අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ දී බහුලව හුවමාරු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ට්විටර් පණිවිඩයක්, මෑතක දී නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් තබමින් කියා සිටියේ හෙට දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසු ඉල්ලා අස්වන බවකි.” යනුවෙන් සඳහන් කරමින් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා මෑතකදී ට්විටර් පණිවිඩයක් පළ කළ බවට හඟවමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් හුවමාරු වුණා.

Facebook | Archived Link

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙය සත්‍ය බවට ඇතමුන් විශ්වාස කරන බවටයි.

තවත් සටහන් කිහිපයක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

නාමල් රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී ද, එවැනි ට්විටර් පණිවිඩයක් මෑතකදී පළ වී තිබු ආකරයක් දක්නට නොලැබුණි.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා උපයෝගී කර ගෙන තිබුණ නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ බවට තිබූ ට්විටර් පණිවිඩය දෙස අපගේ අවධානය යොමු කළ අතර එහි ඉංග්‍රීසි බසින් පළ කර තිබූ සටනේ සිංහල පරිවර්තනය මෙසේය.

ජාතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමෙන් පසු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවටත්. මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රීලනිප සහ අනෙකුත් අය සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපති සිරිසේන සමඟ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරනු ඇති” බවටයි.

එම පණිවිඩයේ ජනාධිපති වශයෙන් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම බැවින් මෙම පණිවිඩය එම අවධියේ පළ කර ඇති බවට අනුමාන කළ හැක.

නාමල් රාජපක්ෂ මහතා විසින් එම වකවාණුවේ මෙවැනි ආකාරයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කළා ද යන්න අප නිරීක්ෂණය කළ අතර එහිදී 2018 වර්ෂයේ දෙසැම්බර් 14 වන දා නාමල් රාජපක්ෂ නිල ට්විටර් ගිණුම මගින් පළ කළ පණිවිඩය ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගත් බවට අපට තහවුරු වුණා.

https://twitter.com/RajapaksaNamal/status/1073571310691733504

Archived Link

එම පණිවිඩය වෙනත් පුද්ගලයන් විසින් ට්විටර් ඔස්සේ බෙදා ගෙන තිබුණේ මෙලෙසින්.

ප්‍රධාන මාධ්‍ය වාර්තා ද එම ට්විටර් පණිවිඩය පිළිබඳ සඳහන් කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමඟ එතෙක් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබුවා.

කෙසේනමුත් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් කිරීම, නීතිය ඉදිරියේ වලංගු නොවන බැවින් රටේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 වසරේ නොවැම්බර් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරනු ලැබුවා. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

2018 වසරේ මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ පළවූ සමාජ මාධ්‍ය සටහනක් පසුගිය වසරේ ද නැවත වරක් හුවමාරු වූ අවස්ථාවක් පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්.

මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(03) ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයා වෙත බාර දී තිබුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිව ය.

විපක්ෂනායකවරයා සමග ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකාර්, ගයන්ත කරුණාතිලක සහ ඉරාන් වික්‍රමරත්න යන අයද, මෙම අවස්ථාවට එක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතිනින් සහ මෙතනින්.

හෙට (04) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බවට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් හා සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පෙන්වා දෙනවා.

ජාතික එකඟතා ආණ්ඩුවක් පත් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගැනීම වෙනුවෙන් පත්කෙරුණු කමිටු සාමාජිකයින් අද (03) පෙරවරුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

කමිටුව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරු සාකච්ඡාවට එක්වු අතර ඊට අමතරව ස්වාධීන මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා හා නලීන් පෙරේරා යන අයද සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවතක් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වන බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෑතක දී ට්විටර් පණිවිඩයක් පළ කළ බවට දක්වා තිබුණේ, 2018 වසරේ අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ගිණුමේ පළ කරන ලද ට්විටර් පණිවිඩයකි.

Avatar

Title:අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වන බවට නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context