කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසූ බව හැඟවෙන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“රට විවෘත කරපු ගමන් අපි දෙමාපියන් එක්කම පාරට බහිනවා.... අපිට සුබෝධිනි ඕනෙමයි.” යනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 456 දෙනෙකු අතර සංසරණය කරගෙන තිබූ අතර එවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවත් පිරිස් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙවැනි ප්‍රකාශයක් ස්ටාලිං මහතා විසින් සිදු කළ බවට පුවත්පතක පළ වී ඇත්දැයි අප ප්‍රථමයෙන්ම විමර්ශනය කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, එවන් ප්‍රකාශයක් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වී නොතිබුණු බවයි.

නමුත් ''සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ නැතිව සා.පෙ. ප්‍රතිඵල දෙන සූදානමක්: දෙමව්පියන් සමග පාරට බහිනවා'' යනුවෙන් සඳහන් වූ ශීර්ෂ පාඨ රැගත් පුවතක් පසුගිය 12වන දා මව්බිම පුවත් පතේ පළමු පිටුවේ පළ වී තිබුණේ මෙලෙසින්. එම පුවත් ලිපිය මව්බිම වෙබ් අඩවියේ පළ වී තිබුණේ පහත අයුරින්.

Mawbima | Archived Link

ඉහත වාර්තාවේ ශීර්ෂ පාඨයේ සඳහන් පරිදි, ජෝසප් ස්ටාලිං මහතා හෝ ලංකා ගුරු සංගමය හෝ රට විවෘත කළ පසු වැටුප් විෂමතා ගැටළු සම්බන්ධයෙන් පාරට බහිනවා යනුවෙන් ප්‍රකාශ කළ බවට එම වාර්තාව තුළද, සඳහනක් නොවුණි. එම වාර්තාවේ දක්වා තිබුණේ සෞන්දර්ය විෂයන් පැවැත්වීමට නොහැකිවීම ගුරු අරගලය මත පටවමින් එම ප්‍රතිඵල නොමැතිව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම දරුවන්ට කෙරෙන බලවත් අසාධාරණයක් බවත් එවන් තීරණයකට දෙමාපියන් සමඟ එරෙහි වන බවත්ය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් විමසීමට අප ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කළ අතර ඒ මහතා සඳහන් කළේ, රට විවෘත කළ පසු දෙමාපියන් සමග පාරට බැසීමට කටයුතු කරනවා යනුවෙන් තමන් කිසිදු අවස්ථාවක නොපැවසූ බවයි. මව්බිම පුවත්පතට කළ සාකච්ඡාවේද සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයයන්වල ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වුවහොත් ගුරුවරුන් හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සමග මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් පමණක් බව ද අවධාරණය කර සිටියා.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනා පිළිබඳව පසුගිය දා කතිකාවතක් නිර්මාණය වී තිබුණි. සුභෝධනී කමිටු යෝජනාවේ(අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‘පී.කේ.එස්. සුභෝධනී මෙනෙවියගේ’ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව) අඩංගු ලෙස ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු යොදන ලෙසත්, සුභෝධනී කමිටු වාර්තාවෙන් යෝජනා කර ඇති වැටුපෙන් කොටසක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යෝජනා කර ඇති වැටුප එකවර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා ගුරු සංගම් ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය මෙතනින්.

ගුරු සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා සියයට 17 සිට 26 දක්වා මූලික වැටුප් වැඩිවීමක් සිදුවන බවත් එය එක් වර ලබාදෙන ලෙස ගුරු සංගම් ඉල්ලා ඇති නමුත් පවතින මූල්‍ය තත්ත්වය අනුව එය අවස්ථා තුනකදී ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබේ. ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින්.

කෙසේනමුත් ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය වෘත්තීය අරගලය ඉදිරියට රැගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පැවසුවේ මෙලෙසින්.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය කාලවකවාණුවේ දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පැවැත්වුණු අතර රටතුළ කොවිඩ් වාතාවරණය උත්සන්න වීම හේතුකොටගෙන එම උද්ඝෝෂණ තාවකාලිකව නතර වූවත් ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් ක්‍රම වලින් වැළකී සිය වර්ජනය මේ වන විටත් ඉදිරියටම ගෙන යනු ලබනවා.

කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර පාසල් පාදක තක්සේරුකරණය යටතේ ලබා ගන්නා ලකුණු මගින් අවසන් ලකුණු තීරණය කිරීමට පියවරගන්නා බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කර තිබුණේ. ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙතනින්. එසේම සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරු ඉවත් වන බව දක්වමින් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පසුගිය ජුලි මස කරුණු දැක්වූ අවස්ථාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය අනුව සඳහන් කළ හැක්කේ, “රට විවෘත කරපු ගමන් අපි දෙමාපියන් එක්කම පාරට බහිනවා” යනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෑතක දී පැවසූ බවට සඳහන් සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. එවන් ප්‍රකාශයක් ජෝශප් ස්ටාලින් මහතා විසින්  සිදු නොකළ බවට අප ඒ පිළිබඳ කළ විමසීමේ දී පැවසූ අතර, අපගේ විමර්ශනයේදී එවන් ප්‍රකාශයක් කළ බවට සඳහනක් දැකගන්නට නොලැබුණි. ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය වෘත්තීය අරගලය ඉදිරියට රැගෙන යන බව පවසිමින් ස්ටාලින් මහතා සඳහන් කළේ, රට විවෘත කළ පසු ගුරු උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

Avatar

Title:රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading