දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක දැක්වුණේ, පහත සඳහන් කර ඇති පණිවිඩයයි.

රනිල් පෝට්සිටි ලොක්කා සමග රහස් කතා. - පෝට්සිටි පනතට දැක්වු සහයටත් ලොක්කාගෙන් රනිල්ට ස්තුතිය. එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ කොළඹ වරාය නගර (CHEC) අධ්‍යක්ෂ ජනරාල් ජිආංන්ග් හොවුලිංග් අතර පසුගිය බදාදා රහස් හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. කොලඹ වරාය නගරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයකට අනුව හිටපු අගමැතිවරයා සමග මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන, හිටපු ඇමති සාගල රත්නායක, යහපාලන ආණ්ඩුව කලේ පොට්සිටියේ සභාපති ලෙස කටයුතු කළ අජිත් ද කොස්තා ද මේ අවස්ථාවට සහභාගීවී ඇතැයි පැවසේ. මෙහිදි පෝට්සිටි පනත පාර්ලිමේන්තුවේ විමසන අවස්ථාවේදි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධ නොවීම පිළිබදවද පෝට්සිටි ලොක්කා මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා හට ස්තුතිය පලකර ඇති බව වාර්ථා වේ.

එම පණිවිඩය සඳහා යොදා ගනු ලැබු ඡායාරූප වල දැක්වුණේ, රනිල් වික්‍රමසිංහ මහතා, සාගල රත්නායක මහතා රුවන් වි‍ජේවර්ධන මහතා ඇතුළු චීන ජාතිකයන් කිහිප දෙනෙක්ව එක්ව භෝජන සංග්‍රහයක් භුක්ති විඳින අයුරුයි.

ෆෙස්බුක් ඔස්සේ එම සටහන් හුවමාරු වූ අවස්ථාවක් පහතින්.

Facebook | Archived

එමෙන්ම මෙම සටහන ෆේස්බුක් සංසරණය වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ඉහත සටහනේ තේමාව ලෙස දක්වා තිබූ“පෝට්සිටි පනතට දැක්වූ සහයටත් ලොක්කාගෙන් රනිල්ට ස්තුතිය.” යනුවෙන් හා සටහනේ අවසානයේ දක්වා තිබු “පෝට්සිටි පනත පාර්ලිමේන්තුවේ විමසන අවස්ථාවේදි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධ නොවීම පිළිබදවද පෝට්සිටි ලොක්කා මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා හට ස්තුතිය පලකර ඇති බව වාර්ථා වේ”. යනුවෙන් සඳහන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා.

කෙසේනමුත් මෙහි සඳහන් වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ අවස්ථාවේ (පසුගිය මැයි මාසයේ දී) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණු ආසනය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දී නොතිබුණි.

2020 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් ලැබූ අතර කිසිවෙකුටත් පාර්ලිමේන්තු වරම් නොලැබුණු අතර ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව මත ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් පමණක් හිමිවිය. කෙසේනමුත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරන ලද ගැසට් පත්‍රය පසුගිය ජූනි 18 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබුනේ මෙලෙසිනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පසුගිය ජූනි 23 දා දිවුරුම් දෙනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්.

https://www.youtube.com/watch?v=ebff442RlTo

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹුණේ පසුගිය ජූනි 23 දා සිටය.

නමුත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම සිදුවී පනත වැඩි ඡන්ද 89කින් සම්මත වූයේ පසුගිය මැයි 20 වන දාය.

https://www.youtube.com/watch?v=jy1SeNiocSc

Also Read: වරාය නගර පනත් කෙටුම්පත් ඡන්ද විමසීමේ දී සජිත් ඡන්දය දීමෙන් වැළකී සිටියා ද?

ඒ අනුව පෙනී යන්නේ පසුගිය මැයි මස 20 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නොතිබුණි. එසේ තිබියදී Port City පනත් කෙටුම්පතට පක්ෂව ඔහුගේ ඡන්දය ලබා දුන් බවට පැවසීම අසත්‍ය ප්‍රකාශයකි.

අප මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශයෙන්ද, විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ හුවමාරු වූ ඡායාරුප අයත් අවස්ථාව මීට දින කිහිපයකට පෙර සිදුවූ පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු ආරාධනයක් මත සිදුවූ බවත්ය.

අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, එය ආචාරශීලී රාත්‍රී භෝජන සංග්‍රහයක් පමණක් බවයි. එසේම පාර්ලිමේන්තුවේදී මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම ගැන වික්‍රමසිංහ මහතාට එම සුහද සංවාදයේ කිසිඳු අවස්ථාවක සඳහන් නොවූ බව ද රුවන් විජයවර්ධන මහතා පවසා සිටියා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී

කෙසේවෙතත් මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් ලබා ගැනීම සඳහා අප කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානීගෙන්ද මෙම රාත්‍රී භෝජනය සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, මෙම රාත්‍රී භෝජනය Port City ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක Jiang Houliang මහතා විසින් ජූලි 17 වන සෙනසුරාදා සංවිධානය කළ පෞද්ගලික මට්ටමින් පැවැත්වූ සුහද රාත්‍රී භෝජන සංග්‍රහයක් බවයි.

එතුමා තවදුරටත් පවසා සිටියේ Jiang Houliang මහතා ලංකාවේ Port City ව්‍යාපෘතියෙන් ඉවත් වී China Harbour Engineering Company (CHEC) හි දකුණු ආසියාවේ කලාපීය කළමණාකාර අධ්‍යක්ෂ වශයෙන් සිය නව පත්වීම භාර ගැනීමට පිටත් වීමට පෙර ඔහුගේ සේවා කාලය තුළ Port City ව්‍යාපෘතිය සඳහා පසුගිය ආණ්ඩු දෙකෙන්ම ව්‍යාපෘතිය සඳහා සහාය ලබාදුන් විවිධ අමාත්‍යංශ සහ ආයතන නිලධාරීන් ඇතුළු පාර්ශව හමුවී ස්තූතිය පිරිනැමීමේ අවස්ථා කිහිපයක්ම සුදානම් කර තිබූ අතර මෙය ද එහි කොටසක් බවයි.

රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කරන ලද Port City ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට යහපාලන පාලන සමයේ සහාය ලබාදීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට මෙසේ සුහද හමුවක් සඳහා ආරාධනා කළ බවත් දන්වා සිටියා.

එසේම පසුගිය මැයි මාසයෙන් පසුව පෝට් සිටිය සම්බන්ධයෙන් කිසිඳු පනතක් පර්ලිම්නේතුවෙන් දී සභාගත වී හෝ සම්මත වී නොමැති බව ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී අපට තහවුරු කර සිටි අතර, අපට ද රනිල් වික්‍රමසිංහ මහතා ජුනි මස 23 වැනි දින පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව සම්මත වූ Port City සම්බන්ධ පාර්ලිමේන්තු පනතක් දැක ගන්නට ලැබුනේ නැහැ.

එමෙන්ම Jiang Houliang මහතා (CHEC) හි දකුණු ආසියාවේ කලාපීය කළමණාකාර අධ්‍යක්ෂ වශයෙන් සිය නව පත්වීම භාර ගැනීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් මාධ්‍ය වෙතට මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර මෙම නව පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ නොවී ඇති බව අපගේ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබිණි.

සැ.යු : මෙම සටහනේ දක්වා තිබු පරිදි ඉහත හමුවේ දී පැවැත්වූ වා යැයි දක්වා තිබු සකච්ඡා කුමන කරුණු මුල්කරගෙන සත්‍ය වශයෙන්ම සිදුවුණි දැයි යන්න ස්වාධීන ව සත්‍යාපනය කළහැකි කරුණක් නොවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් , කරුණක් විමර්ශනය නොකර ඇති බව කරුණාවෙන් සලකන්න.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ ඉහත සටහන් වල දක්වා ඇති පෝට්සිටි පනත පාර්ලිමේන්තුවේ විමසන අවස්ථාවේදි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධ නොවීම පිළිබදවද පෝට්සිටි ලොක්කා මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා හට ස්තුතිය පළ කළ බවට දක්වා ඇති කරුණ නොමග යවන සුළු බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ 2021 මැයි 20 වන දා වූ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පර්ලිමන්තුවේ දී දිවුරම් දෙනු ලැබුවේ ජූනි 23 වන දා වීමත් ඊට හේතුවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව මේ දක්වා මසක කාලයක් තුළ වූ Port City සම්බන්ධ පාර්ලිමේන්තු පනතක් සම්මත වූ අවස්ථාවක් දැක ගන්නට ලැබෙන්නේ ද නැත.

එමෙන්ම මෙම රාත්‍රී භෝජන සංග්‍රහය Port City ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක Jiang Houliang මහතා ලංකාවේ සිය ධූරයෙන් සමුගැනීම නිමිත්තෙන් සංවිධානය කළ පෞද්ගලික මට්ටමින් පැවැත්වූ සුහද රාත්‍රී භෝජන සංග්‍රහයක් බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානීවරයා ද තහවුරු කරනු ලැබුවා.

මේ ආකාරයෙන් සුහද හමුවීම් පිලිබඳ මීට පෙර ද නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබු අතර එවැනි එක් අවස්ථාවක් පහතින්.

FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

Avatar

Title:පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

Fact Check By: Sara Gunaratne

Result: Misleading