කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා දේශීය මෙන්ම විදෙස් වල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් රැසක් බොහෝ අපහසුතාවයන්ට පත්වූ අතර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස යම් සහනයක් ලබාදෙන ලෙසත් මාධ්‍ය හරහා පුවත් රැසක් පසුගිය සති කිහිපයේ දී ම වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකා රජය විසින් මැයි මස මුල් සතියේ සිට එසේ විදෙස්ගතව මෙරටට පැමිණීම අපේක්ෂාවෙන් සිටින සිසුන් ඇතුළු අනෙකුත් පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ දියත් කරන ලදී

මෙවන් පසුබිමක “විදෙස් අයට සහනයක්” යන තේමාව යටතේ මිලානෝ අපි නැමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සේයාරුවක් අන්තර්ගත කර තිබූ මෙම සටහනෙන් රැකියා අහිමි කරගනිමින් මෙරටට පැමිණි, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට නිරෝධායන සහතිකය සමග විදෙස් ගමන් බලපත්‍රයේ සේයාරුවක්, මාසික වැටුප් සනාථ කරණ ලිපියක්  සහ බැංකු ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අවසන් වරට ලැබූ වැටුපට සමානුපාතිකව, දීමනාවක් ලබාගැනීමට හැකිවන බව එහි අන්තර්ගත කර තිබුණි. වැඩි තොරතුරු අනාවරණය කර ගැනීම පිණිස 0115818131සහ 0764389902 දුරකථන අංක ඉදිරිපත් කර තිබුණි.

LinkArchived Link

එම ප්‍රවෘත්තිය තවත් ෆේස්බුක් පිටු කිහිපයක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ ඇති කරුණු සත්‍යය දැයි දැනගැනීම පිණිස අප එහි අන්තර්ගත කර තිබූ දුරකථන අංක දෙකට ඇමතුම් ලබා ගත්තෙමු. 0115818131අංකය අක්‍රිය කර තිබූ අතර 0764389902 ජංගම දුරකථන අංකයෙන්ද කිසිඳු ප්‍රතිචාරයක් ලැබුනේ නොමැත. මෙම ප්‍රවෘත්ති සටහන් පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප ජනාධිපති මාධ්‍ය අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර මෙම ප්‍රවෘත්ති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කළේය. මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති බවද පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ජාලය පරීක්ෂා කළ විට පහත පණිවිඩය එහි දක්නට ලැබුණි.

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් ජනාධිපති මාධ්‍ය නිකුත් කළ නිවේදයනක් ලෙස ව්‍යාජ ලෙස සකස් කරවූ පහත නීවේදන ලිපිය සමාජ මාධ්‍ය ඔස්සෙ සමාජ ජාල පරීශීලකයන් වෙත යැවීමට යම් කිසි දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටී පහත ඇති ලිපිය සම්පූර්ණ අසත්‍ය ව්‍යාජ ලෙස සැකසූ ලිපියකි.

https://twitter.com/PMDNewsGov/status/1260198424315494402

LinkArchived Link

කෙසේ වෙතත් මෙසේ විදේශගතව අපහසුතාවයට ලක් වී ඇති පිරිස් සම්බන්ධයෙන් කිසියම් හෝ සහන වැඩපිළිවෙළක් රජය විසින් දියත් කර ඇත්දැයි දැන ගැනීම අප විසින් විදෙස් කටයුතු අමාත්‍යංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී අපට දැන ගැනීමට ලැබුණේ වැඩිපුරම අවධානමට ලක් වී ඇති පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. එසේම එකී රටවල තානාපති කාර්යාල හරහා වියලි ආහාර ඇතුළු ද්‍රව්‍ය අපහසුතාවයට ලක්විය හැකි පිරිස් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් ද දැනටමත් දියත් කර ඇති බව අප සමඟ තවදුරටත් පැහැදිලි කර සිටි අතර වැටුපට සමානුපාතික ගෙවීමක් සිදුකිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වෛරස් ආසාදනය නිසා රැකියා අහිමි කර ගනිමින් නැවත සිය රට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවසාන වරට ලබාගත් වැටුපට සමානුපාතික ජීවන වියදම් දීමනාවක් ගෙවීම සඳහා විස්තර අයදුම් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත්නොමැති බවයි.එබැවින්විදෙස් අයට සහනයක්” තේමාවෙන් රැකියා අහිමි කර ගනිමින් නැවත සිය රට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවසාන වරට ලබාගත් වැටුපට සමානුපාතික ජීවන වියදම් දීමනාවක් ගෙවීම සඳහා විස්තර අයදුම් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක සේයාරුවක් සහිතව ඉදිරිපත් කරඇති සියලුම ෆේස්බුක් ප්‍රවෘත්ති සහ සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් සහ ප්‍රවෘත්ති බවට නිගමනය කරමු.

Avatar

Title:ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිපි ශීර්ෂය යොදාගනිමින් පළ කරන ලද සාවද්‍ය ලිපියක්

Fact Check By: Sahan Perera

Result: False