(Photo credit goes to “themorning.lk”)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව, පසුගිය සති කිහිපය පුරාම වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග රැසක් දියත් කරන්නට යෙදුණා.

මෙම උද්ඝෝෂණ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වන සමයක පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සිය කණස්සල ද පළ කර තිබු අතර මෙම උද්ඝෝෂණ අතරතුර දී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම සම්බන්ධයෙන් ද ඇතැම් පාර්ශව චෝදනා නඟා තිබුණා.

එබඳු තේමාවක් යටතේ මුව ආවරණ පැළඳීමකින් තොරව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිව උද්ඝෝෂණයක යෙදෙන ගුරුවරුන්ගේ බව දැක්වෙන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ ඇත්ත වශයෙන්ම මේ දිනවල දක්නට ලැබෙන ගුරු උද්ඝෝෂණවලට සම්බන්ධ ඡායාරුපයක් ද යන්න පිළිබඳ සිදුකරන ලද කරුණු සොයා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Kumar Zen නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා මුහුණු ආවරණ රහිතව සමාජ දුරස්ථ බවට අවනත නොවෙමින් උද්ඝෝෂණයේ යෙදෙන කාන්තාවන් පිරිසකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මේ ආකරයටම මේ දිනවල පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින ගුරුවරුන් පිරිසකගේ ඡායාරුපයක් බව හඟවමින් හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived

ඉහත පෝස්ටුවේ දැක්වෙන ඡායාරූපය පිලිබඳව සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් නිසා අප ඒ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළා.

FACT CHECK (සත්‍ය තොරතුරුසොයා බැලීම)

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලය පිලිබඳ කරුණු පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ මෙය දශක ගණනාවක් ඈතට විහිදී යන්නක් බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙරද උද්ඝෝෂණ රැසක් පවත්වා තිබු බව ද අපට දැක ගන්නට ලැබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ ගුරුවරියන්ගේ අතේ තිබු පුවරු පරීක්ෂා කිරීමේදී එහි දැක්වුණේ “වසර 22ක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරුනු!” යනුවෙනි. කෙසේ නමුත් මේ දිනවල, එනම් 2021 වසරේ ගුරු උද්ඝෝෂණ වල පුවරු වල දැක්වෙන්නේ 24 වසරක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා....” යනාදී වශයෙනි.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ මීට වසර 2කට පෙර උද්ඝෝෂණයක ඡායාරුපයක් බව අනුමාන කළ හැක.

මේ ඔස්සේ අප විසින් සිදු කරන ලද විමර්ශනයේදී පෙනී ගිය කාරණය නම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය, මීට වසර දෙකකට පෙර, කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර, එනම් 2019 සැප්තැම්බර් මාසයේ ගුරුවරුන් සිදු කල උද්ඝෝෂණයක් අතරතුර දී ලබාගත් ඡායාරූපයක් බවයි.

මෙම ඡායාරූපය මුලින්ම පළව තිබුනේ The Morning පුවත්පතේ නිල වෙබ් පිටුවකයි. අදාල පුවතට සම්බන්ධ පිවිසීම මෙතනින්. එම උද්ඝෝෂණය පිලිබඳ වීඩියෝවක් මෙතනින්.

The Morning | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහනේ ඡායාරුපය පරීක්ෂා කිරීමේ දී ද එහි “Morning” යන දිය සටහන්(Watermark) දැක ගන්නට ලැබෙනවා එම සංසන්දනය පහතින්.

මෙම ඡායාරූපය හා සම්බන්ධ උද්ඝෝෂණය සබැඳි තොරතුරු The Government Teachers Association of Sri Lanka ෆේස්බුක් පිටුවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.

එහි දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ දී 2019 සැප්තැම්බර් මස 26 වැනි දින පළවූ ඡායාරුපයක මෙම ගුරුවරියන් පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටින ආකාරය මෙසේ දැක ගන්නට ලැබුණි.

Facebook | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සහ The Morning පුවත්පතේ 2019 සැප්තැම්බර් මස පළවූ ඡායරුපයේ සිටින ගුරුවරු පිරිස එම ඇඳුම් සහ පුවරු ද අතැතිව මෙහි ද සිටින අයුරු පෙනී යනවා.

සැ. යු : මෙම කරුණු විමර්ෂණය සිදුකර තිබෙන්නේ ඉහත ඡායාරුපය සම්බන්ධයෙන් පමණක් බව කරුණාවෙන් සලකන්න. පසුගිය කාලයේ පැවති ගුරු උද්ඝෝෂණ අතරතුර දී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැද තිබුණා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අප කිසිඳු අදහසක් හෝ මතයක් ඉදිරිපත් කර නොමැත.

Also Read : FACT CHECK: ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

Conclusion (අවසාන නිගමනය)

අපගේ සොයා බැලීම් මඟින් අනාවරණය වූයේ ,ගුරුවරියන් පිරිසක් මුහුණු ආවරණ පැළැදීමෙන් තොරව මේ දිනවල උද්ඝෝෂණයේ යෙදෙන බව හඟවමින් හුවමාරු වී තිබූ ඡායාරූපය, කොරෝනා වසංගතය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර, එනම් 2019 සැප්තැම්බරයේ දී ලබා ගත් ඡායාරුපයක් බවයි.

ඒ අනුව මෙම ඡායාරුපය ,මේ දිනවල පැවැත්වෙන ගුරු උද්ඝොෂණ වලට ඈදා ගනිමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් පෙළකි.

FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?

Avatar

Title:මුහුණු ආවරණ නැතිව උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන්ගේ ඡායාරුපයක් ද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading