
ලංකාවේ ජනගහනයෙන් 10% ට ආසන්න ප්‍රතිශතයක් ඇති මුසල්මානුවන්, දෙමළ ජනගහණයට පසුව ඇති ප්‍රධාන සුළුතර ජාතිය ලෙස සැලකේ. ඈත අතීතයේ සිට අද දක්වාම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෙළෙඳ ප්‍රජාව නියෝජන කරයි.
2019 ජනාධිපතිවරණයෙදි සුළු ජාතිකයන්ගේ ඡන්ද බහුතරයක් හිමිවූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතාටය. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වීමත් සමගම විවිධ සුළු ජාතික පිරිස් තම ආරක්ෂාව පිළිබඳ මැසිවිලි එබඳු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩකාරි ක්‍රියා මෙවර වාර්තා වී තිබුණේ ඉතාමත් අල්ප වශයෙනි.
පශ්චාත් මැතිවරණ සමයේ, මුසල්මානුවන්ට එල්ලවන ප්‍රහාරයන් පිළිබඳව, සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ ප්‍රවෘත්ති පැතිර යනු දක්නට ලැබුණි. මින් පෙර දිනක විදුලි කාන්දුවක් නිසා මුස්ලිම් වෙළඳසැලක ඇතිවූ ගින්නක්, මුසල්මානුවන්ට එල්ල වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරනු දක්නට ලැබුණි.
හරූන් ඉබ්නු අලි තම්බි නැමැත්තෙකු, “Second gift from New Regime ( Mosque) – Started in 16/11/2019 (Galle thalapitiya mosque attacked) First gift Bandra Koswatha Muslim Own shop burn” යන මැයෙන්, සිය ෆේස්බුක් පිටුව හරහා, වීඩියෝ පටියක් සහිතව, ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර සීඝ්‍රයෙන් හුවමාරු වෙනු දක්නට ලැබුණි. එම සටහනේ තේමාව සිංහලයට පරිවර්තනය කළ විට පැවසෙනුයේ “නව පාලනයෙන් දෙවැනි ත්‍යාගය. ආරම්භය 16/11/2019 ගාල්ල තල්පිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක්. ප්‍රථම ත්‍යාගය බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් වෙළඳ සැලකට ගිනි තැබීම

ට්විටර් ගිණුම් කිහිපයක් හරහාද මෙම පුවත ව්‍යාප්තවී ගොස් ඇති අයුරු අපර දැක ගන්නට ලැබුණි.

අප සිදු කළ සත්‍ය කරුණු විමර්ශනයකින්, බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් වෙළෙඳසැල ගිනිගැනීම, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවූ බැවින්, මෙම සටහන පිළිබඳවද සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම වීඩියෝ පටයේ දමිළ බසින් කතා කරන තැනැත්තා පවසන දෑ සිංහල බසට පරිවර්තනය කළ විට එයින් පැවසුනේ මෙවන් අදහසක් “මුසල්මානුවන්ට මේ දේ සිදුවන්නේ ඔවුන්ගේ ජනාධිපතිවරණයේදී එක පක්ෂයට පමණ සහය දැක්වූ නිසාය. සුළු ජාතියක් ලෙස, සෑම විටකම මෙවැනි ප්‍රහාරයන්ට ගොදුරු විය නොහැකිය. මුසල්මානුවන් මෙවැනි සිදුවීම් වලට විරෝධය පෑ යුතුය. අද දින මුසල්මානුවන්ට, මුස්ලිම් දේවස්ථානයන්ට එල්ලවන ප්‍රහාරයන් ඉදිරි කාලයේදී සෑම තැනකම පැතිරිය හැකිය.”
අපි ප්‍රථමයෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා පරීක්ෂාවට ලක් කළෙමු. ඔවුන්ගේ ට්විටර් ජාලයේ ගාල්ල කල්පිටිය මුස්ලිම් දේවස්ථානයේ සිදුවීම පිළිබඳව පණිවිඩයක් විය.

“නාඳුනන පිරිසකගේ ගල් ප්‍රහාරයට ලක්වූ, ගාල්ල තල්පිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයට සුළු හානියක් සිදුවු බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත. මෙම සිදුවීම සැලසුම් සහගත ක්‍රියාවක් නොවන බව ජුම්මා පල්ලියේ භාරකරු පවසයි.” යනුවෙන් ට්විටර් පණිවිඩය අන්තර්ගතව තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඇත්දැයි අපි ශ්‍රී ලංකා පොලීසියේ වෙබ් අඩවිය පරික්ෂා කළෙමු. මෙම සිදුවීම පිළිබඳව එහි වාර්තාවක් අන්තර්ගත වී නොතිබිණි. සිදුවීම පිළිබඳව AFP පුවත් සේවය කළ සත්‍ය කරුණු විමර්ශනයක වාර්තාවක් දක්නට ලැබුණි.
දේවස්ථානය භාරකරු AFP පුවත් සේවයට පවසා තිබුණේ මෙය සැලසුම් සහගත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සිතීමට ඇති ඉඩකඩ අඩු බවත් මැතිවරණය පැවැත්වූ දින රාත්‍රියේ දී බීමත් පුද්ගලයකු විසින් සිදුකල ක්‍රියාවක් බවට සැක කරන බවත්ය. මුස්ලිම් දේවස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ පවා මෙම සිදුවීම පිළිබඳ කිසිදු රූප රාමුවක් නොමැති නිසා, මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට දැනුම් දීමට ඔවුන් උනන්දුවක් ගෙන නොමැති බවත් ඔහු පවසා ඇත.
එහෙත් එම සිද්ධිය සැලවූ වහාම, එහි පැමිණි පොලිස් නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීමට හැකි බව දන්වා ඇත. එහෙත් ඉදිරියේදී මෙවැනි දෑ සිදුවීම් නොවන බවට දේවස්ථානය භාරකරුට ඇති විශ්වාසය නිසා ඔවුන් ආරක්ෂාව ලබා නොගත් බව සඳහන් කර ඇත.
එම වාර්තාවට අනුව ගාල්ල පොලිසිය සහ මැතිවරණ ප්‍රචණ්ඩකාරී ක්‍රියා විමර්ශනය කිරීමේ මධ්‍යස්ථානයේ (CMEV) ගාල්ල දිස්ත්‍රික් නිලධාරියා පවසන අන්දමට ද මෙය මැතිවරණය ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවන බව තහවුරු වේ. එම සම්පුර්ණ වාර්තාව පහතින්
අවසාන නිගමනය
එබැවින් “ගාල්ල තල්පිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක්” යන මැයෙන් ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කළ සටහන, මුස්ලිම් ජන කොටස් එල්ල කරගෙන සිදු කළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යනුවෙන් හුවාදැක්වීම, නොමඟ යවන සුළු බව පෙනී යයි. මෙම සිද්ධිය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බව ගාල්ල පොලිසියද , CMEV (මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අධීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය) ආයතනයද පල්ලියේ භාරකරු ද පවසා සිටියි
