Update : 16/05/22

ගාලුමුවදොර, කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහරදී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 398 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති දුරකතන වලට ලබා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=TIgLeF0SWEQ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කණ්ඩායම් විසින් ‍පසුගිය 09 වන දා ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයට කඩා වැදී ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රකෝපකාරී වූ මහ ජනතාව එම කණ්ඩායම් වලට ප්‍රතිප්‍රහාර මෙන්ම මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලටද ගිනි තබමින් ප්‍රකෝපකාරීව හැසිරුණා. මෙම ගිනි තැබීම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප දක්වමින් ඔවුන් සොයා ගැනීමට පොලීසිය සහය පතන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඇමති ප්‍රසන්නගේ නිවස ගිනිබත් කිරීමට පැමිනි මේ අය හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි. තොරතුරු දන්නේනම් ලගම පොලීසියට දැනුම් දෙන්නයනුවෙන් සඳහන් කරමින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

එම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය මැයි 09 වන දා රටේ ඇති වූ තත්ත්වය මත ප්‍රචන්ඩව හැසිරුණු පුද්ගලයන් හෝ විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා මාධ්‍ය වෙත එම පුද්ගලයන්ගේ ඡායාරූප යොමු කළා ද යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

පසුගිය දින කිහිපයේ දී වෙනත් අමාත්‍යවරුන්ගේ නිවෙස් වලට අලාභ හානි කළ පුද්ගලයන්ගේ ඡායාරූප සම්බන්ධයෙන් ද පොලීසිය සහය පතා ඇත්දැයි යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් පොලීසිය එවැනි ආකාරයේ සහය පැතීමක් සිදු කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා හෝ වාර්තා නොවූ බවත් වෙනත් කිසිදු අමාත්‍යවරයෙකුගේ නිවසකට සිදු කළ අලාභ හානිය සිදු කළ පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ඔවුන් හඳුනා ගැනීමට පොලීසිය සහය පතන බවට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා. කෙසේනමුත් විවිධ ප්‍රදේශවල සිදුවූ කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධව නිවේදන කිහිපයක් ම නිකුත් කර තිබුණි.

සමාජ මාධ්‍ය සටහන් හි දැක්වෙන කරුණු පිළිබඳව අදාළ පාර්ශ්වයන්ගෙන් අප ලබා ගත් ප්‍රකාශයන් පහතින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

ඔවුන් සඳහන් කළේ, පසුගිය 09 වන දා වූ සිදුවීම් මාලාවට සම්බන්ධ පුද්ගලයන් සොයා ඔවුන්ගේ ඡායාරූප පළ කරමින් එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහජන සහය පතා කිසිදු නිවේදනයක් හෝ ඡායාරූපයක් හෝ මාධ්‍ය මගින් හෝ දක්වා නොමැති බවයි.

ගම්පහ පොලිස් ස්ථානාධිපති

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඉහත සමාජ මාධ්‍ය සටහනට පාදක වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි නිවස අයත් වන ගම්පහ පොලිස් ස්ථානයේ, පොලිස් ස්ථානාධිපතිගෙන් ද, විමසීමක් සිදු කළා.

අප විමසා සිටියේ, ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් බවට සැකකරන අයගේ ඡායාරූප යොදා ගනිමින් ඔවුන් පිළිබඳ තොරතුරු විමසීමට මහජන සහාය පතා සමාජ මාධ්‍ය වෙතට හෝ ප්‍රධාන මාධ්‍ය වෙතට පුද්ගලයන්ගේ ඡායාරූප යොමු කළාද, යන්නයි.

ගම්පහ පොලිස් ස්ථානාධිපති වරයා පවසා සිටියේ එම සිද්ධියට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතා කිසිදු පුද්ගලයෙකුගේ ඡායාරූප මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙත යොමු නොකළ ඇති බවයි.

මධූෂ ඩිලාන් රෝසා

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ වම් පසින් සිටින පුද්ගලයාව අපට සොයාගැනීමට හැකිවූ අතර දුරකතන මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු නමින් මධූෂ ඩිලාන් රෝසා නමැති පුද්ගලයෙකි. ඔහු සඳහන් කළේ, තමන්ගේ ඡායාරූපය අවභාවිත කරමින් තමන් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ගිනි තැබීමට සැකකරුවෙකු බව සඳහන් කරමින් තමන් ගැන තොරතුරු පොලීසියට වාර්තා කරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ තම ඡායාරූපයද, හුවමාරු වී ඇති අතර තමන් එම අවස්ථාවට සහභාගී නොවූ බවයි.

එම ඡායාරූපය ලබා ගෙන ඇත්තේද, පසුගිය 10 වන දා උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ අසළ පැවති විරෝධතාවට තමන් සහභාගී වූ අවස්ථාවක ඡායාරූපයක් බවයි ඔහු සඳහන් කළේ. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්. (2.14 සහ 2.30 යන අවස්ථාවල දී ඔහුව සමාජ මාධ්‍ය සටහන් හි දැක්වෙන පරිදි දැකගනන්ට ද ලැබෙනවා)

ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්

අප මේ පිළිබඳ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් වරයාගෙන් ද විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ දකුණු පසින් සිටින පුද්ගලයා මිනුවන්ගොඩ ‘ගෝඨා ගෝ ගම’ ශාඛාවේදී විරෝධතාවට සහභාගි වූ පුද්ගලයෙක් බවත් එහිදී ප්‍රසන්ත රණතුංග මහතාගේ නිවසේ ගිනි තැබීමට පුද්ගලයන් පිටත් වූ බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේම එම පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳ ඉදිරියේදී තොරතුරු හෙළි කරන බවත් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පහරදීම් වලට අදාළ CCTV දර්ශන තුළ ද මෙම පුද්ගලයින් සිටින බවත් පවසා සිටියා.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ගිනිබත් වෙමින් පවතින අවස්ථාවේ දර්ශන මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය සටහන්හි දකුණු පසින් දැක්වෙන එම පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට අප දිගින් දිගටම උත්සහ කරන අතර ඔහුගේ ප්‍රකාශය සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

එසේම මෙම සිද්ධිය පිලිබඳ ඉදිරියේ දී සිදුවන විමර්ශන මත හෙළිවන කරුණු අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු

පසුගිය දින කිහිපයේ දී රටේ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ,පක්ෂ පාට බේදයකින් තොරව වැරදි කරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙනවා.

නීතිවිරෝධී මැර කණ්ඩායම්, ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් සහ රාජ්‍ය/පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම අංක නම් 076739397, 0112441146 හෝ 118 වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙන් දෙදෙනෙකුගේ ඡායාරූප යොමු කරමින් ඔවුන් හඳුනා ගැනීමට පොලීසිය විසින් මහජන සහය පතනවා යනුවෙන් සඳහන් වන්නේ නොමඟ යවන සුළු සටහනක් බවයි. ප්‍රසන්න රණතුංග මහතාගේ හෝ වෙනත් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසගේ නිවෙස්වලට පසුගිය දින කිහිපයේ ප්‍රහාර එල්ලකළ පුද්ගලයින් සොයාගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහය පතමින් ඡායාරූප ප්‍රධාන මාධ්‍ය හරහා හෝ සමාජ මාධ්‍ය වෙත යොමු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ද තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් සොයාගැනීමට පොලීසිය මහජනතාවගේ සහය පැතුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading