කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිළිකා විනාශ කරන ඖෂධයක් නිෂ්පාදනය කරාද?

Health Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක පිළිකා ප්‍රතිකාරයක් කරා ප්‍රගතියක් ඇති බව පවසන පර්යේෂණ පහසුවෙන් මහජන අවධානයට ලක් වේ.

ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනය (IBMBB) විසින් සංවර්ධනය කරන ලද “පෝෂක ඖෂධයක්” පිළිබඳ සටහන් පළ කළ අතර මෙම සටහන් මගින් පිළිකා සෛල විනාශ කළ හැකි බවත්, එය පිළිකා සඳහා විභව ප්‍රතිකාරයක් හෝ වැළැක්වීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබුණා. මේ පිළිබඳ අප සිදු කළ කරුණු සොයා බැලීමක් වේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පිළිකාව විනාශ කරන ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වී ඇති බවට  දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

 

 

Facebook | Archived Link

මෙය පිළිකා ඖෂධයක් ලෙස ත්, පිළිකා ප්‍රතිකාරයක් ලෙස ත්, ඇතැම් මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.

 

මෙහි නිවැරදි තොරතුරු පරීක්ෂා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2023 වසරේදී ත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පෝෂක ඖෂධය සොයාගෙන ඇති බව ට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණා.

එය වර්ධනය වන පිළිකා සෛල පාලනය කිරීමට සමත් බව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු කර ඇති බව ත්, ‘ Vernolac’ නමින් වූ මෙම ඖෂධය මේ වන විට වෙළෙඳපොළට ද නිකුත් කර ඇති අතර සහන මිල ගණන් යටතේ අවශ්‍ය රෝගීන්ට ලබාගත හැකි බව ත්, එහි වැඩි දුරටත් සඳහන් වේ.

 

Facebook | Archived Link

පිළිකා ප්‍රතිකාරයක් ලෙස ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණු FADNA (Food & Nature Pvt. Ltd) විසින් අලෙවි කරන Vernolac පිළිබඳ එහි මාර්ගගත වෙළඳපොළේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.

 

Vernolac

වර්නොලැක් යනු පිළිකා ප්‍රතිකාර සඳහා සහාය වීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද විද්‍යාත්මකව සංවර්ධනය කරන ලද ඖෂධීය අතිරේකයකි. වර්නෝනියා සෙයිලනිකා සහ උසස් සුව කිරීමේ තාක්ෂණයෙන් බල ගැන්වෙන එය පිළිකා සෛල ඉලක්ක කර ගනිමින් සහ රසායනික චිකිත්සක අපහසුතා සමනය කිරීමෙන් ස්වාභාවික පිළිකා සහාය ලබා දෙයි. විද්‍යාත්මකව ඔප්පු කර ඇති සහ ආයුර්වේදයේ ලියාපදිංචි වී ඇති වර්නොලැක් යනු සාම්ප්‍රදායික ප්‍රතිකාර සමඟ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා විශ්වාසදායක ශාකසාර පිළිකා සත්කාර අතිරේකයකි.

ඒ අනුව මෙම ඖෂධය මගින් නිත්‍ය වශයෙන් ම පිළිකා වර්ග සුව කරන බව සඳහන් කර නොමැත. නමුත් මෙම ඖෂධීය අතිරේකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙය පිළිකා ප්‍රතිකාරයක්, පිළිකා ඖෂධයක් පිළිකා නසන ඖෂධයක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම ඖෂධීය අතිරේකය මෙතරම් සත්‍ය වශයෙන් ම සාර්ථකත්වයක් ලබා ඇත්නම්, ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම හෝ මේ පිළිබඳ ප්‍රචාරය කළ යුතුව තිබුණත්, එවැනි ප්‍රචාරයක් හෝ වාර්තා කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුව නොමැති බව ද දැක ගන්නට ලැබේ.

මෙහි පිළිකා ඖෂධීය අතිරේකයට මුල සිට ම කොළඹ විශ්ව විද්‍යාලය විසින් සොයා ගන්නා ලද පිළිකා ප්‍රතිකාරකයක් බව ට ප්‍රවර්ධනය කළ ත් , අවුරුදු  දෙකක සිට මෙහි සාර්ථකත්වය අත්කර ගනු ලැබුවේ නම් ඒ පිළිබඳ  කොළඹ විශ්ව විද්‍යාලය මගින් ප්‍රචාරය කළ යුතුව තිබුණත්, ඒ පිළිබඳව එහි නිල වෙබ් අඩවිය හෝ නිල ෆේස්බුක් පිටුව මගින් හෝ නැතිනම් වෙන ම විශ්ව විද්‍යාලය මැදිහත් ව රාජ්‍ය අනුග්‍රහයක් හෝ මේ සඳහා ලබා දීම කළ යුතුව තිබුණත්, ඒ ආකාරයේ ප්‍රචාරයක් කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදු කර නොමැති බව දැක ගන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලය විසින් සටහනක් පළ කර තිබුණේ,මෙලෙසින්.

 

Facebook

එමෙන් ම අද(09) දිනයේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ, විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ නොමඟ යවන සුළු පළ කිරීම් කිහිපයක් පළකර ඇති බවයි.

විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට සහ රෝගීන්ගේ ආරක්ෂාවට ඇති බරපතල බලපෑම සැලකිල්ලට ගනිමින්, නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගැනීමට සිදුවනු බව ත්, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කරනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය පිටුව හරහා පමණක් බව ත් එහි සඳහන්.

ඖෂධීය සූදානමේ ඖෂධීය ගුණ විමර්ශනය කරමින් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ කිහිපයක් තිබුණද, ඒවා තවමත් සායනික අත්හදා බැලීම් අදියරට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට ළඟා වී නොමැති අතර ඒවා ඖෂධ ලෙස සැලකිය නොහැකි බව ත්, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ලියාපදිංචි ඖෂධ පිළිපැදීමට රෝගීන්ට උපදෙස් දෙන බව ත් එහි සඳහන් වී තිබුණේ මේ අයුරින්.

 

Facebook

එමෙන් ම මේ පිළිබඳව ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයද ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ගෙන එන පණිවිඩයක් ලෙසින්

නියමිත ප්‍රමිතියට අනුව ලෝකය පුරා විද්‍යාත්මක ලෙස සනාථ කර ඇති ප්‍රතිකාර මඟින් පමණක් පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ත්,

ලියාපදිංචි නොකළ හෝ අනුමත නොකළ ප්‍රතිකාර භාවිතයෙන් ඔබේ ජීවිතය තර්ජනයට ලක් නොකරගන්න. වැරදි ප්‍රතිකාර සඳහා යොමු වුණහොත් ජීවිතය බේරා ගැනීමට ඔබට තවත් අවස්ථාවක් නොලැබිය හැකිය.

ඔබට සැකයක් තිබේ නම්, නිසි උපදෙස් සහ සත්කාර ලබා ගැනීම සඳහා ඔබට ආසන්නම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පිවිසෙන ලෙසයි.

මෙම සටහන් මගින් ද, හැඟවෙන්නේ, ඉහත ඖෂධීය අතිරේකය පිළිකා ප්‍රතිකාරයක්, පිළිකා ඖෂධයක් පිළිකා නසන ඖෂධයක් ලෙසට ගත නොහැකි බව ත්, මෙවැනි දේවල් භාවිත කර තමන්ගේ ජීවිත අවදානයට නොදමන ලෙසයි.