‘මී ඔළුවක්’ ඇතුළත් කර තිබූ කෑම පාර්සලයක් යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ දී සමාජයේ දැඩි ලෙස අප්‍රසාදයට පත් වුණා. සත්‍ය වශයෙන්ම මෙම කෑම පාර්සලයේ තිබුණේ ‘මී ඔළුවක්’ ද? මේ පිළිබඳව Fact Crescendo අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

කොළඹ පිහිටි NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක ‘මී ඔළුවක්’ තිබූ බවට සඳහන් කරමින්, සහ වීඩියෝවක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හා වීඩියෝ සංසරණය වුණා.

Facebook

මෙම සටහන් සඳහා මුල් වී තිබූ වීඩියෝව පහතින්.

Facebook |Archived Link

ටික්ටොක් ඔස්සේ ද, මෙම වීඩියෝව සංසරණය වී තිබුණා.

https://www.tiktok.com/@d2d_gaming/video/7101160565657095451?is_from_webapp=1&sender_device=pc&web_id=7096120815495071233

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස හුවමාරු වූ මෙම වීඩියෝව ප්‍රධාන ධාරාවේ පුවත් ද වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙම වීඩියෝව ආහාර පාර්සලයේ දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම මී ඔළුවක් ද? යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් විමසීම සඳහා කොළඹ පිහිටි Nizamiya Hotel & Bake House හි කළමනාකරු දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

Nizamiya Hotel & Bake House කළමණාකරු

ඔහු සඳහන් කළේ, එය මී ඔළුවක් නොවන බවත්, එම හෝටලයේ මීට පෙර කලක සිටම පිළියෙළ කරන ‘හා මස්’ ව්‍යාංජනයක් බවයි. ‘හා මස්’ ව්‍යාංජනය යොදා බිරියානි කෑම පාර්සලය ඉල්ලූ පුද්ගලයකු හා ‘කුකුල් මස්’ බිරියානි කෑම පාර්සලයක් ඉල්ලු පුද්ගලයන් දෙනෙකුගේ කෑම පාර්සල් මාරු වීම මෙම සිදුවීමට මුල් වූ බවත් ඔහු පැහැදිලි කර සිටියා.

‘කුකුල් මස්’ ඉල්ලු පුද්ගලයා ද මීට පෙර සිට ම සියා ආපන ශාලාවෙන් කෑම ලබාගන්න පාරිභෝගිකයෙකු බවත්, ඔහුට කුකුල් මස් වෙනුවට ‘හා මස්’ බිරියානි කෑම පාර්සලයක් ලැබීම හේතුවෙන්, ඔහු අදාළ කෑම පාර්සලයේ තිබෙන්නේ ‘මී ඔළුවක්’ බව පවසමින් වැරදි මතයක් සමාජ ගත කොට තිබු බව ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට එම ආපන ශාලාව වසා දමා ඇති බවත්, එය ‘මී ඔළුවක්’ ද යන්න පිළිබඳ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණයකට අදාළ නිලධාරීන් විසින් යොමු කර ඇති බවත් සඳහන් කරන් ලැබුවා.

‘හා මස්’ ව්‍යාංජනය මසකට තුන් වතාවක් පමණ එම ආපන ශාලාව මගින් පිළියෙළ කරන අතර ඒ සඳහා අදාළ අංශ වලින් අනුමැතිය ලබා ගත් බවත් ඔහු වැඩි දුරටක් සඳහන් කරනු ලැබුවා.

කොළඹ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී සහ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

කොළඹ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී සහ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු තහවුරු කරනු ලැබුවේ, එම ව්‍යාංජනයේ සාම්පල කොළඹ කෞතුකාගාරයේ සත්ත්ව අංශයේ රසායනාගාරය වෙත යොමු කර ඇති බවත්, එම වාර්තාවට අනුව එය ‘හා මස්’ ව්‍යාංජනයක් බවට තහවුරු වූ බවයි.

‘හා මස්’ විකිණීමට අවසර තිබේද?

කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි

කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඉහත ව්‍යාංජනයේ සාම්පල කොළඹ මහා නගර සභාවේ රස පරීක්ෂක විසින් කෞතුකාගාරයේ සත්ත්ව අංශයේ ප්‍රධානියාට යොමු කිරීමෙන් පසුව ඔහු විසින් මෙය ‘හාවෙක්’ගේ ඔළුවක් ලෙසට තහවුරු කළ බවත්, ‘හා මස්’ විකිණීමට හෝ පිළියෙළ කිරීමට තහනමක් නොමැති බවත් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.

නමුත් ආහාර පනත යටතේ අප්‍රියජනක ලෙස ආහාර පිළියෙළ කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ පිරිනැමීම යටතේ එම ආපන ශාලාවට දඩයක් නියම කළ බවත් වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කළා.

නමුත් ‘හා මස්’ විකිණීමට හෝ පිළියෙළ කිරීමට තහනමක් නොමැති වූවත් ඒ සඳහා අදාළ ගොවිපළ අයත් ප්‍රදේශයේ පශු ශල්‍ය වෛද්‍යවරයාගේ අවසරය ලබා ගත යුතු අතර, ඒ අවසරය ලබා නොගෙන ඇත්නම් එයද වැරැද්දක් බැවින්, ඒ පිළිබඳ මේ වන විටත් පරීක්ෂණ සිදු කරන බවයි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ.

Also Read:

FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, ‘මීයෙකුගේ ඔළුව’ ඇතුළත් කර කොළඹ Nizamiya හෝටලය පිළියෙළ කර තිබූ කෑම පාර්සලයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, එම හෝටලය විසින් පිළියෙළ කර තිබු, ‘මී ඔළුවක්’ නොව, හාවෙකුගේ ඔළුවක් සහිත ‘හා මස්’ ව්‍යාංජනයක් බවයි. එම හෝටලය මගින් කාලයක් තිස්සේ මෙලෙස ‘හා මස්’ ව්‍යංජනය මසකට කිහිප වරක් පිළියෙළ කරන බවත්, කෑම පාර්සලයවක් මාරු වීම හේතුවෙන් වැරදි කෑම පාර්සලය ලැබුණු පුද්ගලයා මෙම වීඩියෝව වැරදි අර්ථකතනයකින් පළ කර ඇති බවත් හෝටලයේ කළමනාකාරිත්වය පවසනවා.

කොළඹ මහ නගර සභාව විසින් මේ පිළිබඳව මෙහෙයවූ රසායනාගර පරීක්ෂණයෙන් ද මෙය ‘හා මස්’ ඔළුවක් බවට තහවුරු වී තිබුණා. අදාළ අවසර ලබාගෙන තිබේනම් ‘හා මස්’ විකිණීම හෝ පිළියෙළ කිරීමට තහනමක් නොමැති බවත් අප්‍රියජනක ලෙස ආහාර පිළියෙළ කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ පිරිනැමීම යටතේ Nizamiya ආපන ශාලාවට දඩ මුදලක් නියම කොට ඇති බවත් කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කළා.

නමුත් හා මස් විකිණීමට හෝ පිළියෙළ කිරීමට පශු ශල්‍ය වෛද්‍යවරයාගේ අවසරය ලබා ගත යුතු අතර එම අවසරය ලබා ගත්තාද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව විජයමුණි මහතා වැඩි දුරටත් පවසා සිටියා.

Avatar

Title:කොළඹ NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක තිබුණේ මීයෙකුගේ ඔළුවක් ද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading