කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා.

මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමුන් බව පෙන්වීමට ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූණා. ඒ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“දෙයියනේ ජපුර ළමයි ” යන තේමාවෙන් හුවමාරු වී තිබූ සටහනක පහත පරිදි ඡායාරූප සංසන්දනයක් සිදුකර තිබූ සටහනක් Aminda Lakmal යන ෆේස්බුක් සටහනකින් හුවමාරු කරගෙන තිබූණා. 

Facebook | Archived

කෙටි කාලයක් තුළදී දහසක ට අධික පිරිසක් අතර හුවමාරු වී තිබූ මෙම සටහනේ පළමු ඡායරුපයේ ශාලාවක් තුළ අසුන්ගෙන සිටි සිසුන්ගේ සේයාරුව කොතලාවල ඇකඩමියේ ඉගෙන ගන්න ළමයි යනුවෙන් පෙන්වා තිබූණි. එසේම ඊට පහළින් දැක්වුණු ඡායරූපයේ ජපුරෙ ඉගෙන ගන්න ළමයියනුවෙන් පෙන්වා දී තිබූණු උද්ඝෝෂණයක දී පොලීසිය විසින් ඔසවාගෙන රැගෙන යන පුද්ගලයෙකුගේ ඡායාරූපයක්. මෙම සංසන්දනය අවසානයේ සත්‍ය වශයෙන් ම් ඔබේ දරුවා ඇතුලත් කිරීමට ඔබ කැමති මින් කුමකටද?” යනුවනේ ප්‍රශ්න කර තිබූණා.

මෙම ඡායාරූප සංසන්දනය බොහෝ පිරිස් විවිධාකාරයේ තේමා යටතේ ද හුවමාරු කරගෙන තිබූ අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

එහිදී පෙනී ගියේ ජපුර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය) සිසුන් නියෝජනය කිරීම සඳහා යොදාගෙන තිබූ ඡායරුපයේ ඉන්දියාවේ පොලීසිය සිටින බව ද බොහෝ දෙනෙක් පෙන්වා දී තිබූණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මුලින්ම මෙම සටහන් සඳහා පාදක වී තිබූ ඡායාරූප දෙක වෙන වෙනම Reverse Image සෙවුමක් වෙත යොමු කළෙමු.

පළමු ඡායාරූපය:

එම සටහනේ ඉහළින් දක්වා තිබූ ඡායරූපය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිළිබඳ පළවූ වාර්තා රැසක් සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයක් බව එහිදී අපට දැක ගන්නට ලැබුණි. එම ඡායාරූපය යොදාගනිමින් පළවූ වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

එසේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2018 වසරේ පැවැත්වූ 11 වැනි පර්යේෂණ සමුළුව (IRC) පිළිබඳ වෙබ් අඩවියේ ද මෙම ඡායාරූපය විශ්ව විද්‍යාලය පිළිබඳ දක්වා තිබූ ඡායාරූප එකතු අතරේ පහත පරිදි දැක ගන්නට ලැබුණා. 

IRC 2018-KDU

එසේම එම නිල ඇඳුම ද කොතලාවල විශ්ව විද්‍යාල සිසුන්ගේ නිල ඇඳුමට සමාන බව ද වෙනත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේ දී ද පෙනී යනවා.

ඒ අනුව පළමු ඡායාරූපය සත්‍ය වශයෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පෙන්නුම් කෙරෙන ඡායාරූපයක් බව තහවුරු වනවා.

දෙවන ඡායාරූපය:

බොහෝ දෙනා විසින් ඉන්දියාවේ පොලීසිය සිටින ඡායාරූපයක් ජපුර සිසුන් පෙන්වීම සඳහා යොදාගැනීම පිළිබඳ පෙන්වා දී තිබූ බැවින් අප එහි මුල් ඡායාරූපය පිළිබඳව ද Reverse Image සෙවුමක් සිදු කර එහි මුල් තොරතුරු ලබා ගැනීමට කටයුතු කළා.

එහිදී එහි මුල් ඡායාරූපය 2013 වසරේ දී Reuters/Alamy ඡායාරූප එකතුව වෙත ඇතුළත් කර තිබෙනු මෙසේ දැක ගන්නට ලැබුණි.

Alamy | Archived

එම ඡායාරූප සඳහා ලබා දී තිබූ විස්තරයට අනුව මෙය 2013 මාර්තු 21 වන දින දකුණු ඉන්දියාවේ චෙන්නායි හි පැවති උද්ඝෝෂණයක දී එරට පොලීසිය විසින් උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුවෙකු රැගෙන ගිය අවස්ථාවකි. මෙරට යුධ කාල පරිච්ඡේදය ඇතුළත සිදුවූ බවට පැවසෙන “යුධ අපරාධ” පිළිබඳ දැඩි ස්ථාවරයක් ගන්නා ලෙස ඉන්දියානු රජයට ඉල්ලීම් කරමින් මෙම උද්ඝෝෂණ දියත් වී තිබූ බව ද එම ඡායාරූප විස්තරයේ තවදුරටත් දක්වා තිබූණි.

එම ඡායාරූපය BBC පුවත් සේවයේ ද පළවී තිබූ අයුරු මෙතනින්. Indiatimes වාර්තාවක් මෙතනින්.

මේ අනුව මෙම දෙවන ඡායාරූපය ලංකාවේ හෝ ජපුර විශ්ව විද්‍යාලීය සිසුවෙකු නොවන බව තහවුරු වෙනවා.

කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප සටහන මඟින් එකී ඡායාරූප දෙක සංසන්දනාත්මකව පළ කර තිබෙන්නේ බොහෝ දුරට මේ දිනවල උද්ඝෝෂණ වල නිරත වන විශ්ව විද්‍යාලීය සිසුන් සංකේතාත්මකව පෙන්නුම් කිරීමට විය හැකි වුව ද මෙසේ මෙරට දී සිදු නොවූ උද්ඝෝෂණයක ඡායාරූපයක් භාවිතා කිරීම මඟින් බොහෝ පිරිස් නොමඟ ගොස් තිබූණි.

එසේම මෙහි ඡායාරූප සංසන්දනය සඳහා යොදාගෙන තිබෙන්නේ රජයේ විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලය බැවින් එම සංසන්දනය පිළිබඳව ද බොහෝ දෙනෙකු අදහස් ද දක්වා තිබූ අතර එවැනි සටහනක් මෙතනින්.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා පිළිබඳ ගාස්තු ඇතුළත් ලේඛනයක් ද අපට මෙසේ එම නිල වෙබ් අඩවියේ දැක ගන්නට ලැබුණි. කොතලාවල විශ්ව විද්‍යාල පනත පිළිබඳව සහ පාඨමාලා ගාස්තු පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අපට එම කාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට හැකිවුණේ නැහැ.

මීට අමතරව සත්‍ය වශයෙන්ම පසුගිය දිනවල මෙරට දී සිදුවූ උද්ඝෝෂණ පිළිබඳ පුවත් වාර්තා අප පරීක්ෂා කළ අතර කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය විසුරුවා හරීයන තේමාවෙන් කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධය පළ කරමින් ජුලි 08 වැනිදා පැවති විරෝධතාවක දී පොලීසිය එම විරෝධතාවට එක් වූවන් විසුරුවා හැරීමට හා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ආකාරය යනුවෙන් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

එසේම මෙරට පොලීසිය සහ විශ්ව විද්‍යාල සිසු කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් පසුගිය වසර කිහිපය ඔස්සේ ම විවිධ අවස්ථාවල පලවී තිබූ පුවත් වාර්තා අපට දැකගන්නට ද ලැබුණා. එවැනි වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

සැ.යු : මෙහිදී කරුණු විමර්ෂණය සිදුකර තිබෙන්නේ විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සංසන්දනාත්මක ඡායාරූප සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරූප සම්බන්ධයෙන් පමණක් බව සලකන්න. මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ද එකතු වී මේ දිනවල සිදුවන උද්ඝෝෂණ පිළිබඳ කිසිඳු අදහසක් අප විසින් මෙහි දක්වා නැති බව ද සලකන්න.

Also Read: FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර හුවමාරු වී තිබූ ඡායාරූප සංසන්දන සටහනේ පහළින් දක්වා තිබූ ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක් බව පෙන්නුම් කෙරෙන ඡායාරූපය සත්‍ය වශයෙන්ම ලංකාවේ සිදුවීමක් නොවන බවයි.එම ඡායරුපයෙන් පෙන්නුම් කරන්නේ 2013 වසරේ දී දකුණු ඉන්දියාවේ චෙන්නායිහි දී පැවති උද්ඝෝෂණයක දී එරට පොලීසිය විසින් උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුවෙකු රැගෙන ගිය අවස්ථාවකි.

Avatar

Title:ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading