නිර්ණායක 2ක් යටතේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දුන්නා ද? 

Education Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ අඩු ළමයින් සංඛ්‍යාවක් සහිත පාසල් වැසීම සම්බන්ධය සමාජ මාධ්‍යවේදිකා තුළ සටහන් පළවෙමින් තිබේ. මේ ඓලෙස පළ වූ සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි යන ශීර්ෂයෙන් අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූපයක් ද සහිතව මෙම සමාජ මාධ්‍ය සටහන  පළ කර තිබේ. 

“01 එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම.

02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට වඩා උසස් මට්ටමේ වෙනත් පාසලක් පිහිටා තිබීම.

පාසැලක් වැසීමට ඉහත නිර්ණායකයන්ට යටත් අවසර හිමිවන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කිලෝමීටර් තුනෙන් තුන අංග සම්පූර්ණ පාසැල් නිර්මාණය කිරීමට ආපු ආණ්ඩුව දැන් පාසැල් දහස් ගාණක් වැසීමට අවශ්‍ය චක්‍ර ලේඛන නිකුත් කරලා.

මේ චක්‍ර ලේඛන නිකුත් කරද්දී හරිනි කියු ground situation එක සලකා බලා නෑ.

ඒ කියන්නේ පාසැල වසා දැමීමෙන් දරුවාට වෙන හානිය සහ වෙනත් පාසැලකට දරුවා යැවීමට අවශ්‍ය ආර්ථික හැකියාව දෙමව්පියන්ට තිබෙනවාද කියලා බලලා නෑ.

ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කරන ඒවා.

මේවා අධ්‍යාපන ක්‍රමය ගැන,පාසැල් පදාධතිය ගැන සමස්ථ අවබෝධයකින් කරන ප්‍රතිසංස්කරණ නෙවෙයි.

මේවා ගැන කිසිම රිසර්ච් එකක් කරලා නෑ.

කවුරු හරි NGO කාරයෙක් හරිනියේ ඔළුවට දාන මනස්ගාත ද මේවා කියන සැකය තීයනවා.

සමස්ත ක්‍රියාවලියක් ගැන අදහසක් නැතිව හිතෙන හිතෙන දේ කිරීමක්ද මේ කරන්නේ.

අන්තිමට උනේ කිලෝමීටර් තුනෙන් තුනට අංග සම්පූර්ණ පාසෑල් හදන්න ආපු ආණ්ඩුව කිලෝමීටර පහෙන් පහට අංග සම්පුර්ණ වැසිකිලි හැදීම දක්වා පහුබැසීමයි.”

මෙහි සඳහන් වන්නේ,  ඉහත නිර්ණායක 2ක යටතේ පාසැලක් වැසීමට අවසර හිමිවන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව පාසැල් දහස් ගාණක් වැසීමට චක්‍ර ලේඛන නිකුත් කර ඇති බවත් මෙම චක්‍ර ලේඛන නිකුත් කිරීමේදී අග්‍රාමාත්‍යවරිය පැවසූ ground situation සලකා බලා නොමැති බවත් එහි සඳහන් ය. 

Facebook | Archived Link

සැලකිය යුතු සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් මෙය හුවමාරු කර ගෙන තිබූ අතර තවත් බෙහෝ පිරිසක් මෙහි ගුණ දොස් පවසමින් අදහහස් පළ කර තිබෙනු ද දැකගත හැකි වූ අතර නිර්ණායක 2ක් යටතේ පාසැල් වසා දැමීමට සූදානම් වන බවට වන වෙබ් වාර්තා කිහිපයක් ද මෙලෙස සහ මෙලෙස දැකගත හැකි විය. 

ඒ අනුව ඉහත සමාජ මාධ්‍යයේ සඳහන් පරිදි පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේද යන්න පිළිබඳව අප මෙලෙස කරුණු විමසා බැලීමක් සිදු කළේ ය.   

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මූලිකවම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි පාසල් වැසීම සම්බන්ධයෙන් මෑතකාලීනව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ දැයි අප පරීක්ෂා කර බැලූ අතර ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතාගේ අත්සනින් නිකුත් කරන ලද  පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනු දැකගත හැකි විය. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහ කමිටුව, පළාත් මට්ටමේ ව්‍යුහ කමිටුව සහ කලාප මට්ටමේ ව්‍යුහ කමිටුව විසින් පාසල් ව්‍යුහ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පසුගිය අප්‍රේල් 21 වැනිදා ක්‍රියාත්මක වන පරිදි මෙම මාර්ගෝපදේශයේ සඳහන් උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බව එහි සඳහන්ව තිබිණ.  

එම මාර්ගෝපදේශයන්හි පාසල් තාවකාලිකව වසා දැමීම යටතේ මෙලෙස සඳහන්ව තිබුණා.   

ඒ අනුව වසා දැමීමට සලකා බලන පාසලේ සිසුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන ඝෘජුවම පාසල් වසා දමන බවට සමාජ මාධ්‍ය සටහන මගින් ඒත්තු ගැන්වීමට උත්සාහකර තිබුණ ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශයන්හි දැක්වෙන්නේ, කිසිදු ශිෂ්‍යයෙකුගේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, වසා දැමීමට යෝජිත පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් ඔවුන්ට පසුවෙන් ප්‍රවේශ විය හැකි සුදුසු පාසලකට ඇතුළත් කළ යුතු ය යනුවෙනි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහන තුළ එය දැකගත නොහැක. 

තව ද පදිංචි ස්ථානයට අසාන්නයේ පිහිටා ඇති සියලු පහසුකම් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කළ හැකි සක්‍රියව ක්‍රියාත්මක වන පාසලක් සෑම සිසුවෙකුට ලබාදීම මෙහි අරමුණ බවත් වසර තුනකට වරක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් මෙම පළාත් පාසල් විාරවත් කිරීම සිදු කළ යුතු අතර එහිදී හඳුනාගනු ලබන සිසුන් ඉතා අවම සහ ඒක ශිෂ්‍ය පිරිවැය ඉතා ඉහළ පාසල් තාවකාලිකව පහත කරුණූ තෘප්ත වන්නේ  නම්, පළාත් ව්‍යුහ කමිටුවට / අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටුවට සලකා බැලිය හැකි බවත් එහි සඳහන් ය.    

මෙහි සඳහන් පරිදි පාසල් විචාරවත් කිරීමේ අරමුණ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන් පරිදි පාසල් දහස් ගණනක් වසා දැමීම නොවේ. තව ද නිර්ණායක දෙකක් යටතේ පමණක් පාසල් වසා දැමීමේ තීරණයට එළැඹිය නොහැකි බව පැහැදිලිව දැකගත හැකියි. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිචාරය 

සමාජ මාධ්‍යයේ සංසරණය වන පරිදි නිර්ණායක 2ක් යටතේ පාසල් වැසීමට තීරණයක් ගෙන තිබේ ද යන්න සම්බන්ධව අප අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් සිදු කළේ ය. එහිදී අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, එහි සත්‍යතාවක් නොමැති බවත් එය  ජනතාව නොමගයවන සුළු වැරදි ප්‍රචාරණයක් බවත් ය. අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරියා සඳහන් කළා ය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව සංශෝධන කිහිපයක් සහිතව ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාව මත අධ්‍යපාන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කර ඇති පාසල් ව්‍යුහ කටයුතු සම්බන්ධ උපදෙස් සංග්‍රහය මීට පෙර වෙබ් අඩවියේ පළ නොකළ ද දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ උපදෙස් සංග්‍රයක් බවයි.  කිසියම් පාසලක්  වැසීමේ අවශ්‍යතාවක් හෝ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එහිදී සලකා බැලිය යුතු නිර්ණායක මෙම උපදෙස් සංග්‍රහයේ අඩංගු නමුත් එහි කිසිදු තැනක ළමයි අඩු පාසල් සියල්ලම වසා දමන ලෙස හෝ පාසලක් වැසීමට පොළඹවන ආකාරයේ කිසිදු නිර්ණායකයක් එහි ඇතුළත්ව නොමැති බව ඇය පැවසුවා ය. 

2023 වසරේ ළමුන් 50ට අඩු 1506 ක් වූ පාසල් සංඛ්‍යාව 2024 වන විට එය 1,577ක් දක්වා වැඩි වී ඇති බවත්, එවැනි පාසල් 194ක් තමන් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බවත් එවන් පාසල් තුළ සිසුන් දැඩි අසාධාරණයකට ලක්වීම පොදු කරණක් ලෙස හඳුනාගත් බවත් අධ්‍යක්ෂවරිය කියා සිටියා ය. කෙසේ වෙතත්  සිසුන් 10 දෙනෙකු සිටිය ද තවදුරටත් පවත්වා ගත යුතු බවට හඳුනාගෙන ඇති පාසල් (උදා. වතු පාසල්) අසාන්නයේ පාසලක් නොමැතිවීම, භාෂා මාධ්‍ය පිළිබඳ ප්‍රශ්න වැනි හේතු මත තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළා ය. 

කෙසේ  වෙතත් මේ වනවිටත් පාසල් 28ක ළමයින් ස්ව කැමැත්තෙන්ම පහසුකම් සහිත පාසල්වලට ඇතුළත් වී ඇති බව සහ  පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට අසන්නතම පාසලට යාම සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සැපයීමට අවශ්‍ය සාකච්ඡා ක්‍රියාත්මක වෙන බවත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළා ය. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනපතිගේ අදහස් දැක්වීම 

පසුගිය ජූලි 24 වැනිදා පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණු සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී ජනාධිපතිවරයා ඇතැම් පාසල් වසා දැමීම පිළිබඳව සංඛ්‍යා දත්ත සහිතව කරණු පැහැදිලි කිරීමක් සිදු කළේ ය. 

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, 2023 වසරේ එකම ළමයෙකු හෝ ඇතුළත් නොවූ පාසල් 98 තිබී ඇති බවයි.

 “2023 වසරේ එක ම ළමයෙක්වත් ඇතුළත් නොවුණ පාසල් 98ක් තිබෙනවා. ඒ වගේ ම ළමයි 10ට වඩා අඩු පාසල් 115ක් තිබෙනවා. ඒ වගේ ම ළමයි 20ට වඩා අඩු පාසල් 406ක් තිබෙනවා. ළමයි 30ට වඩා අඩු පාසල් 752ක් තිබෙනවා. පාසල් 1141ක් තිබෙනවා, ළමයි 40ට වඩා අඩු යි. පාසල් 1506ක් තිබෙනවා ළමුන් 50ට වඩා අඩු යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් මුළු පාසල් පද්ධතියෙන් 15%ක්”

ඒ අනුව පාසල් පද්ධතිය නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා කියා සිටියේ, වසා දැමිය යුතු පාසල් ඇති බවත්, ඇතැම්  පාසල් ඒකාබද්ධ කළ යුතුව ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල අලුතෙන් පාසල් ආරම්භ කළ යුතුව ඇති බවත් ය. අඩු ළමයි සංඛ්‍යවක් සහිත පාසලක ළමුන්ට අලුත් සමාජයක් මුහුනොවීම ඇතුළු අවාසි සහගත තත්ත්වය රැසකට මුහුණදීමට සිදුවන බවත්  කිසිදු දරුවෙකුට එම ඉරණම අත්නොවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube Conclusion (අවසාන නිගමනය) :

නිර්ණායක දෙකක් පමණක් ඉදිරිපත් කරමින් පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන සමාජය නොමග යවන සුළු සටහනකි. පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය හා උපදෙස් සංග්‍රහයේ සඳහන් කරුණු දෙකක් පමණක් යොදා ගනිමින් සමාජය නොමග යන ආකාරයෙන් මෙම සටහන පළ කර ඇති බව පැහැදිලි වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන නොමගයවන සුළු බව පවසයි. 

Avatar

Title:නිර්ණායක 2ක් යටතේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දුන්නා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply