ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පාරමීගේ ඡායාරූපයක් සහ ස්වර්ණවාහිනියෙන් ඉවත්වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින් .

“පාරමී සිරසට …

මෙච්චර කල් ස්වර්ණවාහිනී එකේ මාධ්‍යවේදියෝ එළියට දැම්මා මිනිස්සු දන්නා සුපිරි වැඩ්ඩෝ .එකෙක් සිරසෙන් ගත්තේ නෑ .මේ බලපන්කෝ ජීවිතේට දැක්කෙත් නෑ.අද සිරසෙන් අරගෙන .මහ දවාලේ ඩීල් ගැහුවම අහුවෙනවා කියලා අහල තිබ්බට දැන් තමයි ඒක දැක්කෙ .”

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පරිශීලකයන් දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින් .

මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශයේ ව්‍යාප්තව පැවතියේ මෙලෙසින් .

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

පාරමී රණසිංහ ඇයගේ ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක දක්වා තිබුණේ තමන් විසින් ෆේස්බුක් ගිණුමේ සටහන් කරන ලද කරුණු මත පදනම්ව රූපවාහිනියෙන් ඇයව ඉවත් කර ඇති අතර මේ වන විට රූපවාහිනිය ඇයට තහනක් කලාපයක් බවට පත් කර ඇති බවයි .

“පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.

හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි...

සදාකල් යෙහෙන් වැජඹේවා..

නැවතුමක් නොවේ හැරවුමක් පමණි........”

Facebook | Archived

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව විවේචනය කරන සටහනක් ෆේස්බුක් වල පළ කිරීම නිසා ඇයට මේ ආකාරයෙන් රූපවාහිනී පරිපාලනය විසින් ප්‍රතිචාර දක්වා ඇති බවක් .

ඒ සම්බන්ධයෙන් The Leader වෙබ් අඩවිය ඇය විසින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තබන ලද ෆේස්බුක් සටහනේ ඡායාරූපක්ද සහිතව මෙසේ එම පුවත වාර්තා කර තිබුණා .

The Leader | Archived

ඇය විසින් ජනාධිපතිවරයා පිළිබදව තබන ලද ෆේස්බුක් සටහන පහතින්.

කෙසේ වෙතත් ඇය සිරස ආයතනය ට සම්බන්ධවී තිබේද ?

මේ පිළිබදව අප පාරමී රණසිංහගෙන් කල විමසීමේදී ඇය පැවසුවේ තමන්ට රූපවාහිනී කළමණාකාරීත්වය හා සමග යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණද , තමන් සිරස ආයතනයට සම්බන්ධවී හෝ එසේ සම්බන්ධ වීමේ සූදානමක් හෝ නොමැති බවයි .තමන් සිරසට සම්බන්ධවීමට යන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් ඇය පැවසුවා .

එමෙන්ම සිරස ආයතනයෙන් අප කළ විමසීමකදීද ඔවුන් පවසා සිටියේ පාරමී තම ආයතනයට සම්බන්ධවී නොමැති බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂනයේදී තහවුරු වූයේ ජාතික රූපවාහිනිය සමග මේ දිනවල ප්‍රශ්නකාරී තත්ත්වයක සිටින නිවේදිකා පාරමී රණසිංහ සිරස සමග එක්වී ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවා වන බවයි. ඒ බව ඇය විසින් මෙන්ම සිරස මාධ්‍ය ආයතනය මගින්ද තහවුරු කළා.

Avatar

Title:රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

Fact Check By: Kalana Krishantha

Result: False