කෝවිඩ්-19 දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමග කර්මාන්තශාලා, හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන රැසක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද කොරෝනා රෝගය ආසාදනයවී ඇති බව මාධ්‍යය වාර්තා කර තිබුණි.

කෙළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන කිංග්ස්බරි හෝටලයේ සේවකයින් 10 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, කිහිප දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඉතිරි අය හෝටලය තුළම රඳවා ගෙන සිටින බවත්, සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නොකර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හෝටලය තුළම රඳවා ගැන නිරෝධායනය කරන බවටත් ඇතුළු චෝදනා නඟමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්.

අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුනේ කොළඹ කිංග්ස්බරි හෝටලය ඔවුන්ගේ කෝවිඩ්-19 ආසාදනයවු සේවකයන් සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොළඹ නගරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුවත් කරමින් එක කටයුතු කරමනුකුලව සිදුකර ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

කොළඹ කිංග්ස්බරි හෝටලයේ සේවකයින් 10 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව ද, තවත් පිරිසක් හෝටලය තුළම සඟවාගෙන සිටින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් නොකර එකී ආසදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හෝටලය තුළ ම නිරෝධායනයට යොමු කර ඇති බව ඇතුළු කරුණු සහිතව දීර්ඝ කථාංගයක් සමඟ සටහනක්, “කොරෝනා රෝගීන් සඟවන කොළඹ ලොකු හෝටලය” යන තේමාවෙන් B Alert නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබෙණු නිරීක්ෂණය විය.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරුව තිබු එම සටහන පහතින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-38 Kingsbury-7306b84d-3da0-450f-9973-6d8d6d677b61.png

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂයක තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා ගෙන් මෙන්ම හෝටලයේ කරුණු දැක්වීම ද විමසීමට අප කටයුතු කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක:

අප ප්‍රථමයෙන්ම කොටුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. කිංස්බරි හෝටලය සිය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වීම පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා සහ තමාව දැනුවත් කර තිබු බවත් ලබාදුන් උපදෙස් යටතේ නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරමින් සිටින බවත් පවසා සිටියා.

අහඹු නියැදි PCR පරීක්ෂණයකින් තහවුරු වූ මුල් ආසාදිතයින් හතර දෙනා පමණක්, සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන තෙක්, හෝටලය තුළ නිරෝධානයනය කර තිබු බවත්, ආසාදිතයින් හෝ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගෙන් කිසිවෙක් මේ වන විට හෝටලය තුළ නොමැති බවත් පැවසුවේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා :

අනතුරුව අප කොළඹ කිංග්ස්බරි හෝටලය ඇතුළත් ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීතුමන් සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. කෝවිඩ්-19 මර්දනය ක්‍රියාවලියේ සේවා ස්ථාන සඳහා පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත කොළඹ කිංග්ස්බරි හෝටලය ද සිය කාර්ය මණ්ඩලය වරින්වර PCR පරීක්ෂණ යොමුකරන බවත් මෙසේ PCR පරීක්ෂණ වලට භාජනය කරන ලද සම්පූර්ණ කාර්ය මණ්ඩලයෙන් දහ දෙනෙකුට පමණක් කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් ඔහු පැවසීය.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වන තමා සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ඉතාමත් සහයෝගයෙන් හෝටල් නිලධාරීන් කටයුතු කරන බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව හෝටල් කළමනාකාරිත්වය කටයුතු කරන බවත් ඔහු තවදුරටත් අවධාරනය කළේය.

හෝටල් කාර්යමණ්ඩලයේ කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරුවූ සාමාජිකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර කිසිම පළමු පෙළ ආශ්‍රිතයෙකු හෝටලය තුළ නිරෝධායනය නොවන බව ද ඔහු තහවුරු කර සිටියා. මේ පිළිබඳව අනුගමනය කළ සෑම පියවරක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තුමන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් දැනුවත් වී ඇති බව ද ඔහු පැවසීය.

කොළඹ කිංග්ස්බරි හෝටලය:

අප කිංග්ස්බරි හෝටලයේ කළමනාකරු (Compliance) සමඟ ද දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ප්‍රධාන පෙළේ හෝටලයක් වන තම ආයතනය, රජය විසින් පනවා ඇති සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව කටයුතු කරන බවත්, ඒ අනුව අහඹු ලෙස තෝරාගන්නා ලද සේවකයන් PCR පරීක්ෂණ සඳහා වරින් වර නවලෝක රෝහල වෙත යොමුකරන බවත් පැවසීය.

මෙසේ PCR පරීක්ෂණ සඳහා වරින්වර යොමු කරන ලද මුළු සේවක සංඛ්‍යාවෙන් දහ දෙනෙකුට පමණක් මේ වන විට (ජනවාරි 29) කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වු ඇති බවත් පැවසීය. එසේම මෙලෙස තහවුරු වූ මුල් රෝගීන් හතර දෙනා පමණක් සියලු දෙනාගේම යහපත තකා, ඔවුන්ගේ නිවෙස් වලට නොයවා, සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන තෙක්, හෝටලයේ වෙනම ප්‍රදේශයක හුදකලා කරන ලද බව ද පැවසීය. එම ප්‍රදේශය අදටත් හුදකලා කරන ලද කලාපයක් වශයෙන් පවතින බවත් පවසා සිටියා.

ඉන්පසුව PCR පරීක්ෂණ සඳහා නවලෝක රෝහල වෙත යොමුකරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඔවුන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල නිකුත් වන තෙක් නවලෝක රෝහලේම හුදකලා කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් සඳහන් කළේය. මේ අනුව අවසාන වරට කොවිඩ් ආසාදිත වූ සේවකයින් හය දෙනාම කෙලින්ම නවලෝක රෝහලේ නිරෝධායනය වෙමින් සිට සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන ලද බවත් පවසා සිටියා.

මේ අනුව යම් සේවකයෙකුට PCR පරීක්ෂණ මගින් කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත්, නවලෝක රෝහල විසින්ම අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන බැවින් හෝටලයට අවශ්‍ය වුවද එවැන්නක් සඟවා ගත නොහැකි බවත්, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සහ කෙළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

එසේම කොවිඩ්19 ආසාදිත සාමාජිකයින්ගෙන් කිසිවෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු හෝටලය තුළ නිරෝධායනය නොවන බව ද අවධාරණය කළේය. එබැවින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව කිසිවිටෙකත් සඟවා නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම හුවමාරු වූ සටහනේ දැක්වෙන පරිදි රෙදි සේදුම් ස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දැමු බවත් නිසි පරිදි විෂබීජහරණයෙන් පසුව එම ස්ථාන නැවත වරක් විවෘත කල බවත් පැය හතරක් වැනි කෙටි කාලයකට පමණක් එම රෙදි සේදුම් ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කල බවත් පැවසීය.

මීට අමතරව රෝහලේ වෛද්‍යවරයා ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසින් විවිධ සේවා මුරවල වැඩ කරන සියලුම සේවකයින්ගේ ශරීර උෂ්ණත්වය දිනකට තුන්වරක් පරික්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය දා “කිංග්ස්බරියෙන් අලුත් පොකුරක්? ශවේන්ද්‍රත් ඉඳලා” යනාදී තේමාවලින් හුවමාරු වූ මෙවැනි වාර්තා පිලිබඳ කරුණු විමසීමේදී අපට දන්වා සිටියේ එම උත්සවය හෝටලයේ පසුගිය දා පැවති බව සත්‍යක් නමුත් මෙතෙක් (ජනවාරි 31) එම උත්සවයෙන් ආසාදිතයන් හමුවීම පිලිබඳ අදාළ උත්සවය සංවිධානය කල අමුත්තන් විසින් හෝටලය දැනුවත් කර නොමැති බවයි.

එම උත්සවය පමණක් නොව හෝටලයේ තිබෙන සෑම උත්සවයකින් පසුව මෙන්ම මහජනතාව හෝටලයට පැමිණි ගැවසෙන ස්ථාන සියල්ලක් ම ද විශේෂ ආරක්‍ෂිත කට්ටල යොදාගනිමින් දිනකට කිහිපවරක් ම විෂබීජහරණය කිරීමට කටයුතු කරන බැවින් මෙසේ බාහිරින් පැමිණෙන අමුත්තන් කිසිවෙකුට හෝ කොවිඩ් ආසාදනය වී තිබුණ ද එය වෙනත් අය වෙත පැතිරීම අවම කිරීමට අවශ්‍ය කටයුතු සෞඛාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක බවද දන්වා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන කිංස්බරි හෝටලයේ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී සේවකයින් කිහිපදෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබු බව අනාවරණය වී තිබු බවයි.

කෙසේනමුත් ඔවුන් ඒ පිලිබඳ තොරතුරු වසන් කර නොමැති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොළඹ නගරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංයේ බලධාරීන් දැනුවත් කර රජය විසින් පනවා ඇති සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව අදාළ ආසාදිතයින් නිරෝධානය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, කෝවිඩ්-19 ආසාදනය වී ඇති සේවකයන් හෝ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හෝටලය තුළ රහසින් සඟවා ගෙන නිරෝධායනය කිරීමක් සිදුවී නැහැ.

Avatar

Title:FACT CHECK: කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් කොරෝනා රෝගීන් සඟවාගෙන සිටියා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading