දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් 2019 වර්ෂයේ සිට මේ වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

2019 නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා. එම පාසල් 10 නම්,

01. රත්නාවලී බාලිකා විද්‍යාලය.

02. දේවි බාලිකා විද්‍යාලය.

03. රණබිම රාජකීය විද්‍යාලය.

04. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය.

05. වෙම්බදි බාලිකා විද්‍යාලය යාපනය

06. බණ්ඩාරනායක මහා විද්‍යාලය වේයන්ගොඩ

07. පානදුර බාලිකා මහා විද්‍යාලය

08. තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය හොරණ.

09. පුෂ්පදාන බාලිකා විද්‍යාලය මහනුවර

10. විශාකා විද්‍යාලය කොළඹ

Facebook | Archived Link

එම සටහන 2019 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

YouTube ඔස්සේ ද, මෙම පාසල් ඇතුළත් කරගනිමින් 2019 වර්ෂයේදී වීඩියෝවක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ඉහත සටහන් සඳහා ඇතැම් ෆේස්බුක් පරිශිලකයින් විසින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙහි සත්‍යක් බවට ඔවුන් පිළිගන්නා බවයි.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළේ,මෙරට හොඳම පාසල් 10 ලෙස පාසල් වර්ගීකරණය කළ පුවතක් 2019 වසරේදී හෝ මෑතකදී පළ වී ඇත්දැයි යනුවෙන්. නමුත් එලෙස හොඳම පාසල් 10 ලෙස කිසිදු පාසලක් නම් කළ පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණි.

අධ්‍යාපන පහසුකම් හා වරප්‍රසාද නගරාශ්‍රිත පාසල් කිහිපයක් වටා පමණක් කේන්ද්‍රගත වීම හේතුවෙන් ජාතික විභාග සඳහා අසාධාරණ හා අසමාන පහසුකම් යටතේ තරඟ කිරීමට එම පහසුකම් නැති දරුවන්ට සිදුවීම හේතුව මත 'ළගම පාසල -හොදම පාසල ව්‍යාපෘතිය' 2019 වසරේ සිට ක්‍රියාත්මක විය. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මේ හේතුවෙන් ද, මෙවන් වර්ගී කරණයක් එම වසරේදී සිදු වූ බවට උපකල්පනය කළ නොහැක.

2019 වසරේ සිදු කළ ශ්‍රේණිගත කිරීමක් ලෙස සඳහන් කර තිබූ එම සටහන් සම්බන්ධයෙන් හොඳම පාසල් සඳහා පාදක කර ගනු ලැබූ නිර්ණායකයන් කුමක්ද යන්න සඳහන් කර නොතිබුණි.

ඉහත සඳහන් වීඩියෝ‍වේ සඳහා මූලාශ්‍ර ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු, විභාග දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් තොරතුරු ද ලබා ගෙන ඇති බවට සඳහන් කළද, නිශ්චිත ලෙස එම මූලාශ්‍ර කුමක්ද යන්න හෝ නිර්ණායක කවරේද යන්න සඳහන් කර නොතිබුණි.

කෙසේවෙතත් අප මේ පිළිබඳව විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.කේ.එගොඩවෙල මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, පාසල්, හොඳම පාසල් ලෙස ශ්‍රේණිගත කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කර නොමැති බවයි.

ජාතික අධ්‍යාපන පර්යේෂණ හා ඇගයීම් මධ්‍යස්ථානයෙන්(NEREC) අප මෙවැනි වර්ගී කරණයක් මෙරට පාසල් හරහා සිදු කරනවාද යන්න පිළිබඳ අප විමසීමක් කළා.

ඔවුන් සඳහන් කළේ, මෙම ආයතනය විසින් එවැනි වර්ගී කරණයන් නොකරන බවත්, රජයේ පාසල් 1AB, 1C 2 වර්ගය, 3 වර්ගය යනුවෙන් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වර්ග කර ඇති බවයි. 1AB පාසල් අ.පො.ස. (උ.පෙ) සියලුම විෂය ධාරාවන් ඉගැන්වෙන අතර, 1C පාසල්, උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර අ.පො.ස (උ.පෙ) විද්‍යාව හා ගණිත විෂය ධාරාවක් නොමැති බවත් 2 වර්ගයේ පාසල් අ.පො.ස. (සා.පෙ) දක්වා පන්ති පවත්වන අතර, 3 වර්ගයේ පාසල් වල ඇත්තේ ප්‍රාථමික (ශ්‍රේණි 1-5) පමණක් යනුවෙන් වර්ගී කරණයක් සිදු කළ ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

පාසල්, හොඳම පාසල් ලෙස ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමට නම්. පාසල් වල ලබා දී ඇති පහසුකම්, ගුරුවරුන් වැනි සියලුම අංග උපාංග සම මට්ටමින් පැවැතිය යුතු බවත්, එලෙසෙ නොමැතිව ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමට නොහැකි බවයි වැඩිදුරටත් එම ආයතනය සඳහන් කළේ.

උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැනි නිර්ණායක ඔස්සේ ඇතැමුන්ට වර්ගීකරණයක් සිදු කළ හැකි වූවත් ඒ මත හොඳම පාසල් 10 ලෙස නීර්ණය කළ නොහැකි බවයි පැවසුවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, 2019 නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. එවැනි හොඳම පාසල් 10 ලෙස පාසල් වර්ගී කරණය නොකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Avatar

Title:ශ්‍රී ලංකාවේ හොඳම පාසල් දහය(10) ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading