විද්‍යාලංකාර පිරිවෙන ලෙස ඇරඹි පසු කාලීනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ද හැඳින්වූ වත්මන් කැලණිය විශ්ව විද්‍යාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. වෛද්‍ය, විද්‍යා අතුළු පීඨ ගණනාවකින් සමන්විත කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද සමන්විතය.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීමට එහි කථිකාචාර්යවරයකුට හිතවත් විය යුතු බවත්, ඔහු පෞද්ගලික අංශයේ ආයතන වලින් පැමිණෙන සිසුන්ගෙන් අයථා අන්දමින්, වක්‍රාකාරව උපකාර ලබාගෙන ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දක්වා ඉක්මනින් ආචාර්ය උපාධි පාඨමාලාව ඉවර කර ගැනීමට කටයුතු කර දෙන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන සටහන් සම්පූර්ණයෙන් සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන් :

“කැලණිය විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්යවරයෙකුගෙ අමුතු ගේමක් එළියට” තේමාවෙන් Gossip මල්ලි නමැති ෆේස්බුක් පිටුවක දීර්ඝ කතාංගයක් සහිතව සටහනක් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලැබුණි.

ආචාර්ය උපාධිය දෙන්නෙ තමන්ට සලකන ශිෂ්‍යන්ට විතරයි – කැලණිය විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්යවරයෙකුගෙ අමුතු ගේමක් එළියට ආචාර්ය උපාධිය ලබාදීම ව්‍යාපාරයක් කරගත් කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු සම්බන්ධ තොරතුරු වාර්ථා වේ.

රවී දිසානායක නමින් හැදින්වෙන මෙම කථිකාචාර්යවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ( DBA ) ලබාගැනීමට පැමිණෙන ශිෂ්‍යයන් කාණ්ඩ 2කට වර්ග කරන බව දැනගන්නට ලැබී තිබේ.

එයින් එක කාන්ඩයක් වන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් වල මුල් පුටුවල රැකියාව කරන පිරිස් වන අතර අනික් කාණ්ඩය වන්නේ සාමාන්‍ය ශිෂ්‍යයන්ය. මෙහිදී එම කථිකාචාර්යවරයා අදාළ පෞද්ගලික සමාගම් වල රැකියාව කරන ශිෂ්‍යන්ට අපුරූ යෝජනාවක් වක්‍රාකාරව කරන බව විශ්ව විද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එනම් තමන් රැකියාව කරන පෞද්ගලික සමාගමේ උපදේශකයෙකු ලෙස අදාළ කථිකාචාර්යවරයාව බඳවා ගන්නා ලෙසත් එසේ කලහොත් අචාර්ය උපාධිය ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔහුගේ මැදිහත් වීමෙන් සිදුකර දෙන බවත් අදාළ ශිෂ්‍යයන්ට දන්වා සිටීමය. එසේ කැමතිවන පිරිස් වලට කිසිදු ගැටලුවකින් තොරව ආචාර්ය උපාධිය ලබාගැනීමට හැකියාව ලැබෙන අතර අකමැති වන පිරිස් සිටියහොත් ඔවුන්ට වසර ගණනාවක් යනතුරු ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

එමෙන්ම අදාළ කථිකාචාර්යවරයාගේ පෞද්ගලික ව්‍යාපාරයක් ( හාඩ්වෙයාර් එකක් ) ඇති අතර ඒ සඳහා ප්‍රමුඛ පෙළේ සමාගම් වල විකුණුම් නියෝජිතයෙකු (Sales Agent) ලෙස තමන්ව පත්කරන ලෙසද අදාළ කථිකාචාර්යවරයා අචාර්ය උපාධිය ලබාගැනීමට පැමිණෙන සමාගම් වල ඉහළ නිළධාරින්ට බලපෑම් කරන බව විශ්වසනීය ආරංචි මාර්ග වාර්ථා කරයි.

මෙවැනි ක්‍රියාමගින් මෙම කථිකාචාර්යවරයා මසකට දළ වශයෙන් රුපියල් මිලියන 6, 7ක ආදායමක් ලබන බවද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පෙන්වා දෙයි. එමෙන්ම අදාළ කථිකාචාර්යවරයා කැළණිය විශ්ව විද්‍යාලයේ විභාග අංශයටද විශාල බලපෑමක් එල්ල කරන බව තව දුරටත් වාර්ථා වේ. තමාට ලාභයක් නැති කිසිදු ශිෂ්‍යයෙකුට ආචාර්ය උපාධිය නියමිත කාලයට ලබාගැනීමට මෙම ආචාර්යවරයා ඉඩක් ලබා නොදීම හේතුවෙන් මෙම උපාධිය ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය ශිෂ්‍යයන් දැඩි මානසික පීඩාවට ලක්ව ඇති අතර මුදළට ආචාර්ය උපාධිය තක්සේරු කරන මෙවැනි කථිකාචාර්යවරු සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මීට වඩා සොයා බැලිය යුතු බව අවධාරණය කල යුතුය. (විශ්ව විද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මෙම පුවත වාර්ථා කර තිබේ. )

FacebookArchived LinkArticle Archived

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහන වෙනත් ෆේස්බුක් පිටුවලද ඉදිරිපත් කර තිබුණේ මෙලෙසිනි

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Gossip මල්ලි ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගතය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප එම සටහන පිලිබඳ පාර්ශව කිහිපයයකගෙන් විමසා සිටියෙමු.

කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පරිපාලන අංශය

කළමනාකරණ අංශයේ ආචාර්ය උපාධි පරිපාලන අංශයේ සම්බන්ධීකරණ නිලධාරි වන මහාචාර්ය පතිරවසම් මහතාගෙන් මේ පිළිබඳව කරුණු විමසා සිටියෙමු. ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් වන සිසුන් පළමු අධ්‍යාපන වසර සම්පුර්ණ කළ පසු, ඔවුන්ට සහය සහ මගපෙන්වීම සඳහා, එක් සිසුවකුට සුපර්වයිසර්වරුන් දෙදෙනකු විශ්ව විද්‍යාලීය අධ්‍යනික අචාර්ය මණ්ඩලයෙන් පත් කරන බව පැවසීය.

සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි පාඨමාලාව සම්පුර්ණ කිරිමට සිසුවකුට වසර 3-4 අතර කාලයක් ගතවන අතර දෙවන වසරෙ සිට අවසන් වසර දක්වා කාලය තුලදි සිසුන් තෙවරක් පරීක්ෂණයන්ට මුහුණදිය යතු අතර එම පරීක්ෂණ පවත්වන්නේ විශ්ව විද්‍යාලයේ අධ්‍යනික ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු විසින් බවත්, සිසුවකුට ආචාර්ය උපාධි අධ්‍යාපනයේ ඉදිරියට යා හැකි වනුයේ එම පරීක්ෂණ ප්‍රතිඵල මත බව ද සඳහන් කළේය.

අධ්‍යාපන කටයුතු අවසානයේදී සිසුවා නිබන්ධනයක් ඉදිරිපත් කළයුතු බවත්, අනතුරුව ඔහු හෝ ඇය එම නිබන්ධනය පිළිබඳව පරීක්ෂණයකට සහභාගි විය යතු අතර එම පරීක්ෂණ මණ්ඩලයට සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත වන අතර, එක් සාමාජිකයෙකු කැළණිය විශ්ව විද්‍යාලයෙන් ද, අනෙක් සාමාජිකයා ‍වෙනත් විශව විද්‍යාලයක අධ්‍යනික ආචාර්ය මණ්ඩලයකින් ද පත් කරන බව පැවසීය.

එම පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකන් දෙදෙනා සිසුවා සිය නිබන්ධනය සාර්ථකව ඉදරිපත් කර අති බවට සැහමකට පත්වුවහොත් පමණක්, පරීක්ෂණ මණ්ඩල සාමාජිකන් දෙදෙනාගේ නිර්දේශ මත අදාළ සිසුවාට අචාර්ය උපාධිය පිරිනමන බව ද සම්බන්ධීකරණ නිලධාරිතුමා පැවසීය. ආචාර්ය උපාධි අධ්‍යාපන ක්‍රියාදාමය දුෂ්කර බවත්, සිසුන් එම ක්‍රියාදමයට කැපවී අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතු බවත්, කිසිම පුද්ගලයකුට පෞද්ගලික හිතවත්කම් මත ආචාර්ය උපාධිය ලබා ගත නොහකි බව ඔහු වැඩි දුරටත් අවධාරනය කළේය.

ආචාර්ය උපාධි සිසුවෙකුගේ අදහස්:

Gossip මල්ලි ෆේස්බුක් පිටුව ඉදරිපත් කළ සටහනේ ඇති සේයාරුවේ දැක්වෙන එක් සිසුවකු වන්නේ කැළණි කේබල්ස් සමාගමේ අළෙවි සාමාන්‍යාධිකාරි අනිල් මුණසිංහ මහතා සමඟ දුරකථනයන් සම්බන්ධ වුයෙමු.

ආචාර්ය උපාධි පාඨමාලාවට විෂයයන් හතක් ඇති බවත්, ඔහුට විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් එක් සුපර්වයිසර්වරයකු වුයේ ආචාර්ය රවි දිසානායක මහතා බවත්, ඔහුට ලැබුණු සුපවයිසර්වරු දෙදෙනාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු බවත්, ඔවුන්ගේ මගපෙන්වීම සහ සහාය සිය අධ්‍යාපනික කටයුතු සාර්ථකව නිම කර ගැනීමට ඉවහල්වු බවත්, ඔවුන්ගේ මග පෙන්වීම වෙනුවෙන් කිසිම ත්‍යාගයක් ඉල්ලා තිබුනේ නැති බවත් සඳහන් කළේය.

ඉතා උසස් මට්ටමකින් පවත්වා‍ ගෙන යන කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය පෞද්ගලික හිතවත්කම් මත ලබා ගත නොහැකි බව ද පැවසීය. ‍කැළණි කේබලස් සමාගමද හිතවත්කම් මත නියෝජිතයන් පත් නොකරන අතර අචාර්ය රවි දසානායක මහතාට ‍කැළණි කේබලස් සමාගමේ නියෝජිත තනතුරක් ලබාදී නෙමැති බවද සඳහන් කළේය.

ආචාර්ය රවි දිසානායක මහතා

ඉහත සටහන මඟින් චෝදනා එල්ල වී ඇති ආචාර්ය රවි දිසානායක මහතාගෙන් ද මේ පිළිබඳව අප විමසා සිටියෙමු. විදෙස් අධ්‍යාපනය අවසන් කර දිවයනට පැමිණියේ මව්බිමට සේවයක් ලබාදීමට බවත්, මුදල් හඹායාම තම අරමුණ වූවා නම් ඉතා පහසුවෙන් විදේශයක රැකියාවක් සොයා ගත හැකිව තිබු බවත්, අප කළ විමසුමේදි ආචාර්ය රවි දිසානායක මහතා පැවසීය.

තමාට හාඩ්වෙයාර් එකක් අයිති නැති බවත්, කැළණි කේබලස් සමාගමේ නියෝජිත හෝ උපදේශක තනතුරක් නොමැති බවත්, මෙය තමාව අපකීර්තියට පත්කිරීමට ගෙන යන සංවිධානාත්මක ප්‍රචාරයක් බවත් ඔහු අවධාරනය කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිළි වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ආචාර්ය රවි දිසානායක හෝ වෙනත් ආචාර්යවරයකුගේ පෞද්ගලික හිතවත්කම මත ලබා ගත හැකි බවට හුවමාරු වන්නේ ව්‍යාජ තොරතුරු මත පදනම් වී තිබු අසත්‍ය සටහනක් බවයි.

කළමනාකරණ අංශයේ ආචාර්ය උපාධි පරිපාලන අංශයේ සම්බන්ධීකරණ නිලධාරිතුමා මෙන්ම උපාධි පාඨමාලාවට සහභාගී වූ සිසුන් සහ ආචාර්ය රවි දිසානායක යන සියලුම පාර්ශවයන් මෙම කරුණ තරයේම ප්‍රතික්ෂේප කර සිටියි.

Avatar

Title:කැළණිය විශ්ව විද්‍යලයේ ආචාර්ය උපාධිය හිතවත්කම මත ලබා හැකිද?

Fact Check By: Sahan Perera

Result: False