ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති Online ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව සිය අදහස් දක්වමින් සිටිනවා. සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට සමත්වූ අතර මේ සම්බන්ධයෙන් නිර්මාණයවූ ඇතැම් සටහන් නොමග යවන සුළු බව අපට වාර්තා වුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Sumith Ranaweera යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවසූ බවට කළ ප්‍රකාශයක්,

මෙන්න මේ තක්කඩි දොස්තර මස් වැද්දෝ කියනවා ළමයි ඇපේට අරන් වර්ජනය කරන එක වැරදිලු. මුන්ගේ ළමයි ලොකු ඉස්කෝලවලට දාන්න ලෙඩ්ඩු ඇපේට අරන් වර්ජන කරන්න මුන්ට හොඳයි.!

මෙහි ඡායාරූපය සඳහා යොදාගෙන තිබුණේ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයකි.

Facebook | Archived Link

එම සටහන් හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වර්ජනය කිරීම් සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න එම සංගමය විසින් මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡා සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදුණා. එහිදී දැක ගන්නට ලැබුණේ, ප්‍රධාන මාධ්‍ය ධාරාවලද මෙවන් ප්‍රකාශයක සඳහනක් නොවුණු බවයි.

ඉහත සටහන සඳහා යොදා ගෙන තිබුණේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ ඡයාරූපයේ බැවින් එම වෛද්‍යවරයා විසින් ‘ළමයි ඇපේට අරන් වර්ජනය කිරීම වැරදි’ බවට පැවසුවාද යන්න පිළිබඳවද අප නිරීක්ෂණය කළෙමු.

පසුගියදා 12 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, නිරෝධායන පණත ජනතාව බියවැද්දීම සඳහා යම් ආකාරයක අවභාවිතයක් සිද්ධ වන ආකාරයක් දකින බවත් ඒ බව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ බවත්ය. එම වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=CpSUT69jCsQ

ප්‍රජාතන්ත්‍රී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂණ මර්දනය කිරීමටත්, ජනතාව බියවැද්දීමටත් පොලීසිය නිරෝධායන නීතිය භාවිත කරන බව පෙනී යන බවට බලගතු පාර්ශව සඳහා නිරෝධාන නීතිය ක්‍රියාත්මන කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණවලට සහභාගී වන සිවිල් සංවිධාන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ පැහැදිලා පරස්පරතා දැකිය හැකි බවද ඔවුන් සඳහන් කරනවා. ඒ බවට ඔවුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයාට යොමු කළ ලිපිය මෙතනින්. පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරනවා - GMOA කියයි යන තේමාවෙන් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

කෙසේවෙතත් ගුරු විරෝධතා පැවැත්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඉන් අනතුරුව නිවෙස් කරා යොමුකර තිබුණා.

එසේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථා කිහිපයක දී ම එහි සංශෝධන සිදුවිය යුතු බව සංගමයේ නිලධාරීන් පවසා තිබූ අයුරු ද අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

කෙසේවෙතත් මේ කිසිඳු අවස්තාවක ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති දියත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැරදි යැයි අදහස් දක්වා නොතිබුණි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගෙන්ද විමසීමක් කළ අතර වෛද්‍යවරයා සඳහන් කළේ, ගුරුවරුන් සිදු කරනු ලබන වැඩ වර්ජන සම්බන්ධයෙන් තමන් විසින් හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අදහස් ප්‍රකාශ නොකළ බවකි.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ගුරු උද්ඝෝෂණ සම්බන්ධයෙන් ‘ළමයි ඇපේට අරන් වර්ජනය කරන එක වැරදි’ යනුවෙන් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදු කර තිබුනේ නැති බවයි. ඔවුන් පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස් මර්දනය කිරීමට නිරෝධායන පනත අවභාවිත කිරීම සම්බන්ධව විරෝධය පළ කර තිබුණා.

Avatar

Title:ළමයි ඇපේට අරන් වර්ජනයක යෙදෙන එක වැරදි බව GMOA කිව්වද?

Fact Check By: Sara Gunaratne

Result: False