ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරන එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ඔවුන් සම්බන්ධයෙන් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයකු විසින් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ඡායාරූපයක් සමග පහත සටහන අන්තර්ජාලයට එක්කර තිබුණා.

“එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිමියන් ජාතික ගීය ගැයෙනා විට නැගී නොසිටීම ම 'එක රටක් එක නීතියක්" සංකල්පය එක්ක කොතරම් ගැලපෙනව ද කියල හිතන්න ඕන. හැබැයි මේක මේ හිමියන් විතරක් කරන එකක් නෙමෙයි, භික්ෂූන් වහන්සේ ජාතික ගීයට නැගී නොසිටින එක ලංකාවේ සාමාන්‍ය සිදුවීමක්. ඇත්තටම භික්ෂූන් වහන්සේ ජාතික ගීයට නැගී නොසිටින්නේ කුමන හේතුවක් නිසා ද? ජාතිය තමන්ට වඩා පහත් බව සිතන නිසා ද? එහි අනෙත් අරුත නම් තමන් ජාතියට වඩා උසස් බව සිතන නිසා ද? මෙය අතිශය අසාමාන්‍ය පුරුද්දක් බව එය දකින ඕනෑම කෙනෙකුට හැඟෙනු ඇත. මගේ මතය නම් බුදුන් වහන්සේ වැඩ සිටියේ නම් ඒ ශ්‍රේෂ්ඨ මිනිසා අනිවාර්යයෙන් ම ඒ උතුමන් වහන්සේ වසන රටෙහි ජාතික ගීයට නැගී සිටිනු ඇති බවයි.

තවත් කාරණයක්. ජාතික ගීයට නැගී සිටිනා විට තම දෑත කුමන ඉරියව්වක තබා ගත යුතු ද යන්න ද තාමත් අප රටේ සියළු දෙනාට ප්‍රශ්නාර්ථයකි. මේ පින්තූරයේ සිටින එක් මහත්මයෙකුට හැර අන් සියළු දෙනාට ඒ ගැන අවබෝධයක් නැති බව පෙනේ.”

Facebook | Archived

මෙම සටහනේ අවසාන කොටස මඟින් දක්වා තිබුනේ මෙම ඡායරුපයේ සිටිනුයේ “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ පිරිසක් බවත් ඔවුන් ජාතික ගීය පසුබිමේ වාදනය වන අවස්ථාවේ සිටින ඉරියව්ව බවත්ය.

සමාජ ජාලාවල වේගයෙන් ව්‍යාප්ත වන ඉහත ඡායාරූපය යොදාගනිමින් සැකසූ තවත් සටහනකි මේ.

“ජාතික ගීයටවත් නැගිටින්නේ නැති සාදුලා එක්ක එක රටක් එක නීතියක් හදන්නේ කොහොමද?”

Facebook | Archived

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් සහ ඒ හා සබැදි සටහන් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

මෙම ඡායාරුපය මුලින් ම අප Reverse Image සෙවුමක් සඳ යොමු කල අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ මෙම ඡායාරූපය මගින් නිරූපණය වන සිදුවීම මීට මසකටත් ඉහත දී, එනම් දෙසැම්බර් මස 3 වනදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරය තුළ පැවති “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්‍ය සාධක බලකාය මගින් මහජන අදහස් ලබා ගැනීම සදහා සිදු කරන ලද රැස්වීමක් අතරතුර දී ලබාගත් ඡායාරුපයක් බවයි.

“එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකාය නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසීම අරඹයි...යන තේමාවෙන් තිරිකුණාමලයේ පැවති මෙම මහජන අදහස් ලබාගැනීමේ අවස්ථාව පිලිබඳ පළවූ මාධ්‍ය වාර්තාවක් පහතින්.

Archived

ට්විටර් සමාජ ජාලයේද දෙසැම්බර් මුල් සතියේ ඉහත සඳහන් ඡායාරුපය පළකරමින් අදහස් පළව තිබුණු ආකාරයද අපට දැකගන්නට ලැබුණා .

Twitter | Archived

කෙසේ වෙතත් මෙම ඡායාරූපය ලබාගත් අවස්ථාව පිළිබඳව තොරතුරු සහ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පිලිබඳ තොරතුරු දැන ගැනීමට බොදු බල සේනාවේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගත්තා.

එහිදී මෙම සිදුවීමට අදාළ අවස්ථාවේ වීඩියෝව දර්ශන වෙනත් කෝණයකින් ද අප වෙත ලබාදෙමින් මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ එය ,ජාතික ගීය ගායනා කරන අවස්ථාවක් නොව යුද්ධයේදී ජීවිතක්ෂයට පත් හමුදා සාමාජිකයින් සහ රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙනා සිහිපත් කරන අවස්ථාවක් බවයි. ඒ බව පහත වීඩියෝ දර්ශන නැරඹීමේ දී අපට ද තහවුරු වූ අතර ඡායරුපයේ සිටින අවස්ථාවේ ද වෙනත් කෝණයක් බව ද තහවුරු වෙනවා.

https://vimeo.com/669088948

මෙහිදී අපට දැකගන්නට ලැබෙන්නේ ඥානසාර හිමියන් මෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාද ආසන වල සිටිමින්ම මියගිය හමුදා සාමාජිකයින් සහ රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය රකින අතර රුප රාමුවල දැක්වෙන පරිදි කාර්ය සාධක බලකායේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් සිය අසුන්වලින් නැගිට විනාඩියක නිශ්ශබ්දතාවය රකින බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ ජාල සටහනේ දැක්වෙන ආකාරයට ඡායාරූපයේ සිටින කාර්‍ය සාධක බලකා සාමාජිකයන් ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ දෑත් නිසි ආකාරයට තබා ගෙන නොමැති බව දැක්වෙන කොටස අසත්‍ය බවයි.

අප සමග අදහස් දැක්වූ එක රටක්- එක නීතියක් කාර්‍ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පවසා සිටියේ ත්‍රිකුණාමලයේ පැවති මෙම මහජන අදහස් ලබාගැනීමේ අවස්ථාවේදී ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුනු බවයි. මේ ආකාරයට රට වෙනුවෙන් දිවි පිදූ අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීම සෑම දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වන මහජන අදහස් ලබාගැනීම් වාරයකදීම වාගේ සිදු කරන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

මෙම ඡායාරුපය සම්බන්ධයෙන් දැක්වූ දීර්ඝ විස්තරයේ තිබු තවත් කරුණක් වූ ජාතික ගීය ගායනා කරනා අවස්තාවේදී ස්වාමීන් වහන්සේලා අසුනේ හිඳ සිටීම සම්බන්ධයෙන් දැන ගැනීමට අප බොදු බල සේනාවේ මාධ්‍ය ලේකම්වරයා නැවත සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ ජාතික ගීය ගායනා කරන උත්සව වලදී වුවත් ගිහියන් ඒ සදහා අසුන්වලින් නැගිට සිටියත්, අනෙකුත් බොහෝ ස්වාමීන් වහන්සේලා මෙන්ම ඥානසාර හිමියන්ද අසුනින් නැගී නොසිටින බවයි. එය ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් හැසිරෙන ස්වභාවය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. පසුගිය නිදහස් දින සැමරුම් සම්බන්ධ වීඩියෝ දර්ශන නැරඹීමේ දී අපට ද ස්වාමීන්වහන්සේලා ජාතික ගීය වාදනයේ දී අසුනෙන් නැගිට සිටින්නේ නැති බව දැක ගන්නට ලැබුනා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවක් බව සදහන් කරමින් පැතිරෙන සමාජ ජාල ඡායාරූපය සැබැවින්ම ජාතික ගීය කරන අවස්ථාවක් නොවන බවයි. එය “එක රටක් එක නීතියක්” ජනපති කාර්‍ය සාධක බලකාය, මහජන අදහස් ලබාගැනීමට පසුගිය දෙසැම්බර් මස 03 වැනිදා ත්‍රිකුණාමලය දිසා ලේකම් කාර්‍යාලයේදී සංවිධානය කර තිබු හමුවකදී, යුද්ධයේදී මියගිය හමුදා සෙබලුන් සහ අනෙකුත් රට වෙනුවෙන් දිවිපිදූ පිරිස් සිහිපත්කරමින් පැවති විනාඩියක නිශ්ශබ්දතාවයක් අතරතුර දී ලබාගත් ඡායරුපයකි.

කෙසේනමුත් විවිධ උත්සවවලදී ජාතික ගීය ගයනා කරන අවස්ථාවේ දී වුවද ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාද බොහෝ විට සිය ආසනවලින් නැගී සිටින්නේ නැත.

Avatar

Title:FACT CHECK: එක රටක් එක නීතියක් සාමාජිකයින් ජාතික ගීතයට ගරු නොකරමින් සිටින අවස්ථාවක්ද ?

Fact Check By: Kalana Krishantha

Result: Missing Context