මේ දිනවල රටේ පවතින් අර්බුදය සමගින් මහජනතාව සෑම සිදුවීමක් පිළිබඳ, විමසිල්ලෙන් පසුවනවා. එවැනි අවස්ථාවකදී ජනතාව නොමග යෑමකට තුඩුදුන් වීඩියෝවක් හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අධිආරක්ෂිතව කොළඹ වරායේ පැටවූ බූදලය කාගේද යන්නයි. සැබවින්ම මෙම බහාළුවේ ඇත්තේ කුමක්ද? මෙවැනි ආරක්ෂාවක් එම බහාළුවට ලබා දී ඇත්තේ ඇයි? මෙම ගැටලුවලට පිළිතුරු සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

අධි ආරක්ෂිතව කොලඹ වරායේ JCT පර්‍යන්තයේ පටවන්නේ කාගේ බූදලයක්ද? කන්ටේනර් අංකය - 0270586” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ කන්ටේනර් බහාලුමකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද අධිආරක්ෂාවක් සපයන ලද බවට පෙන්නුම් කෙරෙන ඡායාරූපයක් ද සමගින්.

Facebook | Archived Link

ට්විටර් ඔස්සේ ද මෙම ඡායාරූපය සංසරණය වී තිබුණේ, මෙලෙස හොර රහසේ පටවන බහාලුම කුමක්ද යන්නයි විමසමින්.

https://twitter.com/chamithwije/status/1511301678758211585

Archived Link

වට්ස්ඇප් ඔස්සේ ද, මේ පිළිබඳව හුවමාරු වී තිබුණා.

ෆේස්බුක් ඔස්සේ කොළඹ වරාය පර්යන්තයේදී මෙම බහාලුම අවට දැඩි ආරක්ෂාවක් ලබා දී අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක්ද සංසරණය වී තිබුණා.

https://vimeo.com/696424580

Facebook

වෙනත් කෝණයකින් පළ වූ වීඩියෝවක් මෙතනින්. Archived Link

එමෙන්ම රාත්‍රී කාලයේදී පටිගත කර තිබූ තවත් වීඩියෝවක්ද, ටික්ටොක් හරහා මෙලෙස සංසරණය වී තිබුණා.

https://www.tiktok.com/@avishkathathsara/video/7049376244286147867?is_from_webapp=1&sender_device=pc&web_id=7049928744694400513

Tiktok Link| Archived Link

එම වීඩියෝවම ෆේස්බුක් ඔස්සේ ද අද දිනයේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම බහාලුමේ සත්‍ය වශයෙන්ම ඇත්තේ කුමක්ද? මෙලෙසින් ඉහත සඳහන් කළ බහාලුමට ආරක්ෂාව සපයා දී ඇත්තේ කුමන කරුණක් පදනම් කර ගනිමින්ද යන්න පිළිබඳ අප විමර්ශනය කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම අවස්ථාව සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලබනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්

මෙම කන්ටේනරයේ අන්තර්ගත වී ඇත්තේ කොබෝල්ට් 60 නම් විකිරණශීලී ද්‍රව්‍ය වන අතර එය රෝහල්වල එක්ස් කිරණ යන්ත්‍ර වැනි වෛද්‍ය උපකරණවල භාවිතා කරන ප්‍රබල විකිරණශීලී ද්‍රව්‍යවල අපද්‍රව්‍ය නිෂ්පාදනයක් බවත් ශ්‍රී ලංකාව තුළ මෙම අතුරු නිෂ්පාදනය ආරක්ෂිතව බැහැර කිරීමට නොහැකි බැවින් ආරක්ෂිතව බැහැර කිරීම සඳහා කැනඩාව වෙත යොමු කෙරේ. කොබෝල්ට් 60 ඉතා විකිරණශීලී ද්‍රව්‍යයක් නොවන නමුත් පිරිහුණු කොබෝල්ට් විකිරණශීලී වන අතර අනතුරුදායක භාණ්ඩ (DC) ලෙස සලකනු ලබන අතර අන්තරායකර භාණ්ඩ ප්‍රොටෝකෝලය අනුගමනය කරමින් පොලිස් ආරක්ෂාව අනිවාර්ය බව කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළා.

එසේම මෙම කන්ටේනරය පෞද්ගලික සමාගමකට අයත් වන අතර අවුරුදු 25කටත් වඩා පැරණි මෙම සමාගම අදාළ ක්‍රියා පටිපාටිය යටතේ විකිරිණ ද්‍රව්‍ය ආනයනය කරන අතර මෙලෙස විකිරණ අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන බවත්, ඒ සෑම අවස්ථාවකදීම මෙලෙස දැඩි ආරක්ෂාවක් ලබා දෙන බවත් පුපුරණ ද්‍රව්‍ය ආඥාපනතේ විධිවිධානවලට අනුව, මහජන ආරක්‍ෂාව මෙම ද්‍රව්‍ය සොරකම් කිරීමට හෝ බාහිර පාර්ශ්වයක් අතට පත් වී අනතුරක් වීම වැළැක්වීමටත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය බැඳි සිටින බවත් අදාළ සියලු ප්‍රටකෝලයන්ට අයත්ව මේ සියලුම බහාලුම් වරායේ දැඩි අධීක්ෂණය යටතේ නැව් ගත කරන බවත් කපිතාන් පවසා සිටියා.

මීට පෙරද මෙලෙස දැඩි ආරක්ෂාව යටතේ විකිරිණ ශීලි ද්‍රව්‍ය රැගත් බහාලුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර නමුත් මේ වන විට රටේ උද්ගත වී ඇති තත්ත්වය මත ජනතාව මෙලෙස නොමග ගොස් ඇති බවයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා වැඩි දුරටත් පවසා සිටියේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිල වෙබ් අඩවියේද මේ පිළිබඳව නිවැරදි කිරීමක් සඳහන් කර තිබුණේ මේ අයුරින්. එමෙන්ම නිල ෆේස්බුක් ගිණුමේ ද ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කිරීමක් දක්වා තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාව

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාව පවසන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ සහ වීඩියෝවල දැක්වෙන බහාලුම අවුරුදු 20ක් භාවිත කර ගලවා ඉවත් කරන ලද කොබෝල්ට් - 60 නමැති විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද බහාලුමක් වන බවත්, මෙම විකිරිණ ද්‍රව්‍ය අපහරණය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් අනුමැතිය ලබා දී ඇති බවයි.

ඉහත සඳහන් විකිරිණශීලි ද්‍රව්‍ය අඩංගු බහාලුම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ සුරක්ෂිතව කොළඹ වරාය වෙත ප්‍රවාහනය කර ඇති බවත්, එම බහාලුම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා නිකුත් කරන ලද රෙගුලාසි අනුව සිදු කළ බවත්, ශ්‍රී ලංකාව තුළ අධි විකිරණශීලි ප්‍රභව ප්‍රවාහනය කිරීමේදී සහ එය විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ප්‍රවාහනය කිරීම, බලශක්ති නියාමන සභාව විසින් එවැනි සමාගම් වෙත බලපත්‍ර ලබා දීමේදී බලපත්‍ර ලාභියාට පනවන කොන්දේසියක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විකිරිණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඇතිව ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමේදී ද ඒ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් අනුමැතිය ලබා ගත යුතු බවත් ඔවුන් සඳහන් කරනවා.

මීට ඉහතදී මේ හා සමාන විකිරිණශීලි ප්‍රභව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව පිළිකා ප්‍රතිකාර සඳහා බදුල්ල, කරාපිටිය, යාපනය සහ මහනුවර යන රෝහල් වලට ද ප්‍රවාහනය කර ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය නිවේදනය මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ සමබන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව කොළඹ වරායේ නතරකර තිබූ කන්ටේනර් රථය බියගම පෞද්ගලික ආයතනයක සිට කොළඹ වරාය වෙතට විකිරණශීලි ප්‍රභවයක් ප්‍රවාහනය කරන ලද කන්ටේනර් රථයක් වන බවත්, විකිරණශීලි ප්‍රභවයන් රට තුළ ප්‍රවාහනය කිරීමේදී 1984 අංක 40 දරණ පරමාණු බලශක්ති පනතට අනුව නියමිත බලධාරීයෙකු විසින් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින අවස්ථාවකදී එම ආරක්ෂාව ලබා දීම පොලිසිය විසින් කටයුතු කරනු ඇති බවයි.

ඒ අනුව, පොලීසිය මෙම විකිරණශීලි ප්‍රභව ප්‍රවාහනය කිරීමේදී පොලීසිය රජයේ ගාස්තු අයකර ගැනීමකින් පසුව අදාළ ආරක්ෂාව ලබා දුන් බවත්, ඉහත අවස්ථාව සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායත්, මාර්ගයේ රථවාහන පාලනය සඳහා යතුරුපැදි ලබා දීම පොලිස් රථවාහන මූලස්ථානය මගින් සපයා ඇති බවත්ය. එසේම විකිරණශිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී පරමාණු බලශක්ති අධිකාරියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රවාහනය කරනු ලබන අතර ආරම්භයේ සිට ගමනාන්නතය දක්වා ඉතා සුරක්ෂිතව ප්‍රවාහනය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. එම මාධ්‍ය නිවේදනය මෙතනින්.

0270586 කන්ටේනර් බහලුම අයත් බියගම පෞද්ගලික ආයතනයේ පාරිසරික තිරසාරත්ව අධ්‍යක්ෂ

සිය ආයතනයට අනවශ්‍ය ලෙස මැදිහත්වීමක අවශ්‍යතාවය නොමැති හෙයින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම ආයතනයේ නම හෙළි නොකරන ලද මේ වන විටත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් එම ආයතනයේ නම ප්‍රසිද්ධ කර ඇතත් ඔවුන්ගේ ඉල්ලීමට මුල් තැන දෙමින් අප මෙම වාර්තාවේ එම පෞද්ගලික ආයතනයේ නම සඳහන් නොකරන්නෙමු.

එම ආයතනය ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය වශයෙන් ප්‍රමුඛ ආයතනයක් වන අතර ලංකාවේ වෛද්‍ය කටයුතුවලට යොදාගන්න අත් සහ අත් ආරක්ෂණ විසඳුම්, ආරක්ෂණ ඇඳුම් ඇතුළුට වෙනත් ආරක්ෂණ නිෂ්පාදනය සිදු කරන ආයතනයකි.

මෙම ආයතනය විසින් අවුරුදු 20ට ප්‍රථම ගෙන ආ විකිරණශිලි ප්‍රභවයන් නැවත ප්‍රතිසැකසුමක් සඳහා මේ වසරේදී මෙලෙස අපනයනය කිරීමට කොළඹ වරාය වෙත ගෙන ඒමේදී මෙලෙස ජනතාව නොමග ගොස් ඇති බවයි.

වසරකට වරක් පමණ මෙලෙස විකිරණ ශිලි ප්‍රභවයන් එම ආයතනයේ නිෂ්පාදන සඳහා ආනයනය කරන බවත් එම අවස්ථාවන් වලදී ද, මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව බහාලුමට සපයන බවත් එය විකිරණශිලි ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ආරක්ෂාව ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාව විසින් පනවා ඇති කොන්දේසියක් බවත් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේදී පවා ආරක්ෂාව සඳහා මෙලෙස විකිරණ ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ආරක්ෂාව ලබා දෙන බවත් සඳහන් කළා.

මෙරට එලෙස විකිරණශිලි ප්‍රභවයන් ආනයනය කරනු ලබන ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය බහුලව ඔවුන්ගේ කාර්යයන් සඳහා මෙලෙස විකිරණ ශිලි ප්‍රභවයන් ආනයනය කරන අතර එම බහාලුම් වලටද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන බවත් ඒ මහතා පැවසුවා.

මීට පෙර එම ආයතනය විසින් පසුගිය වසරේ දෙසැබ්බර් මස දී ආනයනය කළ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බහාලුමක් සිය ආයතනය කරා රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ එම කාලයේදී සංසරණය වූ බවත්, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ගමන් කළ වීඩියෝව එලෙස පෙර අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් බවද, අප ඉහත වීඩියෝව ඔවුන් වෙත යොමු කිරීමෙන් අනතුරුව තහවුරු කර ගනු ලැබුවා. එම අවස්ථාවේ ආයතනය වෙනුවෙන් තමන්ද එම අවස්ථාවේ සිටි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ඇති වූ තිබෙන අර්බුදකාරී වටපිටාව හේතුවෙන් ජනතාව දැඩිව විමසිලිවත් වීම හේතුවෙන් හා මීට පෙර ඔවුන්ගේ අවධානයට යොමු නොවූ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අනවබෝධයක් පැන නැගීමට හේතු වී ඇති බව තමන් උපකල්පනය කරන බවත් නමුත් ඔවුන් වාර්ෂිකව විකිරණශීල ප්‍රභවයන් මෙලෙස ආනයන හා ප්‍රතිඅපනයනය සිදු කරන බවයි එම ආයතනය වෙනුවෙන් එම අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය (SLGC) යනු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යටතේ පවතින එක් මධ්‍යස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රජය සතු බහුකාර්ය ගැමා ප්‍රකිරණ පහසුකම වේ.

එය 2014 සිට ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන වශයෙන් වෛද්‍ය අංශය, ආහාර අංශය සහ රටේ අනෙකුත් අංශ සඳහා වෛද්‍ය උපකරණ සඳහා සේවා සපයයි. එය ගැමා විකිරණ සේවාව සඳහා ජාතික මධ්‍යස්ථානය ලෙසත් ගැමා විකිරණ සැකසුම් සඳහා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ලෙසත් ක්‍රියා කරයි.

එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය විරාජ් එදිරිසිංහ මහතාගෙන් අප දුරකතන මාර්ගයෙන් විමසා සිටියේ මෙලෙස විකිරිණශිලි ප්‍රභවයන් ප්‍රවාහනය කිරීමේදී ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන්.

වෛද්‍ය විරාජ් එදිරිසිංහ මහතා සඳහන් කළේ, විකිරණශිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී අන්තර්ජාතික වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පවතින බවත් ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු බවත් මෙරටදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව විකිරණශීලි ප්‍රභවයන් ප්‍රවාහනය කිරීමේදී ලබා දෙන බවත් එයට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාවේ අනුමැතියද ලබා ගත යුතු වන බවයි. විකිරණශිලි ද්‍රව්‍ය අඩංගු බැවින්, ඉතාමත් ආරක්ෂාකාරිව යම් ප්‍රෝටකෝලයකට අනුව අනුගමනය කරමින් නැව්ගත කිරීම හා අදාළ ආයතන දක්වා ප්‍රවාහනය කළ යුතු බවත්, මෙම විකිරණ ශිලි ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඕනෑම අවස්ථාවක අනතුරකට භාජනය විය හැකි බැවින් අදාළ ආරක්ෂා පිළිවෙළ අනුගමනය කරන්නේ ජනතාවගේම ආරක්ෂාවට බවත්, ගැමා මධ්‍යස්ථානයටද, එවැනි විකිරණශිලි ප්‍රභවයන් ප්‍රවාහනය කිරීමේදි දැඩි ආරක්ෂාවක් ලබා දිය යුතු බවත්. එය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් බවයි, එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය විරාජ් එදිරිසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

මේ වන විටත් මෙම බහලුව ප්‍රතිනැව්ගත කිරිම සදහා පෙර සුදානම් කිරිමට සමගි බහාලු පර්යන්තය වෙත රැගෙන ගොස් ඇති අතර එයට හේතුව වන්නේ මෙය අධි විකිරණශිලි (Highly Radio Active) බහාළුමක් බැවින් නැවත ප්‍රති සැකසීමක් වන අතර බහාළුව අපනයනය කර ඇති ආයතනයේද සෘජු අධික්ෂණය යටතේ මෙය සිදුකරයි. එය ප්‍රතිනැව් ගත කරන අවස්ථාවේ මේ ආකාරයෙන් පොලිස් විශේෂ බලකා හෝ පොලිස් ආරක්ෂාව යොදාගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ.

තවද මෙවැනි බහාලුන් ප්‍රතිනැව් ගත කිරීමේදී වරාය ගිනි නිවීමේ අංශයද සීරුවෙන් තබයි. එම බහාලුමේ ආරක්ෂාව හා අනෙකුත් ආරක්ෂිත ක්‍රියාමර්ග සඳහා බවත් මෙය වරාය තුල සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටවු හරහා දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන්ම එම බහලුවේ අඩංගු ද්‍රව්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳහන් වන්නේ කුමක්ද යන්න තහවුරු කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා පරිගණක පද්ධතියකට ඇතුළත් කර තිබූ දත්ත වල ඡායාරූප දක්වා තිබුණා. එම දත්ත වල ඡායාරූප පහතින්.

විකිරණශිලි ද්‍රව්‍ය ආරක්ෂිත ප්‍රවාහනය සඳහා වන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (IEAE) විසින් නිකුත් කරන ලද රෙගුලාසි මෙතනින්.

1956 අංක 21 පුපුරණ ද්‍රව්‍ය පනත මෙතනින්.

2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත මෙතනින්. විකිරණශිලි ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් 35 වන පිටුව.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, කොළඹ වරාය පර්යන්තයේ හොර රහසේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව නැව්ගත කිරීමට සූදානම් වන්නේ කුමන බහාලුම් ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල සහ ඡායාරූප වල දැක්වෙන්නේ, පෞද්ගලික ආයතනයක විකිරණශිලි ද්‍රව්‍ය රැගත් බහාළුවක් ප්‍රතිඅපනයනය කරන අවස්ථාවේ අනුගමනය කළ යුතු ආරක්ෂණ ක්‍රියාපටිය බවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය, 0270586 කන්ටේනර් බහාළුව අයත් බියගම පෞද්ගලික ආයතනය, ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද සහ ගැමා මධ්‍යස්ථානයද තහවුරු කරනු ලබන බවයි. වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ පිළිබඳ ජනතාවගේ නොදැනුවත් භාවය හේතුවෙන් මෙලෙස ජනතාව මේ සම්බන්ධයෙන් නොමග ගොස් තිබුණා.

Avatar

Title:FACT CHECK: අධිආරක්ෂිතව කොලඹ වරාය පර්යන්තයේ පැටවූ බහාළුව කුමක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading