව ඇති බවයි.
මේ අතර මුජිබර් රහුමාන් මහතා ද අද (5) මැතිවරණ කොමිසම වෙත පැමිණ අගමැතිණිය මෙලෙස මැතිවරණ ප්රචාරණ කටයුතු සිදු නොකළ යුතු කාලසීමාවේදිත් තම පාක්ෂිකයින්ට, හිතවතුන්ට මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදුකරන ලෙස උපදෙස් දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වාහම සලකා බල අගමැතිණියට එරෙහිව පියවර ගන්නා ලෙස එම මහතා ඉල්ලා සිටිනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවතට යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. අගමැතිණිය ඉවත්වීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැත.
එමෙන් ම “ශිෂ්‍ය සංගම් ඉල්ලීම් කළ නිසයි රුහුණේ උපකුලපති ඉවත් කළේ – ඔහු නවක වදයට එරෙහි ක්‍රියාමාර්ග ගත්බව දැන සිටියේ නෑ.” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහන් පළ වුව ද එතුමිය එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිඳු මූලාශ්‍රයක් හෝ වාර්තා කිරීමක් නොමැත.

Title:අගමැති හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් !
Fact Check By: Piumika LakshaniResult: Misleading
